ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය ඇයට අයත් බණ්ඩාරගම ගඟබඩ පාරේ පිහිටි දෙමහල් නිවෙස මෙන්ම ඇය විසින් රචිත කෘති සහ ඇය විසින් පරිහරණය කළ සියලුම කෘතීන් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයට පරිත්‍යාග කිරීමේ පුවත පසුගියදා මාධ්‍ය මගින් හෙළි කර තිබිණි.
රන්ගිර - සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය ලෙසින් නම්කෙරුණු මෙම පුස්තකාලය පසුගියදා විවෘත කෙරුණේ ඇයගේ ජන්ම දිනය නිමිත්තෙනි.
මගේ අම්මයි තාත්තයි පොත් කියවන්න හරි කැමැත්තෙන් හිටපු දෙන්නෙක්. අපි ඒ වෙද්දී ජීවත් වුණේ අවිස්සාවේල්ලේ. අපේ තාත්තාට බොහොම පොඩි පුස්තකාලයක් තිබුණා. මම හැදුණේ වත්තකයි. තාත්තගේ ගෙදර තිබුණු බොහොම පොඩි පොත් ටික වුණත් අහළ පහළ මිනිස්සුන්ට කියවන්න දෙන්න තාත්තා හරි ආස කළා. තාත්තා ක්ෂේත්‍ර නිලධාරියෙකි. නමුත් තාත්තා ගුරුවරයෙක් විදිහටත් ඒ වත්තේ ළමයින්ට ඉගැන්වුවා. මළපොතේ අකුරක්වත් නොදැන සිටි ළමයින්ට පවා තාත්තා ඉගැන්වුවා.* සෝමා ජයකොඩි ඒ අතීතය දේශය පිටු අතරට එක් කළේ ඒ අයුරිනි.
නිවෙසේ කුඩා පුස්තකාලයේ තිබුණු සෑම පොතක්ම සෝමා ජයකොඩි ද කියවා බැලුවාය. කුඩා කල සිටම දිනපතා &දිනපොත* ලිවීමද සෝමා ජයකොඩිගේ දිනචර්යාවේ එක් අංගයක් විය. ඒ ඔස්සේ ටිකෙන් ටික ඇයගේ ලේඛන කලාව ඔපමට්ටම් විය. ඇය ගුවන්විදුලියට කෙටිකතා ලීවාය. එමෙන්ම පුවත්පත්වලට ද ලීවාය. ඇය ලියූ නවකතා මුද්‍රණය කිරීමට මුලින්ම මූල්‍යමය ආධාර ලබා දී ඇත්තේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයයි. එය ඇයට විශාල ශක්තියක් විය. ඉන්පසුව ඇයගේ සියලුම කෘතිවල ප්‍රකාශක වූයේ ගොඩගේ ප්‍රකාශනයි.
මම ඕනෑම පොතක් දිහා බොහොම ගෞරවයෙන් බලන කෙනෙක්. මගේ ජීවිතේ මම කියවපු පොත්වලින් හිතට බොහොම තදින්ම දැනිච්ච පොත් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මාරි කොරෙලි ලියූ %තෙල්මා^ පොත මගේ හිතට තදින්ම දැනුණා. ඒක හරි සුන්දර ප්‍රේම කතාවක්. ලේඛන කලාවෙන් යම්කිසි යහපත් පණිවිඩයක් සමාජගත වෙන්න ඕනෑ කියලයි මම විශ්වාස කරන්නේ. සමාජයේ හැම මනුස්සයෙක්ම චරිතයක්. මම ලියූ පොත්වල මගේ පෞද්ගලික අත්දැකීම් වගේම මම දැකපු සමාජයෙන් ලබාගත්තු අත්දැකීම් පවා තියෙනවා. ඇය කියන්නීය.
සෝමා ජයකොඩි ලේඛිකාව මේ වන විට පරිවර්තන කෘතීන් ඇතුළුව කෘතීන් 343ක් ලියා තිබේ. ඇය සන්තකයේ දැනට එකතු කරගත් කෘතීන් 3978ක් තිබූ අතර ඒ සියල්ලම ඇය මෙම පුස්තකාලයට බාර දී තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පුස්තකාල සේවා මණ්ඩලයට තම දෙමහල් නිවෙස පුස්තකාලයක් ලෙස බාරදීමට හැකිවීම සම්බන්ධව ඇය සිටියේ ඉතා සතුටිනි. ඇයගේ ලේඛන කලාව ආරම්භ වන්නේ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයත් සමඟය. පුස්තකාලයේ ලැබූ දැනුමින් අකුරක් හෝ ලියූ සතුට ඇය අද විඳින්නීය. ඇයගේ දෙමහල් නිවෙසේ ඉදිරිපස ඇති ශාලාව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පුස්තකාලය ඉදිවිය. ඊට අමතරව පුස්තකාලයේ පොත් රාක්ක සියල්ල තම වියදමින් සකස් කර දීමට ඇය පියවර ගෙන තිබිණි.
ඉදිරියේදී මේවාට ගැලපෙන නීති රීති හැදෙන්න ඕනෙ. ලෝකෙ වෙනත් රටවල්වල ලේඛකයන් පොතක් මුද්‍රණය කළාම ඒ පොත් හුඟාක් ඒ රටවල රජයෙන් මිලදී ගන්නවා. මිලදී ගත් ඒ පොත් පුස්තකාල සියල්ලටම බෙදාහරිනවා. ලංකාවේ ප්‍රාදේශීය, නගර සභා, පළාත් සභා යනුවෙන් වෙන් කෙරෙනවා. මේවා සියල්ලම එක් තැනකට ගොනු කළ යුතු වෙනවා. ඒ අනුව යම්කිසි නීති රීති, විනයන් ඇතිව ඉදිරියේදී මේ දේවල් විය යුතු යැයි මම විශ්වාස කරනවා. සෝමා ජයකොඩි මහත්මිය දේශයට පැවසීය.
2019 ජූලි මස සෝමා ජයකොඩි මහත්මිය තම දෙමහල් නිවෙස පුස්තකාල සේවා මණ්ඩලයට පවරා දී තිබිණි. කොවිඩ් වසංගතය සහ විවිධාකාර ගැටලු හේතුවෙන් සිදු වූ ප්‍රමාදයෙන් පසුව මෙය රන්ගිර සෝමා ජයකොඩි ආදර්ශ පුස්තකාලය ලෙසින් පසුගියදා විවෘත කෙරුණි.
පොත්පත් පිළිබඳව රජය මීට වඩා අවධානයක් යොමු කළ යුතු යැයි මම විශ්වාස කරනවා. එහෙම නැතිවුණොත් එතැන සේවය කරන නිලධාරීන්ට පමණක් මෙය ඉදිරියට කරගෙන යන්න බැහැ. පොත්පත්වලට ඇමැති කෙනෙක් නැහැ. බතික්වලට, මැටිවලට, ඇමැතිවරු ඉන්නවා. ඔවුන්ගේ අවධානය මත ඒ කලාව ඉදිරියේදී දියුණු වෙනවා. නමුත් පොතපතට එහෙම ඇමැති කෙනෙක් නැහැ. රටේ නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඉන්නවා. නියෝජ්‍ය ඇමැතිවරු ඉන්නවා. නමුත් පොතපත ගැන කතා කරන්න ඇමැති කෙනෙක් අපිට නැහැ. පොතපතට මීට වඩා අවධානයක් රජය ලබා දිය යුතු වෙනවා. පොතපත කියන්නේ දැනුමයි. අමෙරිකාව වැනි රටවල්වල බොහෝ පුස්තකාල තියෙනවා. නමුත් ඒ සියල්ලම නිවැරදිව විධිමත් නීති මාලාවකට අනුව පවත්වාගෙන යනවා. එහෙම ක්‍රමවත්ව පවත්වාගෙන යන්න නම් හොඳ නිලධාරීන් ඒ සම්බන්ධව ඉන්න ඕනෙ. ජයකොඩි මහත්මිය පවසන්නීය.
ලංකාවේ පොදු මිනිසාගේ සාහිත්‍ය හා භාෂාව වෙනුවෙන් යම් දෙයක් කරනු ලබන්නේ මේ මහ පොළොවට ආදරය කරන මිනිසා පමණි. මහ පොළොව හඳුනන ඇමැති කෙනකු මේ සම්බන්ධව පත් නොවුණා නම් අනාගතයේදී පොත් කලාවට හිමිවන තැන එතරම් සතුටුදායක නොවනු ඇත. මේ සම්බන්ධව කටයුතු කිරීමට පත්ව ඇති ඇතැම් නිලධාරීන් එකිනෙකාට බෝල් පාස් කරමින් නිදිකිරා වැටුණද ග්‍රන්ථ සංවර්ධනය කිරීම වෙනුවෙන් නිසි අමාත්‍යාංශයක් නොමැත. මේ හේතුවෙන් ඉදිරියේදී මෙවැනි පුස්තකාල සඳහා අත්වන ඉරණම කෙබඳු වේදැයි සිතාගැනීම අපහසුය. වර්තමානයේදී ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන සේවා මණ්ඩලය බාරකොට ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයටය. නමුත් ඒ සම්බන්ධව පත්කර ඇති ඇතැම් නිලධාරීන්ට ග්‍රන්ථ, රසාස්වාදය පිළිබඳව තිබෙන රුචිකත්වය ගැන බොහෝ දෙනා තුළ ඇත්තේ එතරම් සුබවාදී පැහැදීමක් නොවේ.
ඕනෑම තැනක දුර්වල නීති ඇතිවිට එය නිවැරදිව පාලනය වෙන්නේ නැහැ. ආණ්ඩුවත්, නිලධාරීනුත් යැපෙන්නේ මේ මහජන දේපළවලින්. මේ කෝටි ගණනක දේපළ පුස්තකාලයක් වෙනුවෙන් දීම පිළිබඳව මගේ හිතේ කිසිම දුකක්වත් කලකිරීමක්වත් නැහැ. මම ඒක දුන්නේ හරිම සතුටින්. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට සභාපති ලෙස අලුතින් පත්වූ සොනාල ගුණවර්ධන ඉතාම දක්ෂ නිලධාරියෙක්. දාහක් ප්‍රශ්න තිබුණත් ඉදිරියට යා හැකි තරුණ ජවයක් තියෙන කොන්ද පණ ඇති නිලධාරියෙක්. එවැනි නිලධාරීන් මේ මහ පොළොවට බිහිවෙන්න ඕනෙ. මේ පුස්තකාලයේ ඉදිරිපස ඇති ශාලාව හැර අන් සියල්ලම මම අකුරු කරලා හම්බ කරගත් මුදලින් ගොඩනගපු උත්සාහයයි. සෝමා ජයකොඩි මහත්මිය පැවසුවාය.
තමන් අකුරු කර පළ කළ සියලු පොත් සහිත ඉදිකළ දෙමහල් නිවෙස අනාගත දරුවන් වෙනුවෙන් පුස්තකාලයක් ලෙස පරිත්‍යාග කළ රන්ගිර පුස්තකාලය විධිමත් වැඩපිළිවෙළක් යටතේ පවත්වාගෙන යනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු. නැතිනම් මේ වන විටත් රටේ පවතින ඇතැම් පුස්තකාල මෙන්, දුර්වල අවධානය මෙම පුස්තකාලයටත් ලැබෙන්නේ නම් එය අපරාධයකි. එබැවින් විවෘත කෙරුණු මෙම පුස්තකාලයේ ඉදිරි සැලසුම් පිළිබඳව අදාළ නිලධාරීන්ගේ අවධානය නිසි පරිදි යොමු විය යුතුය. සාහිත්‍ය කලාව යනු හිස අල්ලා බොරුවට අතපත ගෑ හැකි කලාවක් නොවේ. ඒ සම්බන්ධව දැනුමක් ඇති නිලධාරීන් පත් නොවුණහොත් සිදුවන්නේ වැසී යමින් පවතින පුස්තකාල ගොන්නට තවත් එක් පුස්තකාලයක් එක්වීම පමණි.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