ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ අපගේ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පැහැදිලි කර දී ඇත්තේ කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉදිරි කාලය තුළ තවත් භයානක විය හැකි බව හා එය සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවය. මේ අර්බුදයේ අහිතකර බලපෑම දශක ගණනාවක් පුරාවට පැවතිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙයි. ස්වාධීන රාජ්‍ය හා ස්වයං පාලන ප්‍රදේශ 213ක් පුරා වසංගතය පැතිර තිබේ. ලෝකයේ කිසිදු කලාපයක් කොවිඩ්-19 වයිරසයෙන් මිදී නැත.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන වැදගත්ම සාධකයක් තිබේ. එනම් තවත් වසර කිහිපයක් යන තුරු කොවිඩ්-19 වයිරසය සමඟ ජීවත් වීමට ලෝකවාසීන්ට සිදුවන බවය. ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ වසංගත රෝග නිසා ලෝකය විනාශ වූයේ නැති බවය. සිදු වී ඇත්තේ මිනිසා වසංගතය සමඟ ජීවත් වෙමින් ඊට එරෙහිව සටන් වැදීමය. මේ ගමන් මගේදී වසංගතය පරාජය වූවා මිස මිනිස් සමාජය පරාජයට පත් වූයේ නැත. ඉන් හැඟවෙන අර්ථය වන්නේ සටන් වැදිය යුතු කාලයක් පැමිණ ඇති බවය. කොවිඩ්-19 වයිරසයට එරෙහිව සටන් වැදිය හැක්කේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් වලින් සන්නද්ධ වීමෙන් පමණි.
ආපසු හැරී බලන විට අපේ ජනතාවගේ වැඩ කොටස පිළිබඳ ගැටලු ගණනාවක් මතු වී ඇත. කොවිඩ්-19 පිළිබඳ අවදානමක් ශ්‍රී ලංකාව තුළ නැතැයි යන හැඟීමෙන් බොහෝ දෙනෙක් ක්‍රියා කරති. ඇතැම් ආයතන හා නිලධාරීන් ද මන්දගාමී වී ඇති බවක් ද පෙනෙන්න තිබේ. සෞඛ්‍ය පිළිවෙත් හා උපදේශන එකින් එක සමාජය වෙතින් ගිලිහී යන්න පටන්ගෙන තිබේ. සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් පිළිනොගතහොත් රෝගය පාලනය කිරීම ඉතා අපහසුය.
කාර්යාලයක් දෙස බලමු. මුව ආවරණ පළඳින අයට වඩා නොපළඳින අය වැඩිය. ප්‍රසිද්ධ ස්ථාන දෙස බලමු. සමාජ දුරස්ථභාවය ඇත්තේම නැත. බස් රථවල, දුම්රියවල එකා පිට එකා නැගී ගමන් කරති. පසුගිය උත්සව සමයේ බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලා සිටියහ. නමුත් දැඩි සංචරණ නීති රීති දැමුවද ජනතාව ගැවසෙන බොහෝ ස්ථාන හුදෙකලා කළේ නැත. මේ වන විට එහි ප්‍රතිඵලය දැකගත හැකි බව ඔවුන් පවසන්නේ එබැවිනි.
රෝගය දැන් සමාජගතවෙලා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය - උපුල් රෝහණ
අද වන විට රටේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් හමුවෙනවා. ඇත්තටම කිව්වොත් දැන් මෙය පාලනය කර ගත හැකි තත්ත්වයක් පේන්න නැහැ. ඒ වගේම රට පුරා විවිධ ඇගළුම් කම්හල් වලින් මෙන්ම පෞද්ගලික ආයතන තුළිනුත් රාජ්‍ය ආයතන තුළිනුත් මේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වගේම තමයි ඇතැම් රෝගීන්ට රෝගය හැදුණේ කොහොමද කියලා කියන්න බැරි තරම් මූලාශ්‍ර තමයි තියෙන්නේ. පසුගිය උත්සව සමයේ සංචරණ සීමා පනවන්න කියලා අපි කොතෙකුත් කිව්වා. නමුත් මොවුන් ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ නිසා තමයි මේ දෛනික ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙන්නේ. උදාහරණයක් විදියට එම උත්සව කාලසීමාව තුළ බස්නාහිර පළාතේ සේවය කළ බොහෝ දෙනෙක් සිය ගම් බිම් බලා පිටත්ව ගියා. ඒ තත්ත්වය යටතේ මුළු රටේම මූලාශ්‍ර නොමැති ආසාදිතයන් රට පුරාම වාර්තා වුණා. ඇත්තටම කිව්වොත් මේ වන විට රෝගය සමාජගත වෙලා තියෙන්නේ. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන්ගේ සංගමය ලෙස අපි යෝජනා කරන්නේ දැන් මේ රට වටෙන්ම රෝගීන් වාර්තා වන නිසා ගමින් ගම හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදෙකලා නොකර මුළු රටම එකවර හුදෙකලා කර මේ රෝගය ව්‍යාප්ත වන එක නතර කරන්න අපි කටයුතු කරන්න ඕන. එහෙම නැත්තම් තවත් බොහෝ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.
සෞඛ්‍ය නිලධාරිනුත් දවස ගාණේ ලෙඩ වෙනවා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ
පසුගිය සති තුනක කාලය තුළ රෝගීන් 11000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිට කොරෝනා මරණවල යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඇත්තටම මෙය සුළුවෙන් තැකිය හැකි කාරණයක් නෙවෙයි. මේ විදියට දෛනිකව රෝගීන් වාර්තා වෙන විට අපේ සෞඛ්‍ය පද්ධතිය ඊට සූදානම්ද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඉතා සීමිත සම්පත් ප්‍රමාණයකින් මහජන සෞඛ්‍ය පද්ධතිය රැකගෙන ඉදිරියට යාමට හැකිද යන ප්‍රශ්නයත් අපිට මතු වෙනවා. අනෙක් පැත්තෙන් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දවස ගානේ ලෙඩ වෙමින් තියෙනවා. ඒ අයට කොවිඩ් වැළඳෙමින් තියෙනවා. ඒ අය නිරෝධායනයට යොමු කරමින් තියෙනවා. මොකද එක වෛද්‍යවරයෙක් පොසිටිව් වුණොත් වටේ සිටින ආශ්‍රිතයන් දහ දෙනෙකුට හැදුණොත් අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දහ දෙනෙක් එතනින් ඉවත් කරන්න වෙනවා තාවකාලිකව. එම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කොවිඩ් නිසා ගිලන් වීම ඉතා භයානක ප්‍රවණතාවක්. ඒ අනුව අද පවතින තත්ත්වය ගැන අද හරි තීරණ නොගතහොත් හෙට වන විට පසුතැවිලි වීමට සිදු විය හැකියි.
සටහන: හසිත් අංජන