2021 ජනවාරි 30 වන සෙනසුරාදා

තමිල්නාඩු ඡන්දය ලංකාවට සිදුකරන බලපෑම්

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

තමිල්නාඩු ප‍්‍රාන්තයේ මැතිවරණය ලබන මැයි මාසයට නියමිතය. ඡන්ද දිනන්නට ජනතා හදවත් උණුසුම් කළ යුතුය. තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ ලංකාවේ සිතියම අතට ගන්නේ ඡන්ද කාලයටය. දෙමළ ජනතාවගේ ඕනෑ එපාකම් ගැන කඳුළු හෙළන්නට දේශපාලනඥයෝ සූදානම් වෙති. ඉන්දීය ධීවරයන්ගේ ප‍්‍රශ්න කතා කරන අතර ඉන්දු ලංකා දේශසීමාවේ මසුන් අල්ලන අයිතිය ගැන කතා කෙරේ. කච්චතිව් දූපත නැවත අත්පත් කර ගැනීම ද තමිල්නාඩු දේශපාලනයේ එක කොටසකි. මෙරට ප‍්‍රසිද්ධ වෙබ් පුවත්පතක් වන කවුන්ටර්පොයින්ට් පසුගියදා උණුසුම් පුවතක් වාර්තා කළේය. ඉන්දීය පුවත්පත් වාර්තා එයට පදනම් කරගෙන තිබිණ. එයට අනුව ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර සම්බන්ධතා තිබුණු ගොඩබිම් මාර්ගය ගැන පර්යේෂණයක් කරන්නට ඉන්දීය රජය අනුමැතිය දී ඇත.  

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගොඩබිම් මාර්ගයක් තිබුණු බව ඉතිහාසයේ දක්වන කතාන්දරයකි. රාමායනය ලියන වාල්මිකී රාවණ රජු විසින් පැහැරගත් සීතා දේවිය සොයා එන්නේ වානර හමුදාව තැනූ පාලම ඔස්සේය. එම පාලමේ පාදම තවම පවතින බව ප‍්‍රවාදවල කියැවෙයි. අහසින් ගමන් කරන විට දෙරට අතර නොගැඹුරු මුහුදු සම්බන්ධයක් ඇති බව නිරීක්ෂණය කළ හැකිය. මේවා සොයා බැලීම ඉන්දීය රජයේ අභිලාශය වී ඇත. එක පැත්තකින් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය අවස්ථා ගැන ඇස ගසා ගෙන සිටින ඉන්දියාව අනෙක් පැත්තෙන් චීනය මුවා කරගෙන පැරණි නටබුන් ඔස්සේ නිර්මාණය කරන්නට තැත් කරන අනාගතය විමර්ශනාත්මකව සලකා බැලිය යුතුය. 

තමිල්නාඩු දේශපාලනය ශ‍්‍රී ලංකාවේ අවධානයට 

ඉන්දු ලංකා සම්බන්ධතා ගැන සාකච්ඡා කරන විට තමිල්නාඩුව ප‍්‍රධාන සාධකයකි. එහි දෙමළ ජනතාව සහ ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව අතර සම්බන්ධතා ගැන ප‍්‍රකාශ වෙයි. ලාංකික දෙමළ ජනකොටස්වල අයිතිවාසිකම් වේදිකාවේ දී හුවා දක්වන එහි පක්ෂ නායකයෝ ඒවායෙන් සිය ඡන්ද පදනම ශක්තිමත් කර ගනිති. මැයි 21 වැනි දිනට නියමිත කමිල්නාඩු ඡන්දය ඉන්දීය මහ ආණ්ඩුවේ ජනපි‍්‍රයතාව මනින එක සන්ධිස්ථානයක් වනු ඇත. එහි ආසන ගණන 234කි. මිලියන 62.9ක් ඡන්දය පාවිච්චි කරන්නට සුදුසුකම් සිටිති. ජයලලිතා හා කරුණානිධි යන සම්ප‍්‍රදායික සටන අවසන්ය. අලුත් මුහුණු අවතීර්ණ වී තිබේ. කොංග‍්‍රස් නායක රාහුල් ගාන්ධි පසුගිය සතියේ මැතිවරණ සටන නිල වශයෙන් අරඹන ලද අතර බදු බර වැඩිකර, තෙල් මිල නංවා ඇති අසාර්ථක නරේන්ද්‍ර මෝදිට වාසිය අත්කර දිය යුතු ඇයි ද යන තියුණු ප‍්‍රශ්නය ඔහු ජනතාව හමුවේ තැබීය. කෙසේ නමුත් ඉන්දීය අගමැතිවරයා සහාය දෙන ජාතික ඩිමොක‍්‍රටික් සන්ධානය වාසිසහගත තැනක බව පෙනේ. ජනමත සමීක්ෂණ කිහිපයක් පවත්වා ඇති අතර ඒවායේ ප‍්‍රතිඵල අනුව ජනතාව අගමැතිවරයාට සහාය පළ කරති. දේශපාලනයේ පතාකයන් එනම් ජයලලිතා හා කරුණානිධි රහිතව පවත්වන පළමු මැතිවරණය මෙයයි. පසුගිය ඡන්දයේ දී කොංග‍්‍රස් පක්ෂය වැඩි ආසන ගණනක් දිනාගත් නමුත් පිහිටුවාගත් සන්ධානය මහ ආණ්ඩුවට වාසිදායක අවසානයක් කරා ගියේය. 2021 මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි වැඩි වාසි අපේක්ෂාවෙන් සුප‍්‍රකට නළු රජිනකාන්ත් ඉදිරිපත් කරන්නට සූදානම් වූ නමුත් ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය එයට අවහිර කළේය.

අති විශාල ජනකායක්, දැවැන්ත ඡන්ද පොරොන්දු ප‍්‍රමාණයක් හා දේශපාලන පක්ෂවල තියුණු සටනක් 2021 තමිල්නාඩු මැතිවරණය සූදානම් කරනු නිසැකය. අන්තවාදී අදහස් පතුරවන අතර ජාතිවාදය ද යහමින් භාවිත කෙරේ. තමිල්නාඩුව ඉන්දියාවේ දකුණින් පහළ කෙළවරේ පිහිටි අතර එක සීමාවක් බෙංගාල බොක්කට මායිම් වෙයි. ඉන්දියාවේ ප‍්‍රාන්ත අතරින් භූමි ප‍්‍රමාණය අතින් දහවැනි ස්ථානයේ සිටින අතර ජනගහණය අතින් ප‍්‍රාන්ත ලැයිස්තුවේ හයවැනි තැන අත්පත් කරගෙන සිටී. කෙසේ වෙතත් විශාල ආර්ථික ශක්තියෙන් දෙවැනි වන්නේ දිල්ලියට පමණකි. චෙන්නයි නගරය තොරතුරු තාක්ෂණයට ප‍්‍රසිද්ධ අතර එහි පුරවැසියන් විශාල ප‍්‍රමාණයක් අමෙරිකාවට සංක‍්‍රමණය වෙන්නේ තාක්ෂණික වෘත්තිකයන් වශයෙන් බව සඳහන්ය. මෙවැනි පසුබිමක් තුළ දෙරට අතර ගොඩබිම් මාර්ගය ගැන මතුවෙන සාකච්ඡා වෙනත් කෝණයකින් සලකා බැලීම වැදගත්ය.

ගැඹුරු මුහුදේ පරීක්ෂණයකින් යටගියාව සෙවීම

ඉදිරිපත් වී ඇති වාර්තා අනුව ඉන්දු ලංකා මුහුදු තීරයේ කිලෝමීටර් 48ක් දිග ඉපැරණි සම්බන්ධය ගැන ගැඹුරු මුහුදේ පරීක්ෂණවලට ඉන්දීය රජය අවසරය දී තිබේ. පුරාවිද්‍යා මධ්‍යම උපදේශන කාර්යාංශය එය අනුමත කර ඇති බව ද දක්වයි. එයට අනුව විද්‍යාත්මක හා කර්මාන්ත පර්යේෂණ කවුන්සලය සහ ජාතික සමුදුර පර්යේෂණ ආයතනය මෙහි දී එක්ව කටයුතු කරන්නට ඉඩ ඇත. රාම සේතු සම්බන්ධතා, පැරණි පාලම හා එහි පාදම ගැන පුරාවිද්‍යා දත්ත සොයා බලනු ඇති බව දැනට කියැවෙයි. 2005 දී පමණ මෙම මාර්ගය ඔස්සේ නැව් ගමනාගමනය ගැන අවධානය යොමු කෙරිණ. සේතු සමුද්‍ර ඇළ මාර්ගය ඉදිකිරීම අදහසක් වශයෙන් ඉදිරිපත්ව තිබුණි. පළමුවෙන් තමිල්නාඩු මහ ආණ්ඩුව විරැද්ධත්වය පළ කළේය. අරාබි මුහුදේ යාත‍්‍රා කරන නැව්වලට ඉන්දියාවේ දකුණ එනම් තමිල්නාඩුව හා ශ‍්‍රී ලංකාව අතරින් යාත‍්‍රා කළ හැකි පරිදි මුහුද ගැඹුරු කිරීම යෝජනා වී තිබුණි. එහෙත් පරිසර අංශ පවා එම යෝජනාවට කැමැත්ත පළ කළේ නැත. දෙරට අතර මුහුදේ පවතින වැලිපර ඉවත් කිරීමෙන් වෙරළ තීරයට හානි වනු ඇති බව බලවත් සාධකයක් විය. කෙසේ නමුත් රාමායනය ගැන පවතින විශ්වාස තහවුරු කරන සහ ආර්ථික වටිනාකමක් ඇති කරන පියවරක් වශයෙන් ගැඹුරු මුහුද ගැන සෙවීම උපකාරී විය හැකිය.

ඉන්දු ග‍්‍රී ලංකා ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීම සෑහෙන කාලයක් තිස්සේ බලවත් කතාබහට ලක් වූ යෝජනාවකි. 2002-2004 කාලයේ දී ඉන්දියාවේ හා ලංකාවේ වාණිජ මණ්ඩල අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර ගොඩබිම් මාර්ගයක් තැනීම අදහසක් වශයෙන් සාකච්ඡා විය. අතීතයේ දී කොළඹ කොටුවෙන් දුම්රියකට නගින වැසියන්ට තලෙයිමන්නාරමෙන් බෝට්ටුවක නැග රාමේෂ්වරමින් බැස ඉන්දියාවට ඇතුළු විය හැකි වූ අතර එම සම්බන්ධතා බිඳවැටෙන හේතුව හොර බඩු ජාවාරම හා ත‍්‍රස්තවාදය බව සඳහන් කළ යුතුය. දෙරට අතර මුර සංචාර දැඩි වන අතර නීතිවිරෝධී අවි ආයුධ රට ගෙන එන වෑයම හේතුවෙන් මුහුදු සම්බන්ධතා බිඳ වැටුණි. යුද්ධය අවසන් වී සාමකාමී පරිසරය තහවුරු වූ පසු දෙරට අතර මගී නැව් සේවාවක් ආරම්භ කළේය. එය සංචාරක කර්මාන්තයට හිතකර පරිදි පවත්වාගෙන යෑම වෑයම විය. සුඛෝපභෝගී නැවක් ගමන්වාර ආරම්භ කළේය. එහෙත් නැව් සේවාවේ ගාස්තු හා ගුවනින් ගමන් කරන්නට ඇති පහසුව එම පියවර ඉදිරියට ගෙන ගියේ නැත. අසාර්ථකව නතර කෙරිණ.

රටවල් යා කෙරෙන අලුත් ආර්ථිකයක් 

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පාලමක් තැනුවහොත් එය විශාල ආර්ථික පිම්මකි. එහෙත් ඒ ගැන ලොකුවට කල්පනා කරන්නට මෙරට පමණක් නොව ඉන්දියානු ජනසමාජය ද සූදානම් නැත. තමිල්නාඩු මැතිවරණය ඉදිරියේ රාමායනයේ එන පාදම් සලකුණු ගවේශනය කරන නමුත් ඡන්ද ප‍්‍රතිඵලය නිකුත් වීමෙන් පසු එම සැලසුම් අකුලා දමනු නිසැකය. එහෙත් ලෝකයේ ආර්ථික රටා අලුතින් හදන්නේ රටවල් අතර සහයෝගීතාවයෙනි. වාර්තා වන අන්දමට නිදහස් වෙළෙඳ ගිවිසුම් සියයකට වඩා එකිනෙක රටවල් අතර අත්සන් කෙරී තිබේ. ආයෝජකයෝ රටවල් අතර ගමන් කරමින් නොයෙක් ව්‍යාපාර සබඳතා තරකර ගනිමින් සිටිති. යුරෝපා හවුල හැදෙන්නේ එක ගනුදෙනු ක‍්‍රමයක් එක වලංගු නීති පද්ධතියක් සමඟය. පසුගිය කාලයේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය. චීනය සිය මුහුදු සේද මාවත සකස් කරන්නේ දැවැන්ත වෙළෙඳ තරගයක එක කොටසක් වශයෙනි. එය වෙළෙඳාමේ සියයට දහයක පමණ කොටසක් ඩැහැ ගැනීමට කරන අරගලයක් බවට පත්ව ඇත. චීනය මෙම බෙල්ට් ඇන්ඩ් රෝඩ් නොඑසේනම් සේද මාවත වෙනුවෙන් ආයෝජනය කරන ධනය අමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන දෙක ඉක්මවයි. මෑත කාලය තුළ කරන ලද දැවැන්ත ව්‍යාපෘතියකි. ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප‍්‍රදේශයේ සෝලා විදුලි උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන අතර එය අක්කර තිස් දහසක් ආවරණය කර තිබේ. එය ලෝකයේ විශාලතම සූර්ය විදුලි උත්පාදන ව්‍යාපෘතිය වන අතර අමෙරිකානු ඩොලර් බිලියන 16ක වියදමක් ඇස්තමේන්තු කර ඇත. පුදුමය එය නොවේ. මෙම විදුලිය මිල දී ගැනීමට ඉන්දුනීසියාව හා සිංගප්පූරුව සූදානම්ය. ඔස්ට්‍රේලියාව හා සිංගප්පූරුව අතර ගුවන් ගමනකට ගතවන කාලය පැය අටකි. 

රටවල් යා කෙරෙන මෙවැනි ආර්ථික වැඩදායක යෝජනා තුළ ඉන්දු ශ‍්‍රී ලංකා එකතු කරන පාලමක් තැනීම අපහසු දෙයක් නොවේ. කිලෝමීටර් හතළිස් අටක් යා කරන ව්‍යාපෘතිය අලුත් ධනය බිහිකරන සංකල්පයක් වනු ඇත. නමුත් එයින් ඇති කරන ප‍්‍රතිඵලය ගැන එකඟතාවයකට පාර්ශ්ව දෙකම එඩිතර නැත. වාර්තා දක්වන අන්දමට දෙරට අතර පාලමක් හෝ මුහුද යටින් ඉදිවන නළ මාර්ගයක් ඔස්සේ යා කිරීම ගැන ඉන්දීය මහා මාර්ග අමාත්‍ය නිට්න් ගට්කාරී 2016 වසරේ දී අදහසක් ප‍්‍රකාශ කළේය. ඔහු දක්වන පරිදි ඉන්දියාව, බංගලාදේශය, භූතානය හා නේපාලය මාර්ග යා කරන ගිවිසුමක් තිබේ. එයට ශ‍්‍රී ලංකාව ද එකතු වනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව එවැනි අදහසකට ආයෝජනය කරන්නට සූදානම්ය. අනාගතයේ දී ඇති විය හැකි ව්‍යුහ වෙනස්ය. තාක්ෂණය නවතම දොරටු විවෘත කරනු නිසැකය. රටවල් වෙන් කරන සීමා තුළ රටවල් යා කරන සබඳතා ඇතිවෙන්නට ඉඩ තිබේ. ඉතිහාසයේ නොතිබුණු අලුත් අවස්ථා මෙවැනි සිද්ධිවලින් ඇති කරන අතර ඒවායෙන් නිර්මාණය වන ආර්ථිකය අලුත් රැකීරක්ෂා, ජීවනෝපාය සහ රටවල්වල බදු ආදායම තර කරනු ඇත. අවසානයේ දී ජනතාවගේ ජීවිත අලුත් යොමුවකය. කෙසේ වෙතත් මේවායෙන් ඇති කරන දේශපාලන ගැටුම්, සංස්කෘතික වෙනස්කම් සහ පරිවර්තනයකට මුහුණ දීමේ දී මතුවන පීඩනය තවත් සංකීර්ණ පරිසරයක් නිර්මාණය කරනු නිසැකය.  

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03