කොළඹ හා තදාසන්න ප්‍රදේශ මෙන්ම ප්‍රධාන නගර ආශ්රිත රථවාහන තදබදය බරපතළ ගැටලුවකි. ඊට විසඳුම් සොයනුයේ අදක ඊයෙක නොව කාලයක පටන්ය. බලයට පත්වූ ආණ්ඩුවල ප්‍රවාහන අමාත්‍යවරුන් ප්රමුඛ බලධාරීන් බොහෝවිට ප්‍රශ්නයට ඉක්මන් විසඳුම් දුන්නේ රජයේ ජනප්‍රිය තීරණයක් ලෙස ප්රසිද්ධියටය. ඇතැම් පැලැස්තර විසඳුම්වලට වැයකළ ධනයට සාපේක්ෂව ප්‍රතිඵලයක් ලැබී ඇත්නම් තවදුරටත් රථවාහන තදබදය පැවතීමට හේතුවක් නැත.
රථවාහන තදබදයට විසඳුම් වශයෙන් මාර්ග පුළුල් කිරීම, විකල්ප මාර්ග ඉදිකිරීම, අධිවේගී මාර්ග නිර්මාණය, නව පාලම් සැකසීම, මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම, බස් ධාවන මංතීරු හඳුන්වාදීම සිදුකෙරිණි. පවතින තදබදයට මේවා ස්ථීර විසඳුම් නොවන බව පැහැදිලිය. විකල්ප මාර්ගයක් හෝ පාලමක් අලුතින් හඳුන්වා දුන්නද මුල් දින කිහිපයේ පමණක් තදබදය අඩුවක් පෙනෙන්නට තිබේ. එහෙත් රථවාහන රියැදුරන් එකී මාර්ග භාවිතයට හුරුවීමත් සමඟ ඉක්මනින් තදබදය නිර්මාණය වන බව දකින්නට ලැබේ.
කොළඹ නගරයේ පවතින වාහන තදබදයට විසඳුමක් වශයෙන් කාලයක පටන් යෝජනා වෙමින් පැවති අදහසකි. එනම් ප්‍රධාන මාර්ග හරහා නගරයට පිවිසෙන පෞද්ගලික රථවාහන අවම කිරීම උදෙසා කොළඹින් පිටත රථගාල් හඳුන්වාදීමත් එතැන් සිට සුඛෝපභෝගී පොදු ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීමත්ය. මේ සඳහා කාලයක සිට නුවර පාර, ගාලු පාර, හයිලෙවල් පාර කේන්ද්‍ර කොටගෙන අදාළ කාර්ය ඇරඹීමට පිඹුරුපත් සැකසෙමින් පැවැතිණ.
කෙසේ හෝ දැන් නියමු වැඩසටහනක් වශයෙන් පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. පසුගිය 15 වැනිදා ආරම්භ කෙරුණු එහි ප්‍රධාන අරමුණ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීමයි. කාලයක පටන් රථවාහන පොලීසිය හා රථවාහන පිළිබඳ බලධාරීන්ගේ යෝජනාව දක්වා තිබුණේ කොළඹ නගරයට පෞද්ගලික වශයෙන් පැමිණෙන රථවාහන ප්‍රමාණය සීමා කළයුතු බවය. එමගින් මාර්ගයේ ඉඩකඩ ලැබෙන බවත් පොදු ප්‍රවාහන බස්රථ හෝ වෙනත් එවැනි ප්‍රවාහන සේවා කඩිනමින් පවත්වාගෙන යාමට පහසුවක් වනු ඇති බවය.
මේ අගනා අදහස ක්‍රියාවට නංවමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහභාගීත්වයෙන් ඉකුත්දා ආරම්භ කෙරිණ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. හයිලෙවල් මාර්ගයට මුල්තැන දෙමින් දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්න කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් මෙම &පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්* සේවාව ආරම්භ කෙරිණ.
මෙම වැඩසටහන යටතේ කොළඹ නගරයට සිය පෞද්ගලික රථවාහනවලින් පැමිණෙන ජනතාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් හඳුන්වා දෙනු ලබන රථගාල්වල රථය නවත්වා අධි සුඛෝපභෝගී බස් රථයකින් අවශ්‍ය ගමනාන්තය දක්වා යා හැකිය. පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් නියමු ව්‍යාපෘතිය යටතේ කොට්ටාව සිට හයිලෙවල් මාර්ගය හරහා නුගේගොඩ, නාවල පාර, නාරාහේන්පිට, ජාවත්ත, ටොරින්ටන්, පුරහල, යුනියන් පෙදෙස, ලෝටස් වටරවුම හරහා ගාලු මුවදොර දක්වා ධවානය කෙරේ. ගාලුමුවදොරින් පිටත්වන බස් රථය කොල්ලුපිටිය තුම්මුල්ල හන්දිය හරහා හයිලෙවල් මාර්ගය ඔස්සේ කොට්ටාවට පිවිසීමට නියමිතය.
මීට අමතරව කොට්ටාව සිට හයිලෙවල් මාර්ගය හරහා පිටකොටුව, ටෙක්නිකල් හන්දිය, රාජගිරිය, පැලවත්ත ඔස්සේ පන්නිපිටියට පැමිණ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පිවිසීමට නියමිතය. සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයක් වන ප්‍රවේශපත්‍ර සහිත නව බස් සේවාව තුළ ආසන ගණනට පමණක් මගීන් රුගෙන යයි. මෙම සිටි බස් රථ ජී.පී.එස්. තාක්ෂණය සහිතය. නව සේවාව ආරම්භයත් සමග සිටි බස් සේවාවට අදාළ ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දෙමින් අන්තර්ජාලයට එක්කොට තිබේ. එය ජංගම දුරකථනය බාගත කිරීමෙන් පසුව GSP තාක්ෂණය මගින් බස් රථය යන එන ස්ථානය හා බසය තුළ සිටින මගීන් ගණන ආදිය හඳුනාගත හැකිය.
දැනට හයිලෙවල් මාර්ගයේ සහ බත්තරමුල්ල තලංගම ඩිපෝව අසල පමණක් ක්‍රියාත්මක පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ඉදිරියේදීසෙසු ප්‍රධාන මාර්ග ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව කොට්ටාව, මාකුඹුර, බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් රථ අංගනය, නුගේගොඩ හා 138 බස් මාර්ගයේ තවත් ස්ථානයක් වශයෙන් තෝරාගෙන රථගාල් නිර්මාණය කිරීමට සූදානම්ය.
එම ස්ථානවල සිට වායුසමනය කළ නවීන බස් රථ මිනිත්තු 10න් 10ට පිටත්වීමට සූදානම් කෙරේ. මෙම සේවාව ආරම්භ කිරීමෙන් අනතුරුව ඉදිරි අදියවරවලදී 120 - පිළියන්දල බස් මාර්ගය. මීගමුව පාර හා නුවර පාර ඇතුළු කොළඹට පිවිසෙන ප්‍රධාන මාර්ග ආශ්‍රිතව &පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස්* සේවාව ක්‍රියාත්මක කිරීම සැලසුමය.
කොරෝනා වසංගතය හමුවේ ආරම්භ කෙරුණු නියමු ව්‍යාපෘතිය මුල් අදියරේදී රථගාල සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. එම පරිශ්‍රවල ආරක්ෂව තහවුරු කිරීමට ප්‍රවාහන බලධාරින් පියවර ගෙන තිබෙන නිසා ඒ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ හැකිය. දෛනිකව එම වාහන හා පරිශ්‍ර විෂබීජහරණය කිරීම, පිරිස්හි උණ බැලීම වැනිදෑ නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ ක්‍රියාත්මකය. එබැවින් බියෙන් සැකයෙන් තොරව නවමු පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාවේ සුවපහසුව අත්විඳිය හැකිය.
සමන්ත ප්‍රදීප් විල්තෙර