ලංකාවේ අපටත් දැන් කොවිඩ් -19ට එරෙහි ප්‍රතිශක්තීකරණ එන්නත් ලැබීමේ වාසනාව උදාවී තිබේ. ලංකාවේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රථම වතාවට කොවිඩ් එන්නතක් හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමට පසුගියදා ක්‍රියා කළේය. ඒ අනුව ඉන්දියාවේ නිපදවෙන ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වන “කොවිෂීල්ඩ්” මෙරටට මුලින්ම අපට ලැබුණේය. ලංකාවේ ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීමකට කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගරු කිරීමක ප්‍රතිඵලයක් ලෙස මේ මුල්ම එන්නත් තොගය අපට පරිත්‍යාග ලෙස ලැබුණේය. පසුගිය බ්‍රහස්පතින්දා ලද මේ මුල් තොගයට එන්නත් ලක්ෂ 05ක් අයත්ය. මේ ලියන මොහොත වනවිට රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ අරඹා හමාරය.
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස සපයන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගය රුගත් ඉන්දීය ගුවන් සේවයේ A I - 281 දරන ගුවන් යානය එන්නත් රැගෙන 28දා බ්‍රහස්පතින්දා පෙරවරැ 11.35ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. එන්නත් තොගය නිල වශයෙන් භාරගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒවා නිල වශයෙන් භාරදෙනු ලැබිණි.
ඉන්දීය ගුවන් සේවයේ A I - 281 දරන ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩාකර, ඇසුරුම් පෙට්ටි 42 ක බහා රුගෙන ආ එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 1323 කි. සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක මෙම එන්නත් ගබඩා කර තැබේ. එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුළ ගබඩාකර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇත. ඒ අනුව දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන 4,000කට පමණ එන්නත් ලබාදෙන්නට නියමිතය.
අපට දැන් මේ ලැබුණේ ඉන්දියානු කොවිෂීල්ඩ් එන්නතයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිර්මාණයක් වන මේ වැක්සීනය මහා පරිමාණව නිපදවන්නේ ඉන්දියාවේ සීරම් සමාගමයි. මේ එන්නත සියයට 90ක සඵලතාවක් පෙන්වා ඇත. මෙය වියළි එන්නතකි. එය සාමාන්‍ය ශීතකරණයක ගබඩාකළ හැකිය. සති 4ක විරාමයක් සහිතව මාත්‍රා2කින් මෙය ලබාගත යුතුය.
අවසන් සායනික මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වා තිබූ එම එන්නත සිය රටතුළ ලබාදීම එංගලන්තය ආරම්භ කළේ ඒ රට තුළ නව වෛරස ප්‍රභේදයක් පැතිර යමින් රෝගීන් බුරැතු පිටින් වාර්තාවන්නට වීමත් සමඟිනි. එංගලන්ත එන්නත් වැඩපිළිවෙළ එසේ ඇරඹුණේ එහි පළමු එන්නත 82 හැවිරිදි බ‍්‍රයන් පින්කර් හට ඉකුත් 05දා ඔක්ස්ෆර්ඩ් චර්චිල් රෝහලේදී ලබාදීමත් සමගිනි.
ඔක්ස්ෆර්ඩ් සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඉන්දියානු දේශිය මුහුණුවර වන කොවිෂීල්ඩ් චිම්පන්සියන් තුළ සෙම්ප්‍රතිශ්‍යාවට හේතූවන වෛරසයක් අඩපණ කර කොවිඩ් වෛරස ප්‍රෝටීන තැනීමට අවශ්‍ය විධාන ඇතුළත් කර ඒ මගින් මිනිස් සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය අවුස්සා කලින්ම ආරක්ෂාව සලසා ගැනීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීමට සලස්සන්නකි. එය මාත්‍රා-වඩි දෙකක් ලෙස ලබාදෙන අතරම එසේ සම්පූර්ණ මාත්‍රාව ලබාගත් පිරිස අතරින් සියයට 62-70ක සාර්ථකත්වයක් මේ වනවිට වාර්තා කර තිබෙන්නකි. එහි ඇති විශේෂත්වය වන්නේ සෙල්සියස් 2ත් 8ත් අතර ඌෂ්ණත්වයක ගබඩාකර ප්‍රවාහනයට ඇති හැකියාවයි. මේ වනවිට මාසයකට මිලියන 50ක ප්‍රමාණයක් නිපදවමින් ඇත. ඉන්දියාවට මේ මුල් නිෂ්පාදිත කෝටාවෙන් මිලියන 100ක් සහන මිලකට ලබාදීමටද ගිවිස තිබේ. ඒ එක් මාත්‍රාවක් ලංකා මුදලින් රුපියල් 516.13 ක පමණ මුදලකටය. ඉන්පසු පොද්ගලික වෙළඳපළට මිල රුපියල් 2576.86ක පමණ මුදලකට බෙදාහරින්නට නියමිතය.
ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු එම එන්නත්, එය ලැබුණු දා රාත්‍රියේදීම ගීතකරණ සහිත රථවල බහා වසංගත රෝග විද්‍යා අංශයේ මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් කටයුතු ආරම්භ කරනු ලැබිණි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්ට අනුව බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක මේ එන්නත්කරණ කටයුතු මුලින්ම ආරම්භ කර තිබේ. ජාතික රෝහලත්, කොළඹ, උතුර සහ දකුණ ශික්ෂණ රෝහල් දෙකත්, හෝමාගම, මුල්ලේරියාව සහ අයිඩීඑච් යන රෝහල් තුනත් ඇතුළුව රෝහල් 6ක් මේ සඳහා යොදාගෙන ඇත. මුලින්ම එන්නත ලැබෙන්නේ මේ රෝහල්වල කාර්ය මණ්ඩලයටය. ඒ රෝහල්වල මුළු කාර්ය මණ්ඩලයෙන් සියයට 25ක් පමණ දළ වශයෙන් එක දිනකට ආවරණය වනසේ එන්නත් කරමින් දවස් තුනක් හෝ 4ක් වැනි කාලයක් තුළ මෙය සපුරාලීමට බලාපොරොත්තුව තිබේ. එන්නත ලබාගන්නා සෑම පුද්ගලයෙක් පිළිබඳවම සමීප පසුවිපරමක්ද සිදුකෙරෙන්නේ හදිසියේ ඇතිවිය හැකි අසාත්මිකතා හෝ සංකූලතා හෝ සඳහා නොපමාව වෛද්‍ය සහාය ලබාදීම සඳහාය.
එම එන්නත ලබාදීම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කලින් හඳුනාගත් ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුවය. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙළ ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ වූ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ. එන්නතේ පළමු මාත්‍රා පුද්ගලයකුට ලබා දී සති 4කට පසු දෙවැනි මාත්‍රාව එම තැනැත්තාට ලබාදෙනු ඇත. දෙවැනි වටයේ එන්නත්කරණය ලක්ෂ 38ක් පමණ වන වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ පුද්ගලයන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇත. එහිදී දියවැඩියා, අධි රුධිර පීඩනය, හෘද රෝග වැනි නිදන්ගත රෝග අවදානම සහිත පිරිසට ප්‍රමුඛතාව ලැබෙනු ඇත. ඉන්පසු වයස් කාණ්ඩ අනුව ඉතිරි පිරිස තෝරාගනු ලැබේ.
ඒ අනුව මේ වනවිට කොවිඩ් සටනේ යෙදී දැඩිම අවදානමකට මුහුණදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහිත අංගොඩ ජාතික වසංගත රෝග විද්‍යා ආයතනයේදී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරන්නට කටයුතු යොදා තිබුණි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ මුල් කණ්ඩායමේ ආරම්භකයකු විය. ජාතික රෝහලේ සම්පූර්ණ කාර්ය මණ්ඩලයම එන්නත්කරණයට සහභාගිව සිටියහ. ඉදිරිපෙළ කොරෝනා මර්දන කටයුතුවල නිරත හමුදා නිලධාරීන් 3 දෙනෙකුට පළමුව එන්නත ලබාදෙමින් හමුදා රෝහල එන්නත්කරණය ඇරඹීමට පියවර ගෙන තිබුණි.
සෙනසුරාදා සිට යුද හමුදාව මගිනුත් ආරක්ෂක සේවයේ නියුතු පිරිස් සඳහා එන්නත් ලබාදීම සිදුකිරීමට පියවර ගෙන තිබේ. එසේම සෙනසුරාදා සිට සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශීය එන්නත් ගබඩා වෙත ඔවුන්ගේ කෝටාව ලබාදීමට කටයුතු යොදා තිබුණි. ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පළමුවත්, කොවිඩ් මර්දන කටයුතු සඳහා සම්බන්ධ වන ඉදිරිපෙළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට දෙවනුවත්, වයස අවුරැදු 60ට වැඩි පුරවැසියන්ට තුන්වෙනුවත් වශයෙන් එන්නත් ලබාදීමට යෝජිතය. කුඩා දරුවන් සහ ගැබිණි මවුවරුන් මේ එන්නත් වැඩපිළිවෙල යටතේ අවසානය වන්නේ නැත.
මේ වනවිට රජයේ එන්නත්කරණ මධ්‍යස්ථානවලදී පමණක් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එන්නත ලබා ගැනීමේ තීරණය පුද්ගලයන්ගේ ස්වාධීන අයිතියක් හැටියට නිදහස ලබාදී තිබේ. මේ නිසා එන්නත ලබාගන්නා පුද්ගලයන් ඒ සඳහා තම ලිඛිත කැමැත්ත පළකළ යුතුව ඇත.
එන්නත්කරණ කටයුතු සාර්ථක වීම සඳහා අවම වශයෙන් රටේ ජනගහනයෙන් සියයට 65කට එන්නත ලබාදිය යුතුය. ඒ අනුව අවම වශයෙන් ලක්ෂ130ක් එන්නත් කළ යුතුව තිබේ. ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාද රජය මේ වනවිට කටයුතු යොදා හමාරය. ඒ අනුව මේ වනවිට ලෝකයේ සුදුසුකම් සපුරා ඇති අනෙකුත් එන්නත්ද ලංකාවට ගෙන ඒම සඳහා අවශ්‍ය සොයාබැලීම් සිදුකෙරෙමින් පවතියි. චීන රජයද එරට නිෂ්පාදිත Sinopharm එන්නත් ලක්ෂ 03ක තොගයක් ලබන මාසය වනවිට ප්‍රදානය කිරීමට නියමිතය. රුසියානු ස්පුට්නික් එන්නත් තොගයක්ද ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිතය. එසේම තවත් කොවිෂීල්ඩ් මාත්‍රා මිලියන තුනක් ඉන්දියාවේ එම එන්නත නිෂ්පාදනය කරන සීරම් ආයතනයෙන් මිලදී ගන්නා බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලලිත් වීරතුංග කියා ඇත. ෆයිසර් බයොන්ටෙක් එන්නත ලක්ෂ 30ක්ද ඇනවුම් කර හමාරය. එක්සත් ජාතින්ගේ COVAX පහසුකම යටතේ ලංකාවේ ජනගහනයෙන් සියයට 20කට සරිලන ප්‍රමාණයක එන්නත් කෝටාවක්ද ලැබීමට නියමිතය. මේ සියල්ල ඒ අයුරින්ම සිදුවුවහොත් කොවිඩ් පාලනය කරගත් රටක් හැටියට අප ලබා ඇති කීර්තිනාමය රැක ගන්නට හැකිවනු නියතය. ඉදිරියේදී පෞද්ගලික ආයතන තම සේවකයන් සඳහා එන්නත් ලබාදීමට සිදුකරන ඉල්ලීම් මත එන්නත් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරදීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබේ.
සුගත් පී. කුලතුංගආරච්චි