2021 ජනවාරි 30 වන සෙනසුරාදා

පොලීසියට “කළුකෝට්” මහත්වරු!

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ විවිධ කාර්යයන් සඳහා වෙන්වූ කොට්ඨාස හා කාර්යාංශ පවතී. පොලිස් නීති කොට්ඨාසය ඉන් එකකි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය තව එකකි. මෙම කොට්ඨාස දෙක උදාහරණයට ගැනුණේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පිළිබඳව පැවසීමටය. එතුමා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කවුරැත් හඳුනන අතර ඔහු හැඳින්වීමේදී නම ඉදිරියෙන් නීතිඥ ලෙස භාවිත කරයි. 

නීතිඥවරයකු වන ඒ මහතා පොලිස් නීති කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සේම මාධ්‍ය ප්‍රකාශක ලෙසද රාජකාරියේ නිරත වෙයි. පිත්තල බොත්තම් තරු පටි සහිත කාකි ඇඳුමට අමතරව කළු කෝට් ඇඳ අධිකරණයේ කටයුතු කරන ආකාරයද දැකිය හැකිය. ඒ පොලීසිය වෙනුවෙන් හෝ එම පාර්ශ්වයේ පැමිණිල්ල හෝ විත්තිය මෙහෙයවීමටය.

පොලිස් නීති කොට්ඨාසය බාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන්නේ හිටපු මාධය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාය. ඔහුව හැඳින්වීමේදීත් නීතිඥ වචනය භාවිත කරන්නේ, නීතිඥවරයකු නිසාය. මේ නිලධාරීන් දෙදෙනා පොලිස් සේවය තුළ ජනප්‍රිය චරිත දෙකකි. ඒ දෙදෙනාම ප්‍රථමයෙන් පොලිස් සේවයට බැඳී පසුව නීතිය හදාරා නීතිඥයන් ලෙස පත්වූවන් බවට ප්‍රකටය.

මේ හැර තවත් නිලධාරීහු කිහිප පොළක් නීතිඥවරු මෙන් පොලිස් සේවයේ සිටිති. එහෙත් මේ කතිකාව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු වශයෙන් නීතිඥවරු 150 දෙනකු පොලිස් සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙනි. මෙය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ සංකල්පයක් යැයි පැවසුණද එය එසේ නොවන බව අමාත්‍යවරයා පසුව කළ ප්‍රකාශයක සඳහන් විය. නීති අධ්‍යාපනය හදාරා නීතිඥයන් ලෙස දිවුරුම් දී තිබෙන නවක පිරිසක් පොලිස් නීති කොට්ඨාසය වෙත බඳවා ගැනීම මෙහි අදහසය. ඒ සී.අයි. හෙවත් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර සඳහාය. මෙය කිසිදිනක පොලිස් ඉතිහාසයේ නොවූවකි. මීට පෙර පොලිස් නිලධාරීන් නීතිඥයන් ලෙස පත්ව ඇත්තේ පොලිස් සේවයට බැඳීමෙන් අනතුරුව නීතිය හැදෑරීමෙන් පසුවය. ඉහත උදාහරණ වශයෙන් කවුරැත් දන්නා පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ නම් සඳහන් කළේ එබැවිනි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සිය අදහස ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයිද අනතුරුව පොලිස්පතිවරයා දැනුම්වත් කර ඇතැයිද වාර්තා වී තිබිණි. කෙසේ නමුත් පොලීසිය පාර්ශ්වයෙන් වාර්තා වන්නේ එවැනි බඳවා ගැනීමක් සිදුවන්නේ නම් එය පොලිස් කොමිසම හා අධිකරණ අමාත්‍යංශය හරහා සිදුවිය යුතු බවය. කෙසේ හෝ මේ ආකාරයට පොලිස් සේවයට නීතිඥවරු බඳවා ගන්නේ නම් එය ඉතිහාසයේ පළමු වතාවට සිදුවන්නකි.

අධිකරණයට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය අමාත්‍යංශ, සංස්ථා, දෙපාර්තමේන්තු මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නීතිඥවරු සේවය කරති. ඒ එම ආයතනවලට නීති නිලධාරීන්ගේ අවශ්‍යතාව ඇති නිසාය. මේ ආකාරයට ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනවලත් නීති නිලධාරීන් වශයෙන් නීතිඥවරු සේවය කරති. කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයා පවසා තිබුණේ  පොලීසිය හා මහජනතාව අතර සුහදත්වය පවත්වාගෙන යාමට හා අනවශ්‍ය චෝදනා ඉවත්කර අත්‍යවශ්‍ය චෝදනාවලට පමණක් නඩු පැවරීමට මෙම නිලධාරීන් හරහා හැකියාව ලැබෙනු ඇති බවය. මේ අතර අධිකරණ අමාත්‍යංශයේ නීති උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා පවසා තිබුණේ රජයේ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා මෙන්ම යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අංශවල නීතිඥවරු සේවය කරන අයුරින් පොලීසියට නීතිඥවරු බඳවා ගැනීමට අදහස් කළ බවකි. 

