ලයිබීරියානු ධජය යටතේ අබුඩාබි රාජ්‍යයේ සිට මෙරට ත්‍රිකුණාමල වරාය දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ එම්.වී යුරෝසන් නැමති නෞකාව පසුගිය 23 වැනිදා හම්බන්තොට මුහුදු සීමාවේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසලදී ගල්පරයක වැදීමෙන් අනතුරට පත් විය. මීටර් 180ක් දිගැති මෙම නෞකාව අනතුරට පත්වන විට එහි කාර්ය මණ්ඩලය 18 දෙනකු සිටි අතර අනතුරින් කිසිවකුටත් හානි සිදු නොවීය.
ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත් එම නෞකාවේ ක්ලින්කර් (Clinker) මෙට්‍රික් ටොන් 33,000කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720ක පමණ ප්‍රමාණයක් ද ගබඩා කර තිබූ බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත. නෞකාව අනතුරට පත් වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව රත්නදීප නෞකාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් යොදාගනිමින් අනතුරට පත් නෞකාව නිරීක්ෂණය කළ අතර නාවික හමුදාව මගින් එහි සේවය කළ සියලු නැවියන් ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන පැමිණියේය.
මූලික විමර්ශනයන්ට අනුව අනතුර හේතුවෙන් නෞකාවේ බඳට හානිවීමක් වාර්තා නොවූ බවත් නෞකාව තුළට ජලය කාන්දුවීමක් හෝ අනතුර හේතුවෙන් සාගරයට ඉන්ධන කාන්දුවීමක් ද වාර්තා නොවූ බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. එමෙන්ම නෞකාවේ කාර්ය මණ්ඩලයේ කපිතාන් ඇතුළු පිලිපීන ජාතිකයන් 15 දෙනාට සහ ඉතියෝපියානු ජාතිකයන් තිදෙනාට මෙම අනතුර හේතුවෙන් හානියක් සිදුවී නොමැති බව එම නිවේදනයෙන් දන්වා තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක්, ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුද දෙසින් වූ කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට ලක්වුණා. අපේ නාවික හමුදාවේ නිලධාරීන් එම නෞකාව අනතුරට ලක් වූ අවස්ථාවේම එම ස්ථානයට ගිහින් එහි විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබුණා. ඒ වගේම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් මෙම අනතුර සිදු වූ අවස්ථාවේම එම ස්ථානයට ගොස් තිබුණා යම් පරිසර හානියක් සාගරයට සිදුවීදැයි සොයා බැලීම සඳහා. ඒ වගේම නැව අනතුරට පත් වූ පසු දින මමත් එම ස්ථානයට ගොස් සාගරයට යම් හානියක් සිදු වී තිබේද යන්න සොයා බැලුවා. නමුත් එම අවස්ථාවේ එවැනි හානියක් සිදු වී තිබුණේ නැහැ. අපි එම ස්ථානයේ ජල සාම්පල කිහිපයක් රැගෙන පැමිණියා. මේ වන විටත් එම සාම්පල පරීක්ෂා කර බලන්න අපි කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම තව දින කිහිපයකින් අපි එම නෞකාව අනතුරට පත් වූ ස්ථානයට ගොස් නැවත වරක් නිරීක්ෂණ කටයුතු කරන්න සූදානමින් සිටිනවා.
පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ හේමන්ත විතානගේ
පසුගිය 27 වැනිදා මෙරට දකුණු මුහුදු සීමාවේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල සිදු වූ නෞකා අනතුරෙන් තවමත් සාගරයට හානියක් සිදු වී තිබේද නැත්ද යන්න කියන කාරණය පිළිබඳ අදහසක් ඉදිරිපත් වී නැහැ. කොහොම වුණත් අසල තිබෙන ගල්පරයක තමයි ඒ නෞකාව වැදිලා තිබුණේ. ඒ වගේ අවස්ථාවක නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වුණොත් සාගරයට යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම බලන්න ඕන එම නෞකාවේ තිබුණු ක්ලින්කර් කියන ද්‍රව‍්‍ය මුහුදට කාන්දු වෙලාද කියන කාරණය පිළිබඳවත්. යම් හෙයකින් එහෙම හානියක් සිදු වී තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම පියවරක් ගත යුතුයි. එසේ නැති වුවහොත් සාගරය දූෂණය වීමක් සිදුවෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වැනි දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව 2021 ජනවාරි මස 24 වැනි දින එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්ත්වය හමුවේ ඇති වූ දිය වැල්‍වල බලපෑමෙන් සිරවී තිබූ ගල්පරයෙන් ඉවත් වීමෙන් අනතුරුව, කුඩා රාවණා පරයේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 05ක් පමණ දුර මුහුදේ ආරක්‍ෂිතව නැංගුරම්ලෑමට කටයුතු කළ බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් නෞකාවේ දිය යට බඳ කොටස පුළුල් ලෙස පරීක්‍ෂා කිරීමෙන් (Diving Operation) අනතුරුව, අනතුර හේතුවෙන් නෞකාව ගල්පරයේ සිරවී තිබූ ප්‍රදේශයේ බඳ කොටසට සුළු හානි සිදුවී ඇති බව නිරීක්‍ෂණය වී තිබේ. එමෙන්ම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ නෞකා අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් යොමු කරන ලද නෞකා තක්සේරුකරුවන් විසින් ද නෞකාවේ බඳ කොටසට සිදුවී ඇති හානි සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කර වාර්තාවක් ලබාදීමට නියමිතය.
ඒ අනුව, නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර ක්‍රියාකාරීත්වයෙන් නෞකාව යාත්‍රා කරවීම සුදුසු නොවන බවත් ළඟම ඇති වරායක් වෙත නෞකාව ඇදගෙන ගොස් එහි බඳට සිදුවී ඇති හානි අලුත්වැඩියා කර ගැනීමට කටයුතු කරන ලෙසත් MV Eurosun නැමති නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වෙත කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) මගින් උපදෙස් ලබා දී ඇති බවත් එම නිවේදනයේ සඳහන්ය.
සටහන: හසිත් අංජන