2021 ජනවාරි 30 වන සෙනසුරාදා

ආණ්ඩුවට පරාල ඇනයක් වන නැගෙනහිර ජැටිය

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 122

“ගෙදර ගියොත් අඹු නසී: මග සිටියොත් තෝ නසී" නම් වූ පැරණි පිරුළ සිහි කරන ඇතැම් සමාජ දේශපාලන සිදුවීම් අප අවට සිදුවෙමින් තිබේ. නොනිමි අර්බුදයක් ලෙස ඉදිරියට ඇදෙන කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳ අර්බුදය ද එවැන්නකි. ගෙවුණු සතිය තුළ මාවත් කිහිපයක් ඔස්සේ විකසනය වන වරාය අර්බුදය පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය නමින් පුළුල් සන්ධානයක් මේ වන විටත් ගොඩනැගී තිබේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගෙවුණු සතිය පුරා කැපී පෙනුණි. ඔවුහු කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවලියක් ද පසුගියදා වරාය අධිකාරියේ බලධාරීන් වෙත භාර දුන්හ. අනතුරුව ඔවුහු විවිධ අවස්ථාවල ආණ්ඩු විවේචනය කරන්නට වූහ. 

ඒ අතර වරාය සටනේ අලුත්ම සාමාජිකයකු ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරළියට පැමිණියේය. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව ඔහු පවසා සිටියේ තම පාලන කාලය තුළ ද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදෙස් සමාගම් ඉල්ලා සිටි නමුදු තමන් ඊට එකඟ නොවූ බවය. 

“මම ජනාධිපති ධූරය දරන කාලයේදීත් මේ කොළඹ වරාය ඉන්දියාවට ඉල්ලුවා. මම බොහෝම පැහැදිලිවම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නෑ කියලා. ඒ වගේම මම ජනාධිපති ධූරය දරන කාලයේ දී වරායට ගිහිල්ලා ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ. ඒක නිසා නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එකඟ වෙන්න පුළුවන්කමක් නෑ. යහපාලන ආණ්ඩුව තුළ තිබුණු යම් යම් ගැටලුසහගත තත්ත්වයන් කවුරුත් දන්නවා. ඒකෙදී අනෙකුත් පාර්ශ්වවලින් මේ ගැන යම් යම් උනන්දුවීම් තිබුණා. නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කර ගන්න උත්සාහ කළා මගේ කාලය තුළ.”

මෙම ප්‍රකාශය ඉතා බරපතළ එකක් විය. ආණ්ඩුව කල් ඇතිවම කියා සිටියේ ඉන්දියානු සමාගම සමඟ පසුගිය රජය ගිවිසුම් කිහිපයකට එළැඹ සිටි බවයි. එම නිසාම ආණ්ඩුවේ හිටපු ජනාධිපතිගේ ප්‍රකාශය සමඟ ආණ්ඩුවට යම් බලපෑමක් එල්ල විය. මෙම කතාව අසත්‍යයක් බව පෙන්වීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් ද පිරිසක් පිළිතුරු බැන්දාහ.

වලල්ලාවිට ප්‍රදේශයේ පැවති "ගම සමඟ පිළිසඳරක්" වැඩසටහනේ දී ජනපති මේ සම්බන්ධ මනාව පැහැදිලි කිරීමක් සිදු කළේය. මෙම වරාය පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේදී ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බවත් තමන් බලයට පැමිණි පසු එවැනි සියලුම ගිවිසුම් අහෝසි කිරීමට ගියහොත් ජාත්‍යන්තරයට වැරදි පණිවිඩයක් ඒ හරහා යා හැකි බවත් ජනපති කියා සිටියේය. විශේෂයෙන්ම රාජපක්ෂවරුන් බලයට පත්වූ විට සියල්ල දෙන්නේ චීනයට පමණක්ය යනුවෙන් වැරදි අදහසක් ලෝකයට යා හැකි අතර එය කොහෙත්ම හොඳ දෙයක් නොවන බව ජනාධිපතිවරයා  අවධාරණය කළේය. 

කොළඹ වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ හත් දෙනකුගෙන් යුත් කමිටුව ද ජනවාරි 25 වැනිදා රැස් විය.  වරාය වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ජපානය සහ ඉන්දියාව සමඟ ඇතිකරගත් අවබෝධතාවලට අදාළ යෝජනා එහිදී අධ්‍යයනය කිරීම අරඹා ඇති බව දැනගන්නට ලැබුණි. ඒ අතර මෙම කමිටුවේ සභාපතිවරයා වන අමාත්‍යාංශ ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කර තිබුණේ අධ්‍යයනවලින් අනතුරැව ඉදිරියේ දී කමිටුවේ වාර්තාව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන බවයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අවස්ථා කිහිපයක දී වරාය අර්බුදය පිළිබඳ රජය වෙනුවෙන් නිල ප්‍රකාශ සිදු කළේය. තවම මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව ඔහු අවධාරණය කළේය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49%ක කොටස් වෙළෙඳපොළට යෙදවීමට හා ඉතිරිය රජය සතුව තබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. නමුත් එය අවසන් තීන්දුව නොවන බවත් ඒ සම්බන්ධව අවසාන තීන්දුවක් මෙතෙක් ගෙන නැති බවත් කැබිනට් මාධ්‍ය හමුවේ දී ඒ මහතා කියා සිටියේය.

මෙම වරාය අර්බුදය මෙරට සීමාවෙන් එපිට ජාත්‍යන්තර භූ දේශපාලනික කරුණක් බව තවදුරටත් ඔප්පු වූයේ අමෙරිකානු තානාපතිනියගේ ප්‍රකාශයක් සමඟය. කොළඹ සිටින අමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඉංග්‍රීසි පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී එය පෙනී ගියේය. ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධනය බාරදීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික කටයුතු සංවර්ධනයට වැදගත් බව ඇය කියා තිබුණි. එසේම ආයෝජන විවෘත සහ දෙපාර්ශ්වයටම වාසි අත්වන විනිවිද පෙනෙන එකක් විය යුතු බවද ඇය පවසා තිබුණේ චීන ආයෝජන ගැන අදහස් පළ කරමිනි.

තවද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය, කන්කසන්තුරේ වරාය සහ පලාලි ගුවන් තොටුපොළ ඉන්දියාවට අවශ්‍ය බව ද ඉන්දියාව විසින් දන්වා ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කර තිබුණි. එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දී තිබුණේ මෑතකදී මෙරට සංචාරයේ යෙදුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ බව දන්වා තිබෙන බවයි. පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් මෙම ස්ථාන තුන ඉන්දියාවට අවශ්‍ය බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට කළ සංචාරයේදී දන්වා ඇතැයිද ඔහු පවසා තිබුණි.

මේ අතර නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටුව රැස්වූ අවස්ථාවේ වරාය පොදු සේවා සංගමය දැඩි තීන්දුවක් ද ගත්තේය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීමේ අරගලය දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් දක්වා වර්ධනය කිරීමටයි. ඒ අනුව පසුගිය සිකුරාදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පවසා තිබුණි.

සති අන්තය වන විට වරාය උණුසුම වඩාත් වැඩි වෙමින් තිබුණි. වෘත්තීය ක්‍රියාමාර්ග ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පෙනී ගියේය. භික්ෂුන් ප්‍රමුඛ සෙසු බලපෑම වර්ධනය විය. ඉන්දියාව තවදුරටත් මුණිවත රැකි අතර ඔවුන් අභ්‍යන්තරික පීඩනයක් ඇති කරන බව පෙනී ගියේය. භූ දේශපාලන වාසි තකා අමෙරිකා එක්සත් ජනපදය ද මීට මැදිත් වන්නට විය. ආණ්ඩුවේ ප්‍රධානීන් කෙරෙහි ද මෙම පීඩනය අත්‍යත්තයෙන්ම බලපෑම් සහගත විය. 

 චමිඳු නිසල් ද සිල්වා