2021 ජනවාරි 30 වන සෙනසුරාදා

ඩිල්ෂාන් යළිත් ක්‍රිකට් පිටියේ!

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

තිලකරත්න මුදියන්සෙලාගේ දිල්ෂාන් නැතිනම් ටී. එම්. ටිල්ෂාන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.. ඩිල්ස්කූප් පහරේ හිමිකරු වන ඩිල්ෂාන් ආක්‍රමණශීලී දකුණත් පිතිරුවෙකු හා දක්ෂ ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙකි.  1999 නොවැම්බරයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ටේස්ට් වරම් දිනාගත් ඩිල්ෂාන් අවසන් ටෙස්ට් තරගයට මුහුණ දුන්නේ 2013 බංග්ලාදේශයට එරෙහිවය. ටෙස්ට් තරග 87කට, එක්දින තරග 330කට සහ 20 විස්ස තරග 80කට සහභාගී වී ඇති ඔහු ටෙස්ට් ලකුණු 5492ක්, එක් දින ලකුණු 10,290ක් සහ 20 විස්ස ලකුණු 1889ක් රැස්කර තිබේ. ටෙස්ට් කඩුලු 39ක්ද, එක් දින කඩුලු 106ක්ද 20 විස්ස කඩුලු 9ක් ද ඔහුගේ ගිණුමට බැරවී තිබේ. වසර 17ක් මෙරට වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ජාත්‍යන්තර තරගවලට දායක වූ, ශතක 39කට හිමිකම් කියන තිලකරත්න ඩිල්ෂාන් 2016 ඕස්ට්‍රේලියාවට එරෙහි සීමිත ඕවර තරගාවලියකින් පසුව විශ්‍රාම ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් තම පවුල සමඟ දැන් ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරාසන්නයේ පිහිටි බීකන්ස්ෆීල්ඩ්හිය. තම ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන ලෙසට මෙරට ක්‍රීඩා සමාජ කිහිපයකින් ලද ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කළ ඩිල්ෂාන් අවසානයේ දකුණු මෙල්බර්න්හි කේසි ක්‍රීඩා සමාජයේ ඉල්ලීම පිළිගනිමින් එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා සති කිහිපයකට පෙර ගිවිසුම් අත්සන් කළේය. 

කෙටිකාලයක් නිහඬව සිට ඔහු යළි පිටියට පිවිසියේ කේසි ක්‍රීඩා සමාජය හා ඩැන්ඩෙනොංග් කණ්ඩායම සමග පසුගියදා පැවැති ක්‍රිකට් තරගයෙනි. 44 හැවිරිදි ඩිල්ෂාන් එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් සහභාගී වූ පළමු තරගයේදී පන්දු 42කින් ලකුණු 53ක් රුස් කිරීමට සමත් වූ අතර කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නකු වූ සුරාජ් රන්දිව් ක්‍රීඩා කළ ප්‍රතිවාදි ඩැන්ඩෙනොංග් කණ්ඩායම කඩුලු අටකින් පරාජය කිරීමට කේසි ක්‍රීඩා සමාජය සමත් විය.

කේසි කණ්ඩායමේ නායක මයිකල් වොලස් &ක්‍රිකට්  ඩොට් කොම් ඔස්ට්‍රේලියා  වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ ඩිල්ෂාන් වේගවත් පිතිහරඹයක නිරත වූ බවය. ඔහු පුහුණුවීම්වලදී තමන් මඳක් යල් පැන ගොස් ඇති බව අපට කීවා. තරගයේ මුල් පන්දු කිහිපයේදී මඳක් පසුබෑවද පසුව ඔහු වේගවත් ඉනිමක් ක්‍රීඩා කළා. තමන් මඳක් යල් පැන ඇතැයි කී මිනිසා පන්දු 40කින් ලකුණු පනහක් අප වෙනුවෙන් රුස් කළා. එය අපට සුබ ලකුණක්& යැයි ප්‍රකාශ කළේය. නායක වොලස්ට අනුව ඩිල්ෂාන්ට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණෙන්නට අවශ්‍ය වූයේ පන්දු වාර තුනක් පමණි. 

ක්‍රිකට්  ඩොට් කොම් ඔස්ට්‍රේලියා වේබ් අඩවිය සඳහන් කරන පරිදි කුමා සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ප්‍රබල ක්‍රීඩකයන්ගේ සෙවනැල්ලෙන් මඳක් වැසී ගියද තිලකරත්න ඩිල්ෂාන් 17,000කට අධික ජාත්‍යන්තර ලකුණු ප්‍රමාණයක් රුස් කරගත් සුපිරි  ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම සුපිරි දස්කම් පෑ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනාගෙන් ඩිල්ෂාන් අයෙකි. (අනෙක් ක්‍රීඩකයා මහේල ජයවර්ධනය).

ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන නවක වික්ටෝරියානු ප්‍රාන්ත දරුවන්ට තම අත්දැකීම් ලබා දීමට කටයුතු කරන්නේ යැයි ඩිල්ෂාන් ප්‍රකාශ කර තිබේ. ඩිල්ෂාන් වඩාත් ජනප්‍රිය වූයේ ඔහුටම ආවේණික ඩිල්ස්කූප් පහර නිසාය. මම දරුවන් පුහුණු කරන විට ඔවුන්ට වැඩියෙන්ම අවශ්‍ය ඩිල්ස්කූප් පහර ගහන්න  ඉගෙන ගන්න* යැයි ඔහු කියයි.

ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට තිබූ දක්ෂතාවෙන් 70ත් 75ත් අතර දක්ෂතාවක් මේ වන විට පෙන්නුම් කරන බවත්, කේසි ක්‍රීඩා සමාජයේ පිතිකරුවන්ට සහ පන්දු යවන්නන්ට අගනා මඟ පෙන්වීමක් ලබා දෙන බවත්  කේසි කණ්ඩායමේ නායක මයිකල් වොලස් පවසා තිබේ.

ඩිල්ස්කූප් පහර එල්ල කළ පළමු ක්‍රීඩකයා ඩිල්ෂාන් නොවිය හැකි වුවද එම පහර අඛණ්ඩව එල්ල කරමින් සාර්ථකත්වයට පත් පළමු ක්‍රීඩකයා ඩිල්ෂාන් යැයිද, 2009 දී එංගලන්තයේදී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී එම පහර එල්ල කරමින් ඔහු ප්‍රේක්ෂකයන්ගේ  සිත් වසඟ කළ බවද, ඔහු නිසා ජනප්‍රියත්වයට පත් ඩිල්ස්කූප් පහර වර්තමානයේ බොහෝ ක්‍රීඩකයන් අතර ජනප්‍රිය පහරක් බවට පත්ව ඇතැයිද ක්‍රිකට්  ඩොට් කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය සඳහන් කරයි.
ඔහුගේ ඉදිරිපස පාදය පන්දුව දෙසට ගමන් කරන ආකාරය දැකුම්කළුය. කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට මෙන් සූදානම්ව අවසන් මොහොතේ තම පසුපස පාදය නවා, හිස පහත් කරමින් පන්දුව තම හිසට ඉහළින් තල්ලු කරයි. 2013 දී සිඩ්නි හි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පැයට කිලෝමීටර් 144 ක වේගයෙන් මිචෙල් ස්ටාර්ක් විසින් එවන ලද පන්දුවට ඩිල්ෂාන් එල්ලකළ ඩිල්ස්කූප් පහර බොහෝ ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ගේ මතකයෙන් බැහැරව නොමැත යනුවෙන් එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ. 

“මම 2009 දී ඩිල්ස්කූප් පහර එල්ල කළ විට, නායකයන්ට පන්දු යවන්නන් සඳහා පිටිය සකස් කිරීම ඉතා අසීරු වුණා යැයි දිල්ෂාන් කියයි. ඔබට ඔබේ මුළු සිරුරම චලනය කළ හැකිනම් එවිට පන්දු යවන්නාට පෙර සූදානම් විය හැකිය. ඇතැම් පිතිකරුවන් පා ඉන්නට මඳක් ඈතින් සිට ක්‍රීඩා කරන විට පන්දු යවන්නන්ට පිට ඉන්නට මඳක් ඈතින් පන්දු යැවීමට හැකියාව ලැබෙනවා. මම භාවිතා කරන්නේ එක් පියවරක් පමණක් වුවද විකල්ප දෙකටම සරිලන ලෙස මගේ පදනම සැකසිය හැකියි. මා පහර දුන් වේගවත්ම පන්දු යවන්නා මිචෙල් ස්ටාක්. යැයි ඩිල්ෂාන් පවසයි.

ඔහු පවසන පරිදි සිය පවුල සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණියේ මඳක් නිස්කලංක ජීවිතයක් අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකාවේදී දේශපාලනයට එක්වීමට රුචිකත්වයක් පැවතියද තම දරුවන්ගේ අනාගතය උදෙසා ඔහු වෙනත් රටක වාසයට පැමිණ තිබේ. ඔහුගේ වැඩිමහල් දියණිය වන 13 හැවිරිදි ලිමන්සා, 18 පහළ දකුණත් දඟපන්දු යවන්නියක හා වමත් පිතිකාරිනියක ලෙස ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන්නීය.
“මම ඇත්තටම කැමතියි මෙරට පවතින වාතාවරණයට සහ නිදහසට. ආසියාවේදී එළිමහනට ගිය විට රසිකයෝ අප වටා රොක්වෙනවා. එය ඇතැම්විට අපහසු තත්ත්වයක්. මේ රටේ වඩා නිදහස් ජීවිතයක් මට තියෙනවා. විශේෂයෙන් මගේ දරුවන්ට. මෙහි බොහෝ පහසුකම් තිබෙනවා. විශේෂයෙන් පාසල්. 

යම් දිනෙක ඔබේ දියණිය ලිමන්සා හෝ වෙනත් දරුවකු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළොත් ඔබට එය දැනෙන්නේ කොහොමද? යනුවෙන් ක්‍රිකට්  ඩොට් කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවියේ මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කළ විට ඔහුගේ ප්‍රතිචාරය මෙලෙස විය.

එය මඳක් අසීරු ප්‍රශ්නයක්. මන්ද මට කිසිවක් බලෙන් කරන්න බැහැ. දරුවන් කැමති දේ ඉටු කළ යුතුයි. මට දරුවන් ගැන බොහෝ බලාපොරොත්තු තිබෙනවා. ලිමන්සා වයස අවුරුදු 18 න් පහළ ක්‍රීඩා කිහිපයකටම සහභාගි වෙනවා. ඇයට තවම වයස අවුරුදු 13 යි. ඇය ඇත්තටම දක්ෂයි. ඇය මට නිතරම කියනවා, ‘තාත්තේ, අපි පුහුණුවීම්වලට යමු’ කියලා. ඇය වෙහෙස මහන්සි වී පුහුණුවීම් කරනවා. ඇය තවදුරටත් පුහුණු වුවහොත් වසර කිහිපයකින් හොඳ ප්‍රතිළුල ලබා ගත හැකියි. මේ රටේ දරුවන්ට සෙමෙන් වැඩෙන්නට නිදහස තිබෙනවා.

ක්‍රිකට් ඩොට් කොම් ඔස්ට්‍රේලියා වෙබ් අඩවිය ඇසුරිනි


 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03