2021 ජනවාරි 30 වන සෙනසුරාදා

රේගුවේ මොකද වෙන්නේ?

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 660

ජනාධිපතිවරයාගේ මෙම කතාවෙන් පසු දෙබර වදයකට ගල් පහරක් එල්ල කළා මෙන් බොහෝ දෙනෙක් කැළඹී සිටිති. ජනාධිපතිගේ මේ කතාව සත්‍ය බව සමහරුන් කියන අතර ඇතැමුන් කියන්නේ ජනාධිපතිවරයා නියම තත්ත්වය නොදැන මෙම ප්‍රකාශය කර ඇති බවයි. රේගුවේ වෘත්තීය සමිති පවසන්නේ රේගුවට අභූත චෝදනා නගන බොහොමයක් අතරින් වැඩි පිරිස මෙරට කූඨ ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය නියෝජනය කරන පිරිස් බවයි. එම සාවද්‍ය මතය සමාජගත කර ආයතනයේ නිලධාරීන් සමාජ ගර්හාවට පාත්‍ර කිරීම ඔවුන්ගේ අරමුණ වන අතර ස්වාධීන රේගු ආඥා පනත පවා වෙනස් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී ඇති බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රේගුව යනු රටට ආදායම උපයා දෙන ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. සමස්ත බදු ආදායමින් සියයට 50කටත් වඩා වැඩි දායකත්වයක් රේගුව දරයි. වසරින් වසර රේගුවේ උපයන ආදායම ඉහළ යන අතර 2014 දී රුපියල් මිලියන 518,179ක ආදායමක් ලැබූ රේගුව 2018 වසර වන විට එහි උපරිමයට ළඟා වෙමින් මිලියන 919,037ක ආදායමක් ලැබීය. 2020 වසරේදී ඇතිවූ කොරෝනා වසංගතය හමුවේ වුවද රේගුව බලාපොරොත්තු වූ ආදායම් ඉලක්කය අභිබවා යමින් රුපියල් මිලියන 641,769ක ආදායමක් ලබා තිබෙන බව රේගු සංඛ්‍යාලේඛන අනුව පෙනී යයි.

එසේම රේගුව අනවසරයෙන් රට තුළට ඇතුළු වන භාණ්ඩ අත්අඩංගුවට ගන්නා අතර ඒවා රාජසන්තක කිරීමේ බලය ද රේගුවට ඇත. පසුගිය සමයේ මෙරටට අනවසරයෙන් ගෙනා කහ කන්ටේනර් 28ක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. අනතුරුව රජයේ තීරණයක් පරිදි ඒවා එම රටවලටම ආපසු ප්‍රති අපනයනය කිරීමට සිදුවිය. එසේම වෙනත් ද්‍රව්‍ය සමඟ බහා රට තුළට ගෙන්වන විවිධ අනවසර භාණ්ඩ රේගුව තුළදී අත්අඩංගුවට ගැනීම දිගටම සිදු වේ. කහ ආනයනය තහනම් කර තිබූ 2020 වසර තුළ කහ මෙට්‍රික් ටොන් 1075ක් රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 250කි.

2020 වසර තුළ ශ්‍රී ලංකා රේගුව අපනයන භාණ්ඩවලින් ලබා ඇති මුළු ආදායම රුපියල් මිලියන 2641කි. 2019 වසරේ ලැබූ අපනයන ආදායම වන රුපියල් මිලියන 2494 හා සැසඳීමේදී මිලියන 147කින් ඉහළ ගොස් ඇත. එසේම ආනයන බදු වශයෙන් ලැබූ ආදායම මිලියන 113311කි. එය 2019 ආනයන බදු ආදායම වූ 15,115 හා සැසඳීමේදී මිලියන 15115 වූ වැඩිවීමකි.

රේගුව පවසන්නේ ශ්‍රී ලංකා රේගුව යනු හුදෙක් රාජ්‍ය ආයතනයක් පමණක් නොව අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන ජාලයක ශ්‍රී ලංකා නියෝජිතයා බවයි. රේගු දෙපාර්තමේන්තුව ලෝක රේගු සංවිධානය හා ලෝක වෙළෙඳ සංවිධානයේ උපමානයන්ට අනුව කටයුතු කරන අතර, රේගුව හරහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් රැසක් ද ඇත.