සේවයේ නියුතු පොලිස් නිලධාරීන් නීතිය හදාරා නීතීඥවරු වීමෙන් පසුව පොලීසියේ ඉහළ තනතුරු සඳහා ඉල්ලුම් කරන ක්‍රමවේදයක් පවතී. යම් අයකු නීතිඥවරයකු නම් ඔහුට උපාධියක් ඇත්නම් පොලීසියේ සහකාර පොලිස් අධිකාරි තනතුරට කෙළින්ම ඉල්ලුම් කළ හැකිය. එයද බඳවාගන්නා නියමිත ක්‍රියා පටිපාටියකි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරුන් 150ක් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය හා පොලිසිය අතර සාකච්ඡාවක් සිදුව ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එහෙත් ශ්‍රී ලංකාවේ නීතිඥයන් නියෝජනය කරන ප්‍රධාන සංගමය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමඟ මේ කාරණය සාකච්ඡා නොකිරීම ගැටලුවකි. එවැනි පසුබිමක් සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ තැන්වල සිදුවීම වාර්ගික ගැටලුවක් වශයෙන් අර්ථකථනය කරනු දැකිය හැකිය. ඒ අතර කියැවෙන්නේ දමිළ භාෂාව පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති නීතිඥවරුන්ට තනතුරු සඳහා ප්‍රමුඛතාව ලැබෙන බවකි. මේ පිළිබඳව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වෙත ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් මගින් සිය කරුණු දක්වා තිබේ. නීතිඥවරුන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට යම් තීරණයක් ගනු ලබන්නේ නම් එය ඉතා සුපරික්ෂාකාරී මෙන්ම සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව කළයුතු බව පෙන්වා දෙයි. වර්තමානයේ අපරාධ පසිඳලීමේ ක්‍රියාදාමයේදී තාක්ෂණය උපයෝගී කරගන්නා බවත් එවැනි අපරාධ සුලබ බැවින් අපරාධ ක්‍රම වෙනස් වෙමින් පවතින බව කියයි. මේ තත්ත්වය හමුවේ නව නීති හඳුන්වාදීම හා නීති සංශෝධනය කළයුතු බව පෙන්වා දෙයි.

මෙම බඳවාගැනීම හරහා අනාගතයේදී උසස්වීම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතුවීමේ අවදානමක් ඇතිවිය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි. එමෙන්ම ඉහත යෝජනාව ක්‍රියාත්මක වුවහොත් නීතිඥ වෘත්තියේ ආචාරධර්මවලට බලපෑමක් වන බවද සිහිපත් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු සඳහා නීතිඥවරුන්ගේ අවශ්‍යතාවක් ඇත්නම් මුල් අවස්ථාවේ අපරාධ අධිකරණ කටයුතු උදෙසා වෙනම නීති දෙපාර්තමේන්තුවක් සංස්ථාපනය කොට පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පැවතිය යුතු බව යෝජනා කරයි. එසේ වුවද පොලිසිය වෙත බඳවාගන්නා සෑම අයකුම පොලිස් දෙපාර්තමේන්තුව යටතේ සේවය කළයුතු බවද පවසයි.

නීතිඥවරුන් 150ක් බඳවාගැනීම නඩු කඩිනමින් අවසන් කිරීමේ අරමුණ නම් ඊට කරුණු හයක් ඇතුළත්ව විකල්ප යෝජනාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කරයි. ඒ අනුව නීතිඥවරු 150ක් පොලිසියට බඳවාගැනීම සම්බන්ධයෙන් වන තීරණය යළි සලකා බලන ලෙස එම සංගමය ඉල්ලා සිටී.

ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කියා තිබුණේ මෙසේය. 

පොලිසියට නීතිඥවරු බඳවා ගැනීම සඳහා සංකල්පයක් ඉදිරිපත් වුණා. එම අදහසට සාකච්ඡාවක් කළා. එය අනවශ්‍ය නම් ඉවත් කරනවා. විදේශ රටවල මේ ආකාරයට අධිකරණ කටයුතු කරනවා. එහි යහපත් ගුණාත්මක තත්ත්වයක් තිබෙනවා. එම නිසයි මේ සංකල්පය පිළිබඳ සාකච්ඡා කළේ. අවශ්‍ය දේට වගේම අනවශ්‍ය දේටත් නඩු දැමීම වළක්වන්න මේකෙන් පුළුවන්. එවැනි පොලිස් නිලධාරියකුට හැකියාව තිබෙනවා නඩු දාන්න අවශ්‍ය සාක්ෂි ප්‍රමාණවත්ද කියලා බලන්න.

නීතිඥවරු 150ක් පොලිසියට බඳවා ගැනීම සංකල්පයක් පමණක් නම් නිසි අරමුණක් හා ස්ථීර සැලසුමක් නොමැතිව සාකච්ඡා පැවැත්වීම නුසුදුසුය. කතිකාව වටා වාර්ගික අර්බුද පිළිබඳ අදහස් කියැවෙන්නේද එබැවිනි. මේ නිසා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යංශය එක්ව සාධනීය තීරණයකට පැමිණිය යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර