2021 ජනවාරි 30 වන සෙනසුරාදා

ගඟ අද්දර ලියූ ලෙටීෂියා බොතේජු

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 337

නංගිව වතුරට වැටුණොත් මම කොහොම හරි වතුරට පැනලා බේරගන්නවා.

හොඳයි, මාව බේරගන්ඩ බැරි වුණොත්

නංගිව බේරගන්ට බැරිවෙන්නේ නෑ මට රංජිත් ඥාති සොහොයුරිය දෙස මඳක් විමසිල්ලෙන් බලා සිට මෙසේ කීය.

බේරගන්ට බැරි වුණොත්.. මමත් නංගි පස්සෙන්ම එනවා.

ගඟ අද්දර දී දෙමාපියන්ට හොරා තම ඇවැස්ස මස්සිනා වන රංජිත් සමඟ ගත කළ ඒ සුන්දර සමය නිර්මලාගේ හිතේ අවංකව ආදරයක් ලියලා ඇත. මෙය දැනගත් ඇගේ ධනලෝභී පියා කුරිරු ලෙස ඇගේ ඒ සම්බන්ධය බිඳ දමා, වැදගත්, නම්බුකාර යැයි සැලකෙන තරුණයකුට නිර්මලා විවාහ කර දෙයි. තමා ඒ විවාහ වූ තරුණයා එයට පෙර විවාහයක් කර ගත්තකු බව දැනගත් මොහොතේ නිර්මලාගේ හිත දෙදරා වැටෙයි. ඇයට මානසික රෝහලට යෑමට සිදු වූයේ ඉන් පසුවය.

සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගඟ අද්දර චිත්‍රපටයේ රංජිත් හා නිර්මලාගේ චරිත තරම් මෑත යුගයේ නව යොවුන් පරපුරේ හදවත ළං වූ චරිත ඇත්තේ අතේ ඇඟිලි තරමය. මේ චරිත සැබවින්ම පාඨක සිත් තුළ මැවූ ලේඛිකාව ලෙටීෂියා බොතේජුය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නවකතාකාරිය ලෙස හඳුන්වා තිබුණාය.

රන් ටිකිරි සිනා
මුව මුව පාලා
ළං වී අත් අල්ලාගෙන 
ඇස් දැල්වූවා

මේ ගීතය රංජිත්ගේ හා නිර්මලාගේ ඒ අහිංසක ප්‍රේමය මූර්තිමත් කළ අතර ඒ චරිතවල නිර්මාතෘ ලෙටීෂියා බොතේජු මහත්මිය හමුවූයේ අසූව දශකයේ මුල දිනක රාජගිරියේ ගල් පල්ලිය අසල ශාන්ත ස්ටීවන් පාරේ අංක 27 දරන නිවෙසේදීය.
ලෙටීෂියා බොතේජු මහත්මිය ලියූ ප්‍රථම නවකතාව පාර දිගේය. ඉන්පසු ඇය ගඟ අද්දර, අනූෂ සහ රන් කුමරු, වෙස් මුහුණු, මට මතකයි, කඳු පාමුල හෙවත් දෛව ගීතය, එළිපත්තෙන් උඩවත්තට, අඳුරු වළා තුළින් ආදී නවකතා රචනා කළාය. ඇය ලිවීමට පෙළඹුණු අයුරු මෙසේ අපට එදා විස්තර කළාය.

මම පොතපත ලිවීමට පටන් ගත්තේ විවාහ වුණාට පස්සෙ. ඊට පෙර චාල්ස් ඩිකන්ස්, වෝල්ටර් ස්කොට්, ඇන්ටන් චෙකොෆ් ඇතුළු 18 වැනි ශතවර්ෂයේ ලේඛකයන්ගේ නවකතා කියෙව්වා. මගේ සැමියා එඩ්වින් බොතේජු මහතා විදේශීය සමාගමක අලෙවි කළමනාකරුවෙක් හැටියට සේවය කළේ. මම ලේඛිකාවක් හැටියට මුලපිරුවේ සිලෝන් ඩේලි නිව්ස් පත්‍රයට ඉංග්‍රීසි කෙටිකතා ලිවීමෙන්. මගේ සැමියා මට ලිවීමට ධෛර්ය දුන්නා පමණක් නොවෙයි ලියන කඩදාසි, පෑන් ආදියත් ගෙනවිත් දුන්නා. මම ලියූ නවකතා මුලින්ම රසවින්දේ මගේ දයාබර සැමියා එඩී. එතකොට අපි පදිංචිවෙලා හිටියේ කොළඹ බුලර්ස් පාරේ නිවෙසක. 1973 වසරේ සැමියා මියගියාට පස්සේ මම රාජගිරියේ පදිංචියට ආවා. 

තම දැකුම්කළු නිවෙසේ එළිමහනේ වේවැල් පුටුවක වාඩි වී ඇය එදා අප හා සංවාදයේ යෙදුණාය. ගෙදර වැඩපළටවත් කිසිම මෙහෙකාරියක් නැතිව තනිව ගෙයක ජීවත් වූ ඇය දරුවන් හතර දෙනකුගේ මවකි. ඩිලනි දුව බොස්ටන්වලද, අස්ථිකා දුව හවායිවලද, චාන්දනි දුව වොෂින්ටන්වලද එදා පදිංචිව සිටි අතර පුතා විපුල් යුද්ධ හමුදා මේජර්වරයෙක් ලෙස සේවය කළේය. දරුවන්ගෙන් වෙන් වී පොතපත කියවමින් සැහැල්ලු දිවියක් ගත කළ ඇය කීවේ පොතපත කියවන කෙනෙක් කවදාවත් තනි වෙන්නේ නැහැ කියාය. 

මගේ දූ පුතුන් ගැන මට ආඩම්බරයි. මේ ළඟදි මම පිටරට ගිහින් දූලගේ පුතාලා, මිනිපිරී, මුණුපුරන් බලල ආවා. මම දූ පුතුන් හැදුවා. මම ඒ අයට බාධාවක් නොවන විදිහට ජීවත් වෙනවා. ළමයින්ගේ ජීවිත එක්ක නැවත එක්විය යුතු නෑ. දැන් ඔවුන්ට පිටත්වෙන්න අපි ඉඩ දෙන්න ඕනෑ. ලෙටීෂියා මහත්මිය අපට කීවාය.

පිටරට ගිහින් ඇවිත් මම මෙහෙදී අසනීප වුණා. අහළ පහළ ගෙවල්වල අය මාව හොඳට බලාගන්නවා. තනියටත් ඉන්නවා.

1915 ඔක්තෝබර් 09 වැනිදා කළුබෝවිල උපත ලැබූ ලෙටීෂියා පෙරේරා (පසුව බොතේජු) මුලින්ම ඉගෙනගෙන ඇත්තේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙනි. ඇගේ මව ඉංග්‍රීසි ගුරුවරියකි. ඇය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ සමීප මිතුරියක් ද වූවාය.

ඒ කාලේ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය මිශ්‍ර පාසලක්. අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒත් අපේ පරපුර ගමේ පන්සල හා තිබූ සමීප සම්බන්ධතාවය නිසා අපි සිංහල වැනි විෂයයන් ගැන උනන්දු වුණා. ඉංග්‍රීසි ලන්ඩන් මැට්රිකියුලේෂන් විභාගයෙන් සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරියක් හැටියට වසර 10ක් සේවය කළා. ඊට පස්සේ විදුහල්පති පී. ද ඇස්. කුලරත්න මහතාගේ කීම පරිදි මම ඉන්දියාවට ගියා මාරියා මොන්ටිසෝරි මහත්මිය යටතේ ළදරු අධ්‍යාපනය ගැන ඉගෙන ගන්න. මොන්ටිසෝරි මහත්මිය යටතේ ඉගෙන ගත් ප්‍රථම ගුරුවරිය මමයි. ඉන්දියාවේ ඉඳලා ආවට පස්සෙ යුද්ධය නිසා මගේ ඉගැන්වීම් නතර වුණා. බොතේජු මහත්මිය කීවාය.

ලෙටීෂියා බොතේජු මහත්මිය කියන්නේ තමා ලියන නවකතාවලින් සමාජයට ආදර්ශයක් ලබා දීමට උත්සාහ කරන බවය. තමා ලියූ අනූෂ හා රන් කුමරු කෙටි නවකතාව ළමයකු හා ඇතකු අතර ඇති අසීමිත ආදරයක් ගැන ලියා තිබුණි. මේ කතා ලිවීමේ ඇගේ ඒකායන ප්‍රාර්ථනාව වී තිබුණේ නිදැල්ලේ වනයෙහි ජීවත් වන අසරණ සිව්පාවුනට පොත කියවන්නන්ගෙන් කිසිදු හිංසාවක් නොවේවා යන්නය. මෑතදී මේ නවකතාව ඇසුරෙන් සුනිල් ආරියරත්නයන් අලි කතාව නම් චිත්‍රපටය නිර්මාණය කළේය.
ලෙටීෂියා බොතේජු විසින් ලියන ලද මුල්ම නවකතාව පාර දිගේය. නවකතාකාරියක් පොත් නොලියූ යුගයක ප්‍රථම සිංහල නවකතාකාරිය තමා යැයි ඇය පැවසුවාය. විවේකීව දරුවන් සිව්දෙනා බලා සිටි ගෘහණියක් හා මාතාවක් වූ ඇයට නියම මඟ පෙන්වමින් නවකතාවක් ලිවීමට උනන්දු කර ඇත්තේ ඇම්.ඩී. ගුණසේන යන සමාගමේ අධිපති ගුණසේන මහතා විසිනි. මේ ලේඛිකාව බිහිකිරීමේ ගෞරවය ගුණසේන මහතාට හිමිවෙන බව ඇය කෘතඥතා පූර්වකව සිහිපත් කරන්නීය. පාර දිගේ නවකතාව කොතෙක් ජනප්‍රිය වූවාදැයි කිවහොත් එය ඉක්මනින් අලෙවි වී නව මුද්‍රණ කිහිපයක් නිකුත් කර වාර්තාවක් පිහිටුවා ඇත.

ලෙටීෂියා මහත්මිය මගේ වැඩිහිටි මිතුරියක් විය. දිනක් ලේක්හවුසියේ මා සමඟ එකට සේවය කොට පසුව මහා පරිමාණයේ ව්‍යාපාරිකයකු වූ විජය රාමනායක තමාගේ ජීවිත කතාවට සමීප පාර දිගේ නවකතාව සිනමාවට නැගීමට සිතුවේය. මගේ රෙකමදාරුව අනුව ලේඛිකාවගෙන් මුදල් ගෙවා අයිතිය ලබාගත් විජය එය ඇසුරෙන් තිස්ස අබේසේකර ලවා චිත්‍රපට තිර නාටකය ලියවාගෙන සුමිත්‍රා පීරිස් ලවා අධ්‍යක්ෂණය කරවා ගැනීමට මගේ රෙකමදාරුව මත කිරීමට සැලසුම් කළේ පාර දිගේ නම වෙනුවට ගඟට උඩින් කොක්කු ගියා යන නමිනි. ඒ චිත්‍රපටය කෙරුණේ නැත.

ඇයගේ ජනප්‍රිය නවකතාවක් වූ ගඟ අද්දර නවකතාවට වස්තුබීජය ලැබුණේ කෙසේදැයි මා ඇසුවේ ඒ නවකතාව ඇසුරෙන් බිහි වූ චිත්‍රපටය සියලු ආදායම් බිඳහෙළමින් තිරගත වූ සමයකය. ගඟ අද්දර ලියූ හැටි ගැන අය මෙසේ කතා කළාය.
මගේ ගඟ අද්දර නවකතාවේ ප්‍රධාන චරිත දෙක නිර්මලා සහ රංජිත්. ඒත් චිත්‍රපටයේ රංජිත්ගේ චරිතය මතු වී නැහැ. මං හිතන්නේ නවකතා මාධ්‍යයෙත් චිත්‍රපට මාධ්‍යයෙත් වෙනස ඒකයි. මම පුංචි කාලේ බුදුන් වඳින්න කැලණි විහාරෙට යනවා. ඒ කාලේ යාන වාහන නෑ. අපි ගියේ කැලණි ගඟේ පාරුවකින්. මට කැලණි ගඟ දකින විට බියක් කිසියම් ගුප්ත බවක් ඇතිවෙනවා. මේ ගඟ අද්දර බියකරු දේවල් විය හැකි නේදැයි මා තුළ වධ දුන් දෙයක්. දෙමාපියන්ගේ බලපෑම නිසා විවාහයන් සිදුවන යුගයක් ඒ. ධනවත් දෙමාපියන් සිය දියණියන් වතුකරයේ ලොකු නිලතල දරණ කුලවත් තරුණයන්ට සරණ පාවාදීමට හිතුවා. මේ නිසා ඔවුන් මුහුණපෑ අවාසනාවන්ත සිද්ධි මා අසා තිබුණා. ගඟ අද්දර නවකතා ලියුවේ මේ අත්දැකීම් ඇසුරු කරගෙන. නිර්මලා සහ රංජිත් මෙලොව එළිය දුටුවේ ගඟ අද්දරයි. ඔවුන් ළමා කාලය ගත කළේ ගඟ අද්දරයි. ඔවුන්ගේ ජීවිතයේ සෑම සිද්ධියකටම ගඟ අද්දර සාක්ෂි දරයි. 

තමාගේ සල්ලිකාර මහප්පා කෙනකුට සිටි දුවකගේ අල්ලපු ගෙදර හිටිය තරුණයකු සමඟ තිබූ සම්බන්ධයක් ද මේ නවකතාවට බලපෑ බව ඇය කීවාය.

ලෙටීෂියා බොතේජු විසින් ලියූ අඳුරු වළා තුළින් නවකතාවෙන් කියවෙන්නේ පස් හැවිරිදි විය ගෙවත්ම සිය නිත්‍ය වාසය සඳහා කොටහේන හෙට්ටියාවත්තේ පැල්පත් සමූහයකින් සැදුම්ලත් පුංචි පැල්පතක ජීවිතය පටන් ගත් කුමුදුනී මුහුණපෑ අසීමිත දුක් වේදනාවන්ය.

අක්කර 2ක පමණ භූමි භාගයක පිහිටි පැල්පත්වල ජීවත් වූ කුමුදුනී තම චිත්ත ධෛර්යයත් ජීවත් වීමත් අතර ගැටුමක යෙදෙනවා. මේ නවකතාව ලිවීමට මම අත්දැකීම් ලැබුවේ මගේ ගෙදර වැඩ කළ එක් කාන්තාවකගෙන් ඇසූ තොරතුරුත්, ඇය හමුවීමට මා වරක් හෙට්ටියවත්තට ගිය ගමනත් පසුබිම් කරගෙන. ඇය කීවාය

අසූව දශකයේ මෝටර් රථයක් පදවමින් රාජගිරිය පාරෙන් එන ලෙටීෂියා මහත්මිය අසූ පස් හැවිරිදි විය පසු කරමින් 2000 වසරේ හැරමිටියක් අරගෙන ගේ පුරා ඇවිද්ද හැටි මට මතකය. ඇය අබල දුබලව චන්ද්‍රා නම් සහායිකාවිය සමඟ තමා ලියූ නවකතා අතගාමින් සිටිනු දුටු මා තුළ ශෝකයක් ඇතිවිය.

කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ ලෙටීෂියා බොතේජු 2007 වසරේ ජීවිතයෙන් සමුගත්තාය.