2021 ජනවාරි 30 වන සෙනසුරාදා

මහ දවල් ධීවරයකු මැරූ පල්ලියමුල්ලේ වෙඩික්කාරයෝ

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

මොරටුව දෙස සිට පරණ පාරේ පානදුර දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකි. ඊට මඳ දුරක් පසුපසට වන්නට වේගයෙන් පැදවූ යතුරුපැදියකි. පැදිකරු සහ පසුපැදිකරු ද හිස්වැසුම් හා කබා පැළඳ සිටියහ. පැමිණි වේගයෙන්ම ත්‍රිරෝද රථයට ඉස්සර කොට මග හරස් කර නැවැත්වූ යතුරුපැදිය හමුවේ ත්‍රිරෝද රථයට ඉඩක් නොවීය. සැණෙකින් බිමට බැසගත් පසුපැදිකරු ගිනිඅවියක් අමෝරාගෙන ත්‍රිරෝද රථය අසලට පැමිණ එහි සිටි අයකු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

සැණෙකින් ගිනිඅවිය අක්‍රිය වූයෙන් තවත් උණ්ඩයක් පිටවීම නැවතිණි. වෙඩික්කරු යතුරුපැදිකරු දෙස බලා “නමය දියං - නමය දියං” යැයි හඬනගා අඩියට දෙකට යතුරුපැදියට ළං විය. සැණෙකින් තවත් ගිනිඅවියක් පැදිකරුගෙන් අතට ගත් වෙඩික්කරු ත්‍රිරෝද රථයේ උන් අයට තවත් වෙඩි පහර තුනක් එකපිට එල්ල කළේය. ඒත් සමඟම වෙඩික්කරු යතුරුපැදියට නැගුණු සැණින් පවනට බඳු වේගයෙන් පලා ගියේ දුටුවන් භීතියට පත් කරමිනි.

පසුගිය 25 වැනි සඳුදා උදේ 10ට පමණ පානදුර පල්ලියමුල්ල හන්දියේදී සිදු කළ වෙඩිතැබීම අසල තිබූ ගොඩනැගිල්ලක සවි කළ සී.සී.ටී.වී. කැමරාවක එලෙස සටහන්ව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසියට යම් හෝඩුවාවක් හෝ ලබාගැනීමට තිබූ එකම සාක්ෂිය මෙම දර්ශන පෙළ පමණය.

වෙඩික්කරුවන් පලා යන මොහොත වන විටත් තුවාලකරු ත්‍රිරෝද රථ අසුනේම ගලා යන රතු ලේ ගොඩක් මැද මැරී වැටී සිටියේය. මොරටුව දෙස සිට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ තවත් පුද්ගලයන් දෙදෙනකු සිට තිබුණි. වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමඟ ඔවුන් රථයෙන් පැන දුවගිය බවට දුටුවන් පවසා තිබුණි. සී.සී.ටී.වී. සාක්ෂියට අමතරව එකී කතාව ද ෙහා්ඩුවාවක් වූ පොලීසියට ත්‍රිරෝද රථයේ ගමන්ගත් අය හඳුනා ගැනීම අසීරු නොවීය. ඔවුන් පොලීසිය හමුවේ ප්‍රකාශ කොට තිබුණේ නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනකු ත්‍රිරෝද රථයේ මග හරස් කර වෙඩි තැබූ බවත් බියට තමා එළියට පැන දිවගිය බවත්ය.

වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ පානදුර වලාන ගැමුණු මාවත පදිංචිව සිටි සඳරුවන් ලක්ෂාන් සංජීව නැමැත්තෙකි. 32 හැවිරිදි විවාහක ඔහු දෙදරු පියෙකි. වෘත්තියෙන් ධීවරයෙකි. එසේ නම් ධීවරයකු වූ සංජීවට මහමගදී වෙඩි තබා ඝාතනය කිරීමට තරම් හේතුව කුමක්ද? වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදීමක්ද? යම් හෙයකින් ඔවුන්ගේ ඉලක්කය ත්‍රිරෝද රථයේ පසුපස ගමන්ගත් අයද? නැතිනම් වැරදි තොරතුරක් මත කළ ඝාතනයක්ද? ආදිය ප්‍රශ්න සහගත විය.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් මනාව සැලසුම් කර පැමිණ ඇතැයි කියති. ප්‍රහාරය සඳහා ගිනිඅවි දෙකක් සූදානමින් තබාගැනීම හරහා එය පෙනෙන්නට තිබේ. යම් හෙයකින් එක් ගිනිඅවියක දෝෂයක් වේ නම් අනෙක් අවියෙන් හෝ බිල්ල ගැනීමේ සූදානමින් ඔවුන් පැමිණ ඇත. එවැනි පසුබිමක නිසි ඉලක්කය තෝරාගැනීම වැරදීමට ඉඩක් නැත.

කෙසේ හෝ මරණකරු රැගත් ත්‍රිරෝද රථය යන අතරමග එක්තරා වෙළෙඳසලක් ඉදිරිපිට නවත්වා ඇත්තේ දුම්වැටියක් මිලට ගැනීමට බව කියති. ඒ මොහොතේ කඩාවැදුණු මැරයන්ගේ වෙඩි ප්‍රහාරයට ත්‍රිරෝද රථය ගොදුරු වී තිබිණ. ප්‍රහාරයෙන් පසුව ඝාතකයන් පානදුර දෙසට පලා යන ආකාරය සී.සී.ටී.වී කැමරා දර්ශනවල දැකිය හැකිවිය. ඒ ගමන ඉතා පළපුරුදුකරුවන් වැනිය. ගිනිඅවියක් දකුණු අතින් ඉහළට ඔසවාගෙන දුටුවන්ව භීතියට පත් කරමින් යන ගමන කඩිසර හා පුරුදු එකකි. ප්‍රහාරයට ලක්වූ සංජය නැමැත්තාගේ හිසට හා පාදයට බරපතළ තුවාල සිදුව තිබුණි. ඒ හේතුවෙන් රථය තුළම මියගිය ඔහු පිළිබඳ වාර්තා වූයේ ඒ පුද්ගලයා අහිංසකයකු හා ධීවර රැකියාවෙන් බඩවියත රුකගන්නා අයකු බවය.

