2021 ජනවාරි 30 වන සෙනසුරාදා

දේසේ හැටියට කොවිඩ් අලුත් වෙයි!

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

ලෙඩේට වසරයි: ලෙඩ්ඩු හැට දාහයි: අලුත් වෛරස් 2යි!

පසුගිය සතියේ බදාදා මේ රටේ වසංගත රෝග ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ දවසකි‍‍. ඒ දිනට මෙරටින් පළමු කොවිඩ් -19 ආසාදිතයා හමු වී වසරක් සම්පූර්ණ විය. 2020 ජනවාරි 27 මේ රටේ පළමු ආසාදිතයා ලෙස වාර්තා වූයේ ලියු යැං නමැති සංචාරක චීන ජාතික කාන්තාවකි. ඒ සිද්ධියට හරියටම වසරක් සැපිරුණ ඉකුත් බදාදා දිනයේ මෙරට ආසාදිතයන් ගණන 60,000+ ආසන්න (59,922+) විය. මරණ සංඛ්‍යාව 300+ ට ආසන්න (290 +) වෙමින් තිබුණි. ඒ වනවිට ලංකාවට මුල්ම කොවිඩ් එන්නත් තොගය ලැබෙන්නටද මූලික කටයුතු සම්පාදනය වී තිබුණී‍. මේ අව්අස්සේ නරක ආරංචියද ආවේය. ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් අලුත්ම කොවිඩ්-19 වෛරස මාදිලි 2ක් වාර්තා වූ බවටය.
අලුත්වූ කොවිඩ් වෛරස මාදිලි 2ක් ගැන මේ තොරතුර රටට වාර්තා කරන්නට සිදුව තිබුණේ ඒ සම්බන්ධයෙන් පර් යේෂණ කළ විද්‍යාඥයන්ටමය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ  මේ සම්බන්දව 

පර් ෙය්ෂණ මෙහෙයවූ වෛද්‍ය ආචාර්ය ජේ.එම්.කේ. චන්දිම ජීවන්දර ඒ ගැන අනතුරු ඇඟවීම සිදුක‌ළේය. අප රට තුළ විපරීත බවට පත්ව වර්ධනය වූ නව වෛරස මාදිලියක් සහ විදේශයකින් පැමිණි වඩාත් වේගයෙන් පැතිර යාමට සමත් තවත් මාදිලියක් ලෙස වෛරස මාදිලි 02ක් මේ රටින් සොයාගැනීමට සිය කණ්ඩායම සමත් වූ බවටය. ඒ සමගම ඔහු “දේශය” සමඟ කළ කතාබහේදී අනතුරු අඟවා සිටියේ දැනට මේ වෛරස මාදිලි රට තුළ තදින්ම ව්‍යාප්ත වී ඇති බව සනාථ කරන විද්‍යාත්මක දත්ත තමන් සතුව නොමැති නමුත් නොපමාව මෙය පැතිරීම  පාලනයට  පියවර නොගතහොත් රට තුළ වසංගතය භයානක  මට්ටමකට ළඟාවීමේ  ඉඩකඩ වැඩි බවටය.

නව වෛරස මාදිලි 02 සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ  පර් යේෂණ කණ්ඩායමේ ප්‍රධානී  වෛද්‍ය ආචාර්ය ජේ.එම්.කේ. චන්දිම ජීවන්දර තමන්ගේ AICBU laboratory, පරීක්ෂාව සඳහා වව්නියා නිරෝධායන ම්‍යස්ථානයෙන් ලද සාම්පල  තුළින් නව  SARS-CoV2 වෛරස මාදිලි 02ක හමුවූ බව කීවේය.

මින් වඩාත් ප්‍රශ්නකාරී මාදිලිය දැනට ඩෙන්මාර්කය, ස්වීට්සර්ලන්තය, අයිස්ලන්තය, එංගලන්තය, චෙක් ජනරජය, ජමනිය සහ ප්‍රංශය වැනි යුරෝපයේ රටවල් කිහිපයකින්ද  වාර්තා වී ඇති වඩාත් කඩිනමින් පැතිරයාමේ හැකියාවක් සහිත නව මාදිලියකි. එය මෙයට පෙර එංගලන්තයෙන් වාර්තා වූ B.1.1.7, වෛරස  ප්‍රභේදයට හෝ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් B.1.351, වෛරස ප්‍රභේදයට වඩා වැඩි වෙනස්කම් සහිත නමුත් එම මාදිලි මෙන්ම කඩිනමින් ව්‍යාප්තවීමට අවශ්‍ය විපරීතවූ ජානය සහිත අලුත්ම මාදිලියකි. එය හඳුන්වා දී ඇත්තේ B.1.258 ලෙසටය.

මේ අතර දීර්ඝකාලීනව ලංකාව තුළ පැතිර ගිය මූලික SARS-CoV2 වෛරසය   ක්‍රමාණුකූලව විපරීතකරණයට ලක්වීමෙන් ඇති වූ සියුම් වෙනස්කම් සහිත නව වෛරස මාදිලියක්ද මේ සාම්පල තුළින් වෙන්කර ගන්නට ඔවුහු සමත්ව තිබේ. දේශීය මාදිලියක් යැයි අපේ පහසුව සඳහා පැවසිය හැකි මෙය B.1.411 ලෙස නම්කර ඇති බව වෛද්‍ය ආචාර්ය ජේ.එම්.කේ.  චන්දිම ජීවන්දර “දේශය”ට කීවේය. මේ වෙරස මාදිලි 02 රට තුළ කොතරම් දුරකට ව්‍යාප්තව ඇතිදැයි කියන්නට තරම් විද්‍යාත්මක දත්ත තවමත් තමන් සතු නොවන බව ඔහු කීවේය.

කිසියම් රටක ප්‍රදේශයක ජීවත්වන පිරිසගේ සිරුර තුළට  ඇතුළුවන වෛරසය කාලාන්තරයක් පැතිරීමට ලක්වනවිට සියුම් වෙනස්කම් ඇතිව තමන්ටම අනන්‍ය ලක්ෂණ ගොඩනඟා ගන්නා බවත් එවිට අධ්‍යයන පහසුව සඳහා එකම පරම්පරානුගත මූලයක් යටතේ පැතිර යන ඒ වෛරස වෙනම නම් කරන බවත් ඔහු පෙන්වා දෙයි. මේ නම් කිරීමේදී වෛරසයේ පෙළපත් අනුපිළිවෙල (Sequence), එසේ නව ආරම්භය සිදුවු තැන (Origin), එයට අනන්‍යව සහ අද්විතීය ලෙස අලුතෙන් අතපත් කරගෙන ඇති විපරීතකරණ ලක්ෂණ (Unique mutations) යන කාරණා පරීක්ෂාකර බලන බව ඔහු කීය. ලංකාව තුළ වෙනම පෙළපත් අනුපිළිවෙළක් සහිතව B.1.411 ලෙස වෙනම මාදිලියක් නම් කර ඇත්තේද ඒ ලෙසිනි.
නමුත් මේ මාදිලිය චීනයේ වූහාන් පළාතෙන්  පැතිරීම ඇරඹුණ “වල් දර්ශය” (Wild type) ලෙස හැඳින්වෙන මූලික SARS-CoV2 වෛරස මාදිලියට සහ එයින් තනන කොවිඩ්19 රෝගයේ මූලික ලක්ෂණ වලින් කැපී පෙනෙන දැඩි වෙනස්කම් සහිත වූවක් නොවන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර කියයි. ලංකාවේ මිනිසුන්ගේ ශරීරගත ස්වභාවික ප්‍රතිශක්තිකරණ හැකියාවට දැඩි බලපෑම් කිරිමට මේ අලුත් මාදිලිය තුළ දැඩි විකෘතිවීමක් හෝ නව වර්ධනක් හෝ සිදුව නැති බව ඔහු කියයි. ඒ නිසා දැනට නිපදවා ඇති නව එන්නත් මගින් බොහෝදුරට මේ වෛරස මාදිලියද පාලනයට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

නමුත් විය යුතු සේම මේ ආරංචිය හේතුවෙන් රටේ නරක ආන්දෝලනයක් ඇතිවිය. මුල්ම අනතුරු ඇඟවීම ආවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙනි. එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ, නව වෛරස ප්‍ර‍භේදය PCR පරීක්ෂණ මගින් පවා හඳුනාගත නොහැකි එකක් බවයි. මෙම තත්ත්වය මත නව ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණය මෙරට සෞඛ්‍ය අංශ සතුව පවතින්නේද යන්න සලකා බැලිය යුතු බවද ඔහු කීය.
එසේම නව වෛරස ප්‍රභේදය හඳුනාගෙන තිබෙන්නේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකුගෙන් වන අතර ඔහුගෙන් තවත් පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වී තිබෙන්නේද යන්න පිළිබඳව තවමත් තහවුරු කරගෙන නොමැති බවත් මේ ප්‍රභේදය   ඉතා ඉක්මනින් පැතිර යන එකක්යැයි වාර්තා වී තිබීම නිසා ඉක්මන් නිසි පියවර නොගතහොත් ඉදිරියේදී ඉතා භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීය. අලුත් මාදිලිය &මහත් විනාශයක්* ඇතිකරවිය හැකි බවත් සෞඛ්‍ය සේවා පද්ධතිය පාලනයකින් තොර තත්වයකට පත් කරවිය හැකි බවටත් ඔහු අනතුරු ඇඟවූයේය.

ලංකාවටද එන්නත් ලැබෙන බවට ලැබුණ ඉහළ  ප්‍රචාරයත් සමග මේ අවදානම ගැන අවධානය සුපුරුදු පරිදි ගිලීහි යන ලකුණු දැන් පහළ වී හමාරය. වසංගත මර්දන සෞඛ්‍ය නීති - රීතිද නොතකා මීටරය - සෙන්ටිමීටරයට දමා පැණි පෝලිමේ පොරකෑවාක් සේ, දැන් අපේ උදවිය එන්නත් ගැන සියලු විශ්වාසය තබා නැවතත් සිය ආරක්ෂාව අමතක කර හමාරය. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු තතුදත් විද්වතුන් සහ ආයතන අවධාරණය කරන්නේ වසංගත රෝග මර්දනය සඳහා වූ මූලික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නොකඩවා අනුගමනය සර්වකාලීන රෝග නිවාරණ ක්‍රමවේදය කියාය.

 සුගත් පී. කුලතුංගආරච්චි