රේගු වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ රේගු නිලධාරීන් විශේෂ වෘත්තීමය සුදුසුකම් ලැබූ අය බවයි. රේගු ක්‍රියාවලිය යටතේ එන භාණ්ඩ වර්ගීකරණය, තක්සේරුකරණය, පශ්චාත් විගණන, අවදානම් කළමනාකරණය හා විමර්ශන සහ රාජකාරි සුවිශේෂ වන අතර මේවා රේගු සේවයේ සුවිශේෂ අවබෝධයක් ඇති නිලධාරීන් හරහා ක්‍රියාත්මක කරන අතර මේ රාජකාරි අලුතෙන් බඳවා ගන්නා නිලධාරීන් මගින් කර ගත නොහැකි බවද වෘත්තීය සමිති අවධාරණය කරයි.

කෙසේ වුවද මෙම තත්ත්වය මත ජනාධිපතිවරයා රේගු නිලධාරීන් ඉවත් කර අලුත් පිරිසකගෙන් එම රාජකාරි ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් එය නිසි ලෙස සාර්ථක වේද යන ප්‍රශ්නය පැන නගී. මෙහිදී මැදහත් විවේචකයන් පෙන්වා දෙන්නේ සමස්ත නිලධාරීන් වෙනස් කරනු වෙනුවට වැරදි කරන අය තෝරා බේරාගෙන ඒ අය ඉවත් කිරීම සුදුසු බවය. රේගුවේ වැඩි කොටසක් කාර්යක්ෂම හා අවංක නිලධාරීන්ව සිටියදී කිහිප දෙනකු සිදු කරන වැරදි නිසා මුළු රේගු දෙපාර්තමේන්තුවම අප්‍රසාදයට ලක් වී තිබේ. ජනාධිපතිවරයා ද රේගුවේ රාජකාරි ප්‍රසිද්ධියේම විවේචනය කරනුයේ එම නරක නාමය නිසා බව කිව යුතුය.

ජනාධිපතිවරයා වැරදි වැටහීමකයි ඉන්නේ

රේගුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සමලේකම් සුදත් ද සිල්වා ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා පසුගියදා රේගුව පිළිබඳව විවිධ කරුණු දැක්වූයේ ජනාධිපතිවරයාට ඇතැම් අය ලබාදුන් වැරදි අර්ථකථන නිසා යැයි සැකයක් පවතින බවය. එලෙස වැරදි අර්ථකථන ලබා දෙමින් ජනාධිපතිවරයා වටේ සිටින පිරිස ලබාදෙන විෂ නැති කිරීමට අවශ්‍ය වී තිබෙන බව ඔහු කියයි. රේගුව විනාශ කිරීම පිටුපස සිටින කාක්කන්ට එම අවස්ථාව ලබා නොදෙන ලෙස තම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

රේගු වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාට පසුගිය වසරේ යෝජනා මාලාවක් ලබාදුන් අතර, ඒ අවස්ථාවේදීම ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට එකඟතාව පළ කළද එය විධිමත්ව සිදු වී නොමැති බව ඔහු කියයි. ඒ සඳහා 28 දෙනකුගෙන් යුතු කමිටුවක් පත් කළද එයින් ප්‍රගතියක් ලැබී නැති නිසා ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය යුතු බව ඔහු කියා සිටී.

මෙම කමිටුව රුස් වූයේ එක දිනයක් පමණක් වන අතර එමගින් රේගු වෘත්තීය සමිති සන්ධානය ලබාදුන් යෝජනා මාලාව සාකච්ඡා වූයේ නැහැ. රේගුවේ දක්ෂ නිලධාරීන් එළියට දමා වෙන පිරිසක් යෙදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් පවතිනවාදැයි සැකයක් මතුව තිබෙනවා. එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට කොටසකට අවශ්‍ය වී ඇති අතර ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ දූෂිත රේගුවක් බිහි කිරීමටයි.

ජනාධිපතිවරයා රේගුව පිළිබඳ පසුගියදා කළ ප්‍රකාශයෙන් කොටසක් පමණක් මාධ්‍යවල පළවීම නිසා වැඩිදෙනා රේගුව ගැන වැරදි චිත්‍රයක් මවා ගැනීමට ඉඩ තිබෙනවා. ජනාධිපතිවරයා කියා සිටියේ රේගුවේ වැරදි කරන නිලධාරීන් සේම බහුතරයක් හොඳ නිලධාරීන් සිටින බවයි. එම ප්‍රකාශයට අපි එකඟ වෙනවා.