එසේ නම් එවැනි අහිංසකයකු වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුවක් නැත. ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ කණ්ඩායමක් හා තවත් විශේෂ කණ්ඩායම් දෙකක් යටතේ විමර්ශන ඇරඹුණේ ඒ අනුවය. ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සිද්ධිය වූ අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් කළ 27 හැවිරිදි අයෙකි. ඝාතනයට ලක්වූ තැනැත්තා ධීවරයකු බව කවුරුත් කියා සිටියහ. එහෙත් විමර්ශන නිලධාරීහු ඔවුන්ගේ කතාවට ඉදිරියෙන් සිටියහ. ඝාතනයට ලක්වූ අය ධීවර රැකියාවේ නිරත වූ බව සැබෑවකි. ඒ සඳහා බෝට්ටුවක් භාවිත කළ බවද කියැවේ. එහෙත් ඔහු එයින් සිදුකර තිබුණේ ධීවර රැකියාව පමණක් නොව ධීවර රැකියාව තුළ රැඳෙමින් මොරටුව සිට පානදුර දක්වා මුහුදු මගින් කුඩු ප්‍රවාහනය කිරීමය. ඊට අමතරව කුඩු ප්‍රවාහනය සඳහා බෝට්ටුව යොදාගෙන ඊට සහාය වීමය. ධීවර රැකියාවට අමතරව ඔහු අතමිට සරු කරගෙන ඇත්තේ එම ජාවාරමෙනි. එක් දිනකදී සිදු කළ කුඩු ගනුදෙනුවකදී මුදල් පිළිබඳ යම් ආරවුලක් මතු වී ඇත. ඊට ඝාතනයට ලක්වූ පුද්ගලයා හා අනෙක් පාර්ශ්වය අතර ගැටුමක් නිර්මාණය වී තිබිණ. එහි උච්චතම අවස්ථාව පසුගියදා වෙඩි තබා මරා දැමීම හරහා අවසන් කර ඇතැයි වාර්තා වේ.

පොලිස් බුද්ධි තොරතුරු අනුව ඝාතකයන් පිළිබඳ විමසීමේදී ඔවුන් ගල්කිස්ස ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව සැකකාර පුද්ගලයකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබුණි. එහිදී ඔහු කියා තිබුණේ සිය මිතුරකු විසින් ඔහුගේ හිතවතුන් දෙදෙනකුට දින 5ක් සඳහා නිවෙසේ නවාතැන් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවකි. ඊට කැමැති වූ පුද්ගලයා ජනවාරි 20 වැනිදා සිට 25 වැනිදා තෙක් පුද්ගලයන් දෙදෙනකුට නවාතැන් ලබා දී තිබිණි. එම දෙදෙනා නිවෙස්හිමියා නාඳුනන අතර නවාතැන් ගත් දින 5 සඳහා රුපියල් 10,000ක මුදලක් ලබාගත් බවද කියා තිබේ. මොවුන් දෙදෙනා 25 වැනිදා පෙරවරුවේ නිවෙසින් පිටව ගොස් ඇති අතර හෝරා දෙක තුනකට පසුව යළිත් එහි පැමිණ ඔවුන් සතු බඩු භාණ්ඩ රැගෙන යළිත් පිටව ගිය බවද ප්‍රකාශ කර තිබේ. එම කුලී නිවෙස ගල්කිස්ස ගඟුල පාරේ පිහිටි එකකි.

බුද්ධි තොරතුරු අනුව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට තවත් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 6කි. ඝාතනය මෙහෙයවා ඇතැයි කියන්නේ කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සුද්දා නැමැත්තෙක් විසිනි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම්වත් කර එම පුද්ගලයා රඳවා සිටින කුටිය පරීක්ෂා කිරීමේදී සඟවාගෙන තිබූ ජංගම දුරකථනයක් සොයාගෙන ඇත. එය ඝාතනය මෙහෙයවීම සඳහා යොදාගත් එකකි.

ඔහු විදෙස්ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සබඳතා පවත්වන අයෙකි. ඔහුගේ වුවමනාව මත ඝාතනය මෙහෙයවා ඇතැයි කියති. කෙසේ වෙතත් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට අවශ්‍ය පුද්ගලයා නොව ඔහුගේ හිතවතා ඝාතනය කර ඇති බවය.

ඝාතනය සඳහා යොදාගත් ගිනිඅවිය පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සොහොන් බිමක දමා ගොස් තිබියදී සොයාගෙන තිබිණි. ඝාතකයන් භාවිත කළ යතුරුපැදිය බොල්ගොඩ ගඟේ ගිල්වා තිබියදී සොයා ගැනීමට සමත්ව තිබේ. මේ අතර වාර්තා වන්නේ කුලී ඝාතකයන් වෙත කාමර පහසුකම් ලබා දී ඇත්තේ විශ්‍රාමික බන්ධනාගාර නිලