2021 ජනවාරි 30 වන සෙනසුරාදා

300ක් එකවර නිරෝධානයට යැවූ මඟුල් උත්සවය

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

හෝමාගම ප්‍රදේශයේ පැවැති විවාහ මංගල්‍ය දෙකක කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වීමත් සමඟ පවුල් සියයකට අධික සංඛ්‍යාවකින් පුද්ගලයන් 326 දෙනකු නිරෝධායනයට යැවීමට සිදුව තිබේ.

පසුගිය වසරේ මාර්තු මස පළමු කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකික රෝගියා මෙරටින් වාර්තා වීමත් සමඟ බොහෝ පිරිසක් එක්රුස් වන උත්සව, ප්‍රිය සම්භාෂණ, ප්‍රසංග ආදී සියල්ල තාවකාලිකව නතර කර දැමිණි. මේ තත්ත්වය යටතේ විවාහ උත්සවයක් ගැනීමේදී පවුල් දෙකේ ළඟම ඥාතීන් කිහිප දෙනකු පමණක් එක්ව එම කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙනු ලැබීය. මේ අනුව ප්‍රිය සම්භාෂණ උත්සව, හෝටල්වල පවත්වන්නට සූදානම් කර තිබූ සියලුම විවාහ උත්සව නිවෙස්වල ඉතා චාම් අයුරින් පසුගිය මාස කිහිපය තුළ සිදු කෙරුණි.

නමුත් මාස ගණනාවක් මෙලෙස නිවෙස්වල පමණක් පැවැත්වූ විවාහ උත්සව සෞඛ්‍ය නීතිවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හෝටල්වල සහ ප්‍රිය සම්භාෂණ ශාලාවල පැවැත්වීමට ඉඩ දෙනු ලැබීය. බොහෝ විට එය එකසිය පනහකට සීමා වූ අමුත්තන් සහභාගි වන උත්සවයක් ලෙස පවත්වාගෙන යාමට උපදෙස් ලැබිණි. එය ද උත්සවය පවත්වනු ලබන ශාලාව හා හෝටලයේ ප්‍රමාණය අනුව වෙනස් විය. නමුත් සහභාගි විය හැකි උපරිම අමුත්තන් ගණන එකසිය පනහකි.

නමුත් පසුගියදා හෝමාගම ප්‍රදේශයේ එක් විවාහ උත්සවයක් පැවැත්වුණේ එම සෞඛ්‍යාරක්ෂිත නීතිවලට පටහැණිව උත්සව තුනක් ආකාරයටය. එකී විවාහ මංගල්‍යයෙන් පසු අවසානයේදී සිදු වූයේ මනාල යුවළ ඇතුළුව විවාහ උත්සවයට සහභාගි වූ බොහෝ පිරිසක් නිරෝධායනයට යොමු වීමටය. එහිදී උත්සවයට සහභාගි වූ පිරිසෙන් කිහිප දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයෙන් පොසිටිව් අය වූහ.

විවාහ උත්සවයකදී අපි අවසරය ලබා දෙන්නේ සීමිත පිරිසකගේ එකතුවකින් කරනු ලබන උත්සව දෙකකට පමණයි. ඒ මනාලියගේ පැත්තෙන් විවාහ උත්සවය දවසේදීත් මනාලයාගේ පැත්තෙන් ගනු ලබන දෙවැනි මංගල උත්සවය සඳහාත් පමණයි. මෙහිදී මොවුන් කඩුවෙලින් පළමු උත්සවය සඳහාත් පාදුක්ක ප්‍රදේශයෙන් දෙවැනි දවසේ උත්සවයටත් අවසරය අරගෙන තිබුණා. ඊට අමතරව තවත් දිනයක හෝමාගමින් අවසරය අරගෙන තිබුණා. ඒ අය සඳහන් කරලා තිබුණේ එය දෙවැනි දා උත්සවය (Home coming) වෙනුවෙන් බවයි. මේ අනුව ඔවුන් උත්සව තුනක් පවත්වා තියෙනවා. බොහෝවිට පළමු සහ දෙවැනි දිනවල ආරාධනා නොකරපු අයට ඔවුන් තුන්වැනි උත්සවය සඳහා ආරාධනා කරන්න ඇති.* යැයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා දේශයට පැවසීය.

ආරාධිත අමුත්තන් හා එක්ව ප්‍රිය සම්භාෂණ උත්සව තුනක් ගනු ලැබූ එම මනාල යුවළ තම මධුසමය සඳහා නුවරඑළිය හෝටලයක් බලා ගොස් තිබිණි. පසුව මනාලියට මඳ උණ ගතිය, කැස්ස, උගුරේ වේදනාව හේතුවෙන් ඇයට පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබිණි. ඒ සමඟ මනාලයාට ද පී.සී.ආර්. පරීක්ෂණය සිදු කර තිබිණි. එම පරීක්ෂණ දෙකෙහි ප්‍රතිඵලය වූයේ මොවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයන් වීමය.

&විවාහ උත්සව තුන අවසානයේදී මේ විවාහ යුවළ නුවරඑළියේ හෝටලයකට ගිහින් තිබුණා. එහිදී මේ දෙන්නා අසනීප වෙලා තිබුණා. රෝග ලක්ෂණ පෙන්නුම් කරලා තිබුණු නිසා මේ දෙන්නට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලදී දෙන්නාම කොවිඩ් ආසාදිතයන් බව තීරණය කරලා තිබුණා. එයින් පසුව තමයි මේ අයගේ විවාහ උත්සවයට සහභාගි වුණු අය පිළිබඳව සොයා බැලුවේ. මේ වන විට එක් විවාහ උත්සවයකට ආරාධිතයන් එකසිය පනහකට අවසරය ලැබෙනවා. ඒ අනුව හෝටල් දෙකක ආරාධිතයන් තුන්සීයක් පමණ මේ විවාහ උත්සව සඳහා සහභාගි වෙලා තිබුණා. ගෙදර තිබුණු විවාහ උත්සවයට අපි අවසරය ලබා දෙන්නේ විසි පහකට පමණයි. ඒ අනුව ඒ අය ගෙදර විසි හයකට ආරාධනා කරලා තිබුණා. ඒ අනුව ඒ උත්සව තුනේම අයව ස්වයං නිරෝධායනය කරන්න අපිට සිදු වුණා. * හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.

මීට අමතරව හෝමාගම ප්‍රදේශයේ හෝටලයක පැවැති තවත් විවාහ උත්සවයකට සහභාගි වුණු පිරිසක් ද ආසාදිතයන් වීමත් සමඟ එම ආරාධිතයන් පිරිස ද නිරෝධායනය කිරීමට සිදු විය.

&හෝමාගම ප්‍රදේශයේ තිබෙන හෝටලයක තමයි ඒ විවාහ උත්සවය තිබුණේ. නමුත් ඒ දෙගොල්ලන්ම හෝමාගම ප්‍රදේශයේ වැසියන් නෙමේ. මනාලිය මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකාරියක්. එය කළුතර දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක්. මනාල මහත්මයා ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීරිගම ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. මේ නිසා මෙම උත්සවයට හෝමාගම ප්‍රදේශයේ වැසියන් සහභාගි වෙලා තිබුණේ නැහැ.* යැයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

විවාහ උත්සව අවසන් වී දින කිහිපයකට පසුව මෙම විවාහ උත්සවයට සහභාගි වූ මීරිගම ප්‍රදේශයේ පුද්ගලයකු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයකු බව වාර්තා විය. ඔහු සමඟ මෙම විවාහ උත්සවයට පැමිණි පුද්ගලයන් විසි පහකගෙන් කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණයෙන් දොළොස් දෙනකු ආසාදිතයන් ලෙස වාර්තා වී තිබිණි. කෙසේ වුවත් උත්සවය පැවැති හෝමාගම හෝටලයේ සේවකයන් කණ්ඩායමට කරනු ලැබූ පී.සී.ආර්. පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ කිසිදු සේවකයකු ආසාදිත නොවන බවය.

හෝමාගම නගරයේ පිහිටි හෝටල් දෙකක සිදු වූ මෙම සිද්ධි දෙකෙන් හෝමාගම ප්‍රදේශයට විශාල බලපෑමක් ඇති නොවුණද, හෝමාගම නගරයේ පිහිටි කර්මාන්තශාලා කිහිපයක කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමක් පෙන්නුම් කර තිබිණි.

 දිශානි ජයමාලි කරුණාරත්න