මේ වසර එකහමාර තුළ දූෂණවලට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා. පසුගිය සමයේ හොර පාරෙන් රටට ගෙනා කහ තොග විශාල වශයෙන් අත්අඩංගුවට ගත්තා. රේගුවේ සිටින සියලු දෙනා දූෂිතයන් නම් මෙවැනි අත්අඩංගුවට ගැනීම් සිදුවෙන්නේ නැහැ. තැනින් තැන ඇතිවන සිද්ධි නිසා රේගුවේ කීර්තිනාමය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. ඇමැතිවරුන්ට වුවත් බලපෑම් කරන්න රේගුව ඉඩ දෙන්නේ නැහැ. රේගු ආඥා පනත වෙනස් කරන්න පවා ඇතැම් දේශපාලනඥයන්ට අවශ්‍ය වී තිබෙනවා.

කිසිදු කෙනෙක් රාජකාරියට නොපැමිණියත් පරිගණක හරහා දිනකට කන්ටේනර් 2200ක් යැවීමට රේගුවට හැකියාව තිබෙනවා. රටට එන කන්ටේනර්වලින් සියයට 30-35 පමණ රේගුවේ පරීක්ෂාවට ලක් වෙනවා. ඒත් දියුණු රටවල මෙවැනි භාණ්ඩ පරීක්ෂා කෙරෙන්නේ සියයට පහක් පමණයි. නිලධාරීන්ට කටයුතු කරන්න සිදුව ඇත්තේ බිලියනපතියන් වැනි ප්‍රබලයන්ගේ ද බලපෑම් මතයි. පසුගිය මාස 4-5 තුළ විවිධ ජාවාරම්වලට සම්බන්ධ වූ හතළිහක් පනහක් පමණ අත්අඩංගුවට ගන්න හැකි වුණා.

විවිධ රජයන් හිතුණු හිතුණු වෙලාවලට අපට බදු ඉලක්ක ලබාදෙන අතර එය එකතු කිරීමට අපොහොසත් වූ විට දෝෂාරෝපණ එල්ල කරනවා. කෙසේ වුවද රට තුළ පවතින ආනයන සීමා කිරීම්, ගෝලීය වසංගත තත්ත්වයන් යටතේ පවා රේගුවට පසුගිය වසරේදී අදාළ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකි වුණා. එසේම රේගු විමර්ශන තුළින් රාජසන්තක කරන ලද ආනයන තහනම් කළ හා සීමා කළ භාණ්ඩවල වටිනාකම ඉතා විශාලයි.

රේගුව හරහා භාණ්ඩ නිශ්කාෂණය, නියාමනය, රේගු බදු අයකර ගැනීම්, ආනයන අපනයන ලේඛන ඉදිරිපත් කිරීම ආදී සියලු මෙහෙයුම් කටයුතු සිදු කරනුයේ ASYCUDA පරිගණක පද්ධතිය හරහායි. මෙම පරිගණක පද්ධතිය අද ඊයේ හඳුන්වා දුන් එකක් නොව එය 1993 සිට ක්‍රියාත්මක වෙනවා. නව තාක්ෂණය සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ නව ප්‍රවණතාවලට ගැලපෙන පරිදි මෙය රේගුව විසින් නිරන්තරව යාවත්කාලීන කරනවා. මේ නිසා රේගු කටයුතු සිදු කිරීම තුළින් අක්‍රමිකතාවලට ඇති ඉඩකඩ සීමා වී තිබෙනවා. මේ හේතුවෙන් දූෂණ අවම වී ඇති බව අපේ විශ්වාසයයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කිසිදු අවහිරතාවකින් තොරව රටේ ජනතාවගේ ආහාර, ඖෂධ හා සෙසු අවශ්‍යතා සඳහා වූ භාණ්ඩ රේගු නිලධාරීන් නිශ්කාෂණය කළේ දැඩි අවදානමක් දරමින්. කරුණු නොදැන හෝ කරුණු සොයා බැලීමකින් තොරව, පවතින සාධනීය තත්ත්වය නොසලකා හරිමින් ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය කොවිඩ් අවදානම මාධ්‍යයේ රාජකාරි කළ නිලධාරීන්ගේ දැඩි කනස්සල්ලට හා විමතියට හේතු වෙලා.

අප සංගමය ජනාධිපතිවරයා හමුවී රේගුවේ ප්‍රගමනය ගැන සාකච්ඡා කිරීමට පෙර අවස්ථා කිහිපයකදීම කළ ඉල්ලීම් පිළිබඳ ලිපි ජනාධිපතිවරයාට යොමු වූවාද යන්න සැකයට කරුණක්. එසේම ජාවාරම්කරුවන් සහ ඔවුන්ට අනුබල දෙන නිලධාරී පැලැන්තියේ අදහස් හා ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත පහසුවෙන් යොමු වුවද රේගුවේ සහ රටේ උන්නතිය වෙනුවෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාගැනීමට අපේ වෘත්තීය සමිතිවලට අවස්ථාවක් නොලැබීම කනගාටුවට කරුණක්.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කිරීම සඳහා උපරිම දායකත්වය ලබා දීමට රේගු නිලධාරීන් ඉතා ඕනෑකමින් කටයුතු කිරීමට සැදී පැහැදී සිටිනවා. ඒ නිසා කූඨ ජාවාරම්කරුවන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට ගන්නා උත්සාහයන්ට නතු නොවී රේගු යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම වැදගත්.

ජනාධිපති ගන්නට යන පියවර අගය කළ යුතුයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ රේගුවේ දැනට පවතින සාම්ප්‍රදායික රාජකාරි රටාව වෙනස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම් එය ප්‍රශංසනීය බවයි. යම් ආයතනයක දිගටම පවතින ක්‍රම සහ විධි වර්තමාන තාක්ෂණයට ඔබින ලෙස යාවත්කාලීන කිරීම ප්‍රධාන අවශ්‍යතාවක් බව ඔහුගේ අදහසයි. රේගුව වැනි රටට විශාල ආදායමක් ලබාදෙන ආයතනයක් වර්තමානයට ඔබින සේ මුල් රටාව වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීම වැදගත් බවද ඔහුගේ අදහසයි. ඒ සඳහා සේවකයන්ගේ සහාය දීමද අවශ්‍ය වෙයි.

අන්තර්ජාතික ආනයන අපනයන වෙළෙඳාම් කටයුතුවලදී රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට රේගුව බැඳී සිටිනවා. රටට ගෙනෙන හා රටින් යවන බොහෝ භාණ්ඩ රේගුව හරහා තමයි යන්නේ එන්නේ. එහෙත් ඇතැම් අවස්ථාවලදී රේගුවේ රාජකාරි කරන සමහර නිලධාරීන්ගේ නොසැලකිල්ල හා ඇතැම්විට නිසි ලෙස රාජකාරි කටයුතු නොකිරීම වැනි හේතු නිසා අපේක්ෂා කරන ආදායම ලබාගත නොහැකි වෙනවා. ඇතැම් නිලධාරීන් විවිධ වරප්‍රසාද ලබාගැනීමට නතුවීම නිසාද මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

අද ලොව පවතින නවීන තාක්ෂණ ක්‍රමවේද රේගුවට හඳුන්වා දිය යුතුයි. අපි ඒවා පාවිච්චි කරන්නේ නැතුව සාම්ප්‍රදායික රටාව තුළ තවමත් සිටින්නේ ඇයිද යන්න ගැටලුවක්. රේගුවේ අවශ්‍ය පමණට වඩා නිලධාරීන් සිටිනවා. එහෙත් ඇතැම් නිලධාරීන් රාජකාරි නිසි පරිදි නොකිරීම නිසා මුළු රේගුවටම විවේචන එල්ල වෙනවා. ඔවුන් සුළු පිරිසක් විය හැකියි. එහෙත් එයින් රටේ ජාතික ආදායම වර්ධනය කිරීමට වැදෙන පහර සුළුපටු නොවෙයි. රටේ ජාතික ආදායමෙන් සියයට 57ක් පමණ ලැබෙන්නේ රේගුව හරහායි. මෙවැනි ජාතික ආර්ථිකයට ඉතාම සම්බන්ධ ආයතනයක් ප්‍රතිසංවිධානය කිරීම කාලීන අවශ්‍යතාවක්. වර්තමානයේ පවතින නිෂ්කායන ක්‍රියාවලියේදී රේගුවට හසුවෙන්නේ කුඩා කොටසක් විය හැකියි. වැඩි ප්‍රමාණයක් ලිස්සලා යන්න පුළුවන්. මේ නිසා අලුත තාක්ෂණ ක්‍රමවේද යොදා නිශ්කාෂණ කටයුතු කටයුතුවලදී රේගුව ප්‍රති සංවිධානය කළ යුතු වෙනවා. අද අපේ රටේ පවතින ගැටලුකාරී ආර්ථික තත්ත්වය මත රේගුව වැනි ආයතනවලින් උපරිම ඵලදායීතාව ලැබීම අවශ්‍යයි. අපේ ආනයන අපනයන ප්‍රතිපත්තිය අනුව නිලධාරීන් උපරිමව සේවය කළ යුතු වෙනවා. සුළු සංඛ්‍යාවක හෝ නොසැලකිල්ල නිසා පහර වදිනවා නම් ඒ ගැන සොයා බැලිය යුතු වෙනවා.

පසුගිය සමයේ ශ්‍රී ලංකා රේගුව කටයුතු කරන විලාශය ගැන අධ්‍යයනය කරන විට සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. රේගුව කටයුතු සිදුවෙන ආකාරය ගැන විවිධ පාර්ශ්වවලින් විවේචන එල්ල වුණා. ඇතැම් අවස්ථාවලදී රේගුව දැන හෝ නොදැන විවිධ දේවල් මෙරටට ආනයනය කෙරෙනවා. මෙහිදී එම ආනයනකරුවන් හා ඇතැම් නිලධාරීන් අතර යම් සම්බන්ධතාවක් තිබෙනවාදැයි සැකයක් මතුවෙනවා. ඍජුව සේවය කරන අවංක නිලධාරීන්ට විවිධ බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඇතැම් අයගේ ජීවිතවලට පවා තර්ජන ඇතිවුණා. මේ තත්ත්වය වහාම වෙනස් කළ යුතුයි.

ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම නිසා රේගුවේ අපේක්ෂා කරන ප්‍රතිසංවිධාන කටයුතුවලට බාධා සිදුව තිබෙනවා. ජනාධිපතිවරයා රේගුව පිළිබඳ පළ කළ අදහස් අගය කරන අතර එයට රේගුවේ සහය ලැබිය යුතුයි. එහෙත් අවශ්‍ය වෙනස් කිරීම් එකවරම කළ නොහැකි බව අප පිළිගත යුතුයි. ආදායම් ඉලක්ක තීරණය කිරීමත් මෙයට අදාළයි. මෙම වෙනස් කිරීම් සිදු කිරීම පියවරින් පියවර කළ යුතුයි. යම් කාලසීමාවක් ලබා දී එම කාලය තුළ අවශ්‍ය වෙනස්වීම් සිදු නොවුණහොත් ඒ ගැන පියවර ගත යුතු වෙනවා. ඇතැම් නිලධාරීන් පැරුණි ක්‍රමයටම යාමට කැමති වෙන්නේ එතැනදී ඔවුන්ට යම් යම් පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලැබෙන නිසා විය හැකියි. ඒ නිසා අනුක්‍රමයෙන් අවශ්‍ය වෙනස් කිරීම කළ යුතු වෙනවා. වර්තමානයට ඔබින ලෙස රේගුවේ කටයුතු ද වෙනස් විය යුතුය යන්න ගැන විවාදයක් නැහැ.

අපේ රටේ පවතින සම්ප්‍රදායක් වන්නේ යම් ආයතනයක කාලීන වෙනස් කිරීම් සිදුවන විට වෘත්තීය සමිති එයට එරෙහි වීමයි. අද රේගු දෙපාර්තමේන්තුවේද සිදුවෙමින් පවතින්නේ එයයි. හැම දෙයක්ම වෘත්තීය සමිති කියන ලෙස කළ නොහැකියි.
ඒ නිසා මෙහිදී වෘත්තීය සමිතිවල යුතුකම වන්නේ රටට ඔබින ව්‍යුහයක් රේගුව තුළ ඇති කිරීමට සහය දීමයි. බොහෝවිට වෘත්තීය සමිති උත්සාහ කරන්නේ සේවකයන් පිළිබඳ සහන ලබාගැනීමටයි. එහෙත් ආයතනය ප්‍රවර්ධනය කිරීමට ඔවුන්ගේ උනන්දුවක් නැහැ. පවතින සාම්ප්‍රදායික ක්‍රම වෙනස් කරන විට ඇතැමුන්ට රිදෙන්න පුළුවන්. එහෙත් මෙහිදී පුද්ගලයන් ගැන නොව සමස්ත ආයතනය ගැනම බැලිය යුතු වෙනවා. රාජ්‍ය ආයතන වෘත්තීය සමිති මගින් පාලනය කරන්නට යනවා නම් රාජ්‍ය පාලනයක් අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ අවස්ථාවල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කෑගසන අය ආයතනයේ උන්නතියට කළේ මොනවාදැයි ප්‍රශ්න කළ යුතුය. මෙම රටාව වෙනස් කිරීමට කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක්.

 යසවර්ධන රුද්රිගු