ඇතැම් දේ අප සතු වූ විට ඒවායේ වටිනාකම අපට අමතක වී යයි. නිදහස ද එවැන්නකි. නිදහස ඇති කලෙක එය තඹයකට මායිම් නොකරන මිනිසා නිදහස අහිමි වූ විට ජීවිත පූජාවෙන් අරගල කරයි. මේ එළඹෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 73 වැනි නිදහස් දින සමරුමයි. එහි දී ජාතියේ නිදහස පිළිබඳ අතීතාවර්ජනයකට එහා ගිය වර්තමානික කියවා ගැනීමක් අපට අවැසිය. වසංගත, ආර්ථික, දේශපාලන, අන්තවාදය නම් වූ සිව් මහා බැමිවලින් බැඳී පීඩිත වූ ජාතියකට එම කියවා ගැනීම වටී යැයි අපි සිතමු.
1948 පෙබරවාරි 4 වැනිදා අපට ලැබුණේ කවර ආකාරයේ නිදහසක් ද යන්න තවදුරටත් මෙරට උගතුන්ගේ කෙස් පැලෙන තර්කවලට හේතු භූත වන්නකි. කවර ආකාරයේ නිදහසක් වුවද එය නිදහසකි. උපන් බිමේ පාලනය ස්වදේශිකයන් සන්තක වූ නිදහසකි. එම නිසාම හතළිස් අටේ ලද නිදහස අපට මහමෙරකි. යටත්විජිතයක යකඩ සපත්තුවට පෑගී ජීවත් වූ එදා පරපුර තුළ වූ පීඩනය අද අපට වටහා ගැනීමට පවා නොහැකිය. එම නිසාම මෙම නිදහසේ සැමරුම අත්‍යත්තයෙන්ම සාධාරණය.වර්තමානිකයන්ට නිදහස යනු කවරක්දැයි මතක් කර ගැනීමට වසරකට වරක් හෝ නිදහස අප සැමරිය යුතුමය. එසේ නමුත් මෙරට නිදහස් දිනවලදී අප ලද නිදහස පිළිබඳ ජනතාවට අවබෝධ කරදීමට වඩා නිතර සිදුවන්නේ දේශපාලන සංදර්ශනය.
ඒ හේතුවෙන්ම වර්තමානිකයන්ට නිදහසේ අගය අමතක වී ගොසිනි. විටින් විට පොදු සමාජයේ ඇසෙන මෙවන් කතා ඊට උදාහරණය. "සුද්දෝ හිටිය නම් අපි දියුණුවෙලා.. සුද්දෝ හිටිය නම් අපිටත් ඉංග්‍රීසි පුළුවන්.. සුද්දෝ තමයි පාරවල් හැදුවේ අපේ උන් මොනවාද කළේ.." මේවා හුදු වචන නොවේ සමාජ ආකල්පයි. පරාධීනත්වය කරා ජාතිය රැගෙන යන මෙම ආකල්ප ගෙවුණු වසර 73 පුරාවට මාතෘභූමියේ සරුවට දලුලා වැඩී ඇත. සැබවින්ම නිදහසේ නාමයෙන් අප කළ යුත්තේ "යටත් විජිතවාදී කුමන්ත්‍රණ" ගැන ගිරිය පුප්පාගෙන කෑගැසීම නොව මහජනතාව තුළ ආකල්පමය වෙනසක් සිදු කිරීමය.
සුද්දන් මෙරට තවත් දශක දෙක තුනක් පාලනය කළා නම් අපට ඉතුරු වන්නේ රටක් නොව සාරය උරා බිව් මුඩු බිමකි. මිනිස් සිරුරක ලේ නහර පරිද්දෙන් සුද්දන් මෙරට දුම්රිය මාර්ග, මහා මාර්ග නිර්මාණය කළ බව සැබෑය. ඒ අපට ඇති ආදරයකට නොව මව්බිමේ සාරය උරා බීමටය. මෙරට එක පැලැන්තියකට සුද්දන් ඉංග්‍රීසි අධ්‍යාපන අවස්ථාව දුන් බවද ඇත්තකි. එහෙත් ඒ ඔවුන්ගේ පාලනයේ පහසුවට පිණිස මිසක අනෙකක් වෙනුවෙන් නොවේ. මෙරට දුෂ්කර ගම්මාන දෙස ඔවුන් හැරී බැලුවේ නැත. කිසිදු අධ්‍යාපනයක් ගම්බද දරුවන්ට ලබා දුන්නේ ද නැත. පන්සල් සංස්කෘතිය ද ක්‍රමයෙන් බෞද්ධයා කෙරෙන් දුරස් කළේ සුද්දන් විසිනි. එහෙත් වර්තමානිකයන්ට සුද්දන් වීරයන්ය.
යටත්විජිතකරණයෙන් මිදුණු ඇතැම් රටවලට සාපේක්ෂව ගෙවුණු වසර 73 තුළ ශ්‍රී ලංකාවේ දියුණුව මන්දගාමී වූ බව සැබෑය. නමුත් ගෙවුණු වසර 73 තුළ නිවහල් ජාතියක් ලෙස අප උරුම කරගත් දෑ නැත්තේ නොවේ. අතීතයට දොස් දෙවොල් තියමින් සිටින වර්තමානිකයන්ට සුබ අනාගතයක් නම් අරුමයක්මය. බල දේශපාලන අරගල, දේශපාලන සටකපටකම්, මඩිය තරකර ගැනීම් ගෙවුණු දශක හත තුළ අප්‍රමාණව සිදුවූ බව ඇත්තකි. ඒවා වර්තමානය කෙරෙහි බලපෑම් කර ඇති බවත් සත්‍යයකි. නමුත් අප කළ යුත්තේ අතීතයට සාප කිරීම නොව අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමය. නිදහසෙන් පසු අප ගොඩනගා ගත් දෑ ආරක්ෂා කර ගැනීමට සංවර්ධනය කර ගැනීමට යත්න දැරීමය.
ශ්‍රී ලාංකිකයන් ලද නිදහස බන්දේසියක දමා පිළිගන්වන ලද්දක් බවට ඇති සමාජ ආකල්ප ද අප උදාසීන කිරීමට හේතු වූ බව පෙනී යයි. හිරු නොබසින අධිරාජ්‍යයට විරුද්ධව දියත් වූ 1818 කැරුල්ල, 1848 කැරුල්ල අද හුදු ඓතිහාසික කතාන්දරයක් පමණක් බවට පත්වී ඇති සෙයකි. දීන නොවී නැගී සිටීම ලක්වාසීන් සතු අමිල ශක්තිය ප්‍රකට වන මෙම කැරලි ද්විත්වය කතන්දර ලෙස නොව පාඩම් ලෙස අනාගත පරපුරට අප කියා දිය යුතුය. අතීත කාමයෙන් ඔදවැඩී වහසි බස් දෙඩවීමට වඩා යමක් අප සිදු කළ යුතුව ඇත. නිදහස් නිවහල් ජාතියක් ලෙසින් තවදුරටත් ඉදිරියට යෑමට නම් අපට වීරයන් අවැසිය. සිය ජීවිතය මාතෘභූමියේ නාමයෙන් කැප කර පෞද්ගලික අරමුණු පසෙකලා ඉදිරියට එන සැබෑ වීරයන්‍් වුවමනා වී තිබේ. ඉතිහාසය වීරයන් තැනීමට මෙන්ම මව්බිම නැවත සශ්‍රීක කිරීමට හැකි අපූරු මෙවලමකි.
නිදහස් ලංකාව අදටත් මුහුණදෙන ප්‍රබල අභියෝගය වර්ගවාදයයි. ත්‍රස්තවාදය අප ජයගත් මුත් වර්ගවාදය තවමත් මේ බිම මත ඉතිරිව තිබේ. කොපමණ බාධා තිබුණත් අප නිදහස් වූයේ එක්සත් බව තුළින් යන්න අද අපට අමතකව ගොසිනි. සංවර්ධනය දියුණුව පිළිබඳ කොතරම් කතා කළත් පලක් නැත. එකමුතුකම නැති රටකට දියුණුව සිහිනයක් පමණි. පක්ෂ පාට මතවාද දේශපාලනය උදෙසා අවැසිය. වරණය මහජනතාව ලෙස අපගේ අයිතියකි. එහෙත් එකිනෙකා අතර වෛරය පැතිරවීමට පක්ෂ පාට මතවාද භාවිත කළ යුතු නැත. නිදහස පිළිබඳ ඉතිහාසයේ ලද කවර ජයග්‍රහණයක් වුව එය එක්සත් බව නිසාම ලැබූවකි.
1948 පෙබරවාරි 4 වැනිදා ලද නිදහසේ සැබෑ ප්‍රතිඵල රටක් ලෙස අපට ලැබුණේද? යටත්විජිතකරණයෙන් මිදී දියුණු වූ රටවල් අප පසුකර ගියේ ඇයි? 73 වැනි නිදහස් දින සැමරුමේදීවත් අප මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුමය. සැබවින්ම නිදහසින් පසු මෙරට පාලනය කළ බොහෝ දේශපාලකයෝ සිතින් නිදහස් නොවුණහ. පරාධීන චින්තනයෙන් ඔවුන්ගේ සිත් ඔද්දල් වී තිබුණි. එහෙත් යටත්විජිතකරණයෙන් මිදී දියුණු වූ රටවල්වල ඉතිහාසයේ ස්වදේශීය නායකයෝ පරාධීන මානසිකත්වයෙන් මිදී සිටිති. ඔවුහු බටහිරෙන් ලැබුණු නිදහස තුළ තමන්ගේම යමක් මව් පොළොවේ පැළ කළහ. අද දලුලා සශ්‍රීකව ඵල දරන්නේ ඒ දේශීය සමාජ දේශපාලන ආර්ථික යාන්ත්‍රණයන්ය. ආසියාවේ දියුණු රටවල් දෙස බලා සිදු කරන නන් දෙඬවිල්ලෙන් ඇත්තෙන්ම පලක් නැත. නිදහසේ විපුල ඵල නෙලාගැනීමට නම් අප අපේම යමක් මව් පොළොව මත පැළ කළ යුතුමය.
නිදහස සංදර්ශනයක්ම වූ කලෙක එරට මිනිසුන්ට හිමිව ඇත්තේ කවර නම් නිදහසක්ද? මේ ඒ ගැන සිතීමට කාලයයි. 1505 සිට බටහිරයන්ගේ බලපෑමට නතු වූ අපි වසර 133ක් බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව සිටියෙමු. සන්නද්ධ නිදහස් අරගල දෙකක් සහ සන්නද්ධ නොවූ එක් අරගලයක් මෙම කාලය තුළ සිදුවිය. අප කතා කරන නිදහස 1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කිරීමත් සමඟ අරුත් ගන්වන ලද්දකි. එම රාජාඥාවට අනුව 1948 පෙබරවාරි 04දා සිට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත්විය. පසුව නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමඟ නිදහස නීතිගත විය.
ඒ කෙසේ වෙතත් අදටත් අධිරාජ්‍ය විසින් රෝපණය කළ රෑස්ස ගස් යට සිට අපි රස ගුණ සපිරි ඵල ලැබෙතැයි සිතා සිටිමු. සැබවින්ම ඔවුන් ඒ මහ ගස් රෝපණය කළේ අපට ඵල ලබන්නට නොව ඔවුන්ට ඵල ලබාගන්නටය. මඩේ ගැසූ ඉන්නක් පවා පැළවෙන සරුසාර සම්පත් සපිරි මේ මව්බිමේ මිනිසුන් දුක් විඳිය යුතු නොවේ. රට සතු සම්පත් විකුණා ණය ගෙවිය යුතුද නොවේ. බටහිර සංකල්පය මත පදනම් නොවී මව් පොළොවේ සිතුම් පැතුම් ගුරුකොටගෙන ස්වදේශීය ව්‍යවස්ථාවක් ස්වයංපෝෂිත ආර්ථිකයක් අපට ගොඩනගා ගත හැකිය. එසේ එකල ද එක් දිනකින් රටම දෙව් විමනක් නොවනු ඇත. කාලයත් සමඟ වැපිරූ බිජුවල ඵල අස්වනු නෙලාගැනීමට ලක්වාසීන්ට හැකිවෙනු ඇත. ඉවසීම ද අප ජාතියක් ලෙස ප්‍රගුණ කළ යුතුය. සැබවින්ම 48 ලද නිදහස අරුත් ගන්වා ගැනීමට හැකි වන්නේ එවිටය.
මේ උදා වී ඇත්තේ නිදහස පිළිබඳ නිදහසේ සිතිය යුතු කාලයයි. වසංගතය පෙරටුව ඇති සියලු ආකාරයේ අවුල් වියවුල් අපට ඒ සඳහා උත්ප්‍රේරණයක් සපයනු ඇත. අද උදාවී ඇත්තේ පිංකෙත වන් මේ දෙරණේ යළි උපදින්නට හේතු වාසනා කියූ විට මිනිසුන් සිනාසෙන තත්ත්වයකි. මව්බිම හැර යන්නට ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් සිහින දකින තත්ත්වයකි. රටට ජාතියට නිදහසට මිනිසුන් ආදරය නොකරන්නේ නම් එම රට කවර නම් ජයග්‍රහණයක් අත්කර ගනීද? මොහොතක් සිතා අවදි වන්න. සම්ප්‍රදායික නිදහස පිළිබඳ කියවා ගැනීමට වෙනස් වූ මේ සටහන ඔබට ඒ වෙනුවෙන් උපකාර වෙතැයි දේශයට හිතැති දේශයේ අපි සිතමු.
අභිමානවත් නිදහසට ජය..!
චමිඳු නිසල් ද සිල්වා