මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත A/HRC/ 46/20 දරණ ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කර ඇති බවට තහවුරු කළ හැකි චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව වත්කම් අත්හිටුවීමට සහ සංචාර තහනම් කිරීම වැනි සම්බාධක පැනවීමට යෝජනා කර තිබේ..
2021 පෙබරවාරි 22 සිට මාර්තු 19 දක්වා පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිත මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව පෙන්වා දෙන්නේ යුද්ධය අවසන් වී වසර 12 කට ආසන්න කාලයක් මුළුල්ලේ වගවීම සහ ප්රතිසන්ධානය පිළිබවඳව දේශීය වශයෙන් කටයුතු කොට ප්‍රතිළුල පෙන්වීමට ශ්‍රී ලංකාව නැවත නැවතත් අසමත් වී ඇති බවටය.
ශ්‍රී ලංකාවේ බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය සිදුකළ බවට විශ්වාසදායක ලෙස චෝදනා එල්ලවන රාජ්‍ය නිලධාරීන්ට සහ අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව වත්කම් අත්හිටුවීමට සහ සංචාරක තහනම් වැනි ඉලක්කගත සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් රටවලට හැකි බව වාර්තාවේ දැක්වේ.
මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමටත්, සාක්ෂි රුස් කිරීම සඳහාත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවයන් විසින් සිදුකරන ලද ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට ඔවුන්ගේ රටවල ජාතික අධිකරණ ඉදිරියේ සක්‍රියව විමර්ශනය කිරීමට හා නඩු පැවරීමේ හැකියාව පවතින බවද පැවසේ.
මෙවර ඉදිරිපත් කර ඇති වාර්තාව පෙර වසරේ ඉදිරිපත් කරන ලද වාර්තාවට වඩා ශ්‍රී ලංකාව අපහසුතාවට පත්කරන තත්ත්වයක් පෙන්නුම් කරන්නකි. පසුගිය වසරේ මෙරට සිදුවූ මහර බන්ධනාගාර සිදුවීම, කොවිඩ් ආසාදිත මුස්ලිම් මරණ වැළලීමට ඉඩ නොදීම, වැනි සිදුවීම් ද යුද්ධය හා හමුදා නිලධාරීන් සිවිල් ආයතනවල ඉහළ තනතුරුවලට පත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද මෙම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙරට සිවිල් සංවිධාන 40ක් පමණ ආරක්ෂක හමුදා, රහස් පොලිසිය සහ බුද්ධි අංශ මගින් සිදු කරන හිරිහැර හා නැවත නැවත කෙරෙන සෝදිසි කිරීම් පිළිබඳ වාර්තා ලබා දී ඇතැයි එහි සඳහන්ය. මේ වන විට ශ්‍රී ලංකාව 30/1 යෝජනාවෙන් ඉවත් ව තිබේ. ශ්‍රී ලංකාව 2020 පෙබරවාරි මාසයේදී එම යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමෙන් පසු සුළු ජාතීන්ට එරෙහි බලපෑම් වැඩි වී ඇතැයි සඳහන් කරන වාර්තාව සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදු කරන බියගැන්වීම් හා මුස්ලිම් ප්‍රජාවට එරෙහි පීඩාවන් කෙරෙහිද අවධානය යොමු විය යුතුයැයි සඳහන් කර ඇත.. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව හමුදාකරණය වෙමින් ඇතැයිද වාර්තාවේ සඳහන්ය. හමුදා සේවයේ හිටපු සහ තවමත් සේවයේ නිරත විශේෂයෙන් යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලද හමුදා නිලධාරීන් සිවිල් පරිපාලන කටයුතුවල ප්‍රධානීන් ලෙස පත් කර ඇතැයි ද වාර්තාව පවසයි. සිවිල් ක්‍රියාකාරින් හා නිදහස් මාධ්‍යය මැඩපැවැත්වීමට රජය ක්‍රියාකරන බවද එහෙයින් මානව හිමිකම් ක්‍රියාකාරින්, නීතීඥයන්, මාධ්‍යවේදීන්, සමාජ ක්රියාකාරිකයන් ඉලක්ක කර සිදු කරන සියලු ආකාරයේ මර්දනය හා ඔවුන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා ගනු ලබන නීතිමය ක්‍රියාවලින් වැළකී සිටින ලෙසද එහි සඳහන්ය.
මෙම වාර්තාවෙන් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකා රජයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුකූලව සියලු දෙනාටම සමාන ලෙස සැලකීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම මත පදනම්ව ශ්‍රී ලංකාව සඳහා බහුකාර්ය දැක්මක් සක්‍රියව ප්‍රවර්ධනය කිරීම, ව්‍යවස්ථාමය හා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ මගින් මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශයන් සහතික කිරීම, ලිංගික හිංසනය, වෙනත් මානව හිමිකම් උල්ලංඝනය, සහ වධහිංසා පැමිණවීම තහනම් බවට බුද්ධි අංශ, පොලිස් සහ හමුදා අංශවලට ප්‍රසිද්ධියේම පැහැදිලි උපදෙස් නිකුත් කිරීම හා එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කර දඬුවම් පැමිණවීම, මානව හිමිකම් කඩකර ඇති හමුදා නිලධාරීන් හා රාජ්‍ය නිලධාරින් සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වන්දි ගෙවීම් කාර්යාලය නිදහස් සහ සාධාරණ අයුරින් ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීම, අධිකරණ ක්‍රියාවලිය සමාලෝචනයට යටත් කිරීම සහ බරපතල මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජනාධිපති සමාව හෝ වෙනත් ආකාරයක සමාව ලබා දීම සඳහා ප්‍රමිතිගත ක්‍රියා පටිපාටියක් ස්ථාපනය කිරීම. වැනි කරුණු එම යෝජනා අතර වේ.
විදේශ ලේකම් අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතාට අනුව ජනවාරි 27 දා මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය මගින් වාර්තාවක් යැවීමට නියමිතව තිබිණි. මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ වාර්තාවෙන් ජාත්‍යන්තර අධිකරණයේ නඩු විභාග කිරීමට නිර්දේශ කිරීම මගින්, චෝදනා එල්ල වුවද කිසිවක් සනාථ කළ නොහැකිවූ පුද්ගලයන් ඉලක්ක කර ඇතැයි ඔහු සඳහන් කර තිබේ. වර්තමානයට කිසිසේත් අදාළ නොවන ඇතැම් කරුණු වාර්තාවේ අන්තර්ගතව ඇති අතර ශ්‍රී ලංකාව අපකීර්තියට ලක් කිරීමට උත්සාහ කරන බොහෝ රටවලට වඩා ශ්‍රී ලංකාව සාමකාමි හා ස්ථාවර බවද ඔහු අප සහෝදර පුවත්පත වන සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
විදේශ විනිසුරුවරුන් පත් කිරීම හැර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 30/1 යෝජනාව මගින් නිර්දේශ කරන ලද සියලු යෝජනා පාහේ ශ්‍රී ලංකාව විසින් ඉටු කර ඇතැයිද, මෙම වාර්තාව දෙමළ ඩයස්පෝරාවේ බලපෑම මත සිදුවූවක් යැයිද අද්මිරාල් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පෙබරවාරි-මාර්තු මාසවල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී ඉදිරිපත් කරනු ලබන නව යෝජනා සම්බන්ධයෙන් එකඟ වීම හෝ නොවීම සම්බන්ධයෙන් මෙරට බලධාරීන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත. නමුත් මෙහි ශ්‍රී ලංකාවට එකඟතාවයකට එළඹිය හැක්කේ පාර්ශ්ව දෙකටම නිශ්චිතව එකඟ විය හැකි නම් පමණක් බවද කොළඹගේ මහතා සඳහන් කරතිබේ. සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතාද ප්‍රකාශ කළේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව පිළිගැනීමේ හෝ නොපිළිගැනීමේ ස්වාධීන අයිතිය රජය සතු බවටය. රටේ ස්වෛරීත්වය අනුව රජය කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
යුද සමයේ හමුදාව යුද අපරාධ කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාවට දඬුවම් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තොරතුරු සැපයූයේ දෙමළ ඩයස්පෝරාව මගිනි. පසුව උතුරේ දෙමළ දේශපාලන පක්ෂද වරින් වර ජිනීවා මානව හිමිකම් කොමිසමට ලංකාව පිළිබඳව ගතු කියන්නට වූහ.
ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරිපත් කළ යුතුයැයි තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේෂ්වරන් සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම්ද සඳහන් කර තිබේ. දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට ශ්‍රී ලංකා රජය තවදුරටත් ප්‍රමාද වීම තම ජනතාවට කරන අසාධාරණයක් බවත්, එය කඩිනමින් සිදුකර ගැනීමට දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂවල වගකීමක් බවත් ඔවුන් සඳහන් කර ඇත.
උතුරේ දෙමළ පක්ෂ සහ දෙමළ ඩයස්පෝරාව සැමදාම චෝදනා කළේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දඬුවම් කළ යුතු බවටය. මෙවරද ඔවුන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම්ය.
නව යෝජනාව සම්බන්ධයෙන් සහය ලබා ගැනීම සඳහා දෙමළ සන්ධානය පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයන් පිරිසක් සමඟද සාකච්ඡාවක් පවත්වා තිබේ. යුද සමයේ දී සිදු වූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වන වගවීමෙන් ශ්‍රී ලංකා රජයට මිදීමට නොහැකි හා අගතියට පත් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවන ආකාරයේ නව යෝජනාවක් සම්මත කර ගැනීමට බ්‍රිතාන්‍ය රජයට මූලිකත්වය ගන්නා මෙන් එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබිණී. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍යය කටයුතු කරන බවත් ඒ පිළිබඳ සාකච්ඡා ජනවාරි මාසයේ දී අරඹන බවටත් එම අවස්ථාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් දෙමළ ජාතික සන්ධානයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා විය.
ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍ය ප්රමුඛ පාර්ශ්ව කිහිපයක්ම මේ වනවිට ක්‍රියාකරමින් සිටින බව පැවසේ. මානව හිමිකම් කවුන්සිලය මගින් සම්මත කෙරුණු 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වීම නිසා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ. මේ වන විට එම යෝජනා සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති අතර රටවල් කිහිපයක සහයෝගය ලබා ගැනීමට ඇමෙරිකාවද කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවට එරෙහි නව යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මූලිකව කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැංවීමේ කටයුතු පිළිබඳ මහ ලේකම් රෝස්මරී ඩිකාර්ලෝ බව පැවසේ.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කරන ලද කොමිෂන් සභා හෝ කමිටු මගින් අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල කොමිසමක් පසුගිය 21 දා පත්කර තිබේ. ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේ කිසියම් පුද්ගලයකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා අවශ්‍ය පියවර ගැනීම එහි අරමුණය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස සඳහන් කළේය. මේ පිළිබඳව නැවත සොයාබලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි යන මතයේ රජයක් ලෙස අපි ඉන්නවා. යුද්ධයකදී හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලියකදී යම් යම් අවස්ථාවල ඇතැම් සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ.. එහෙම වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගෙන යමෙකුට කිසියම් අගතියක් සිදු වී තිබේනම් නම් ඒ සඳහා අවශය පියවර ගැනීමට. බලාපොරොත්තු වෙනවා..
එම කොමිසමේ අවසන් වාර්තාව කොමිසම පත් කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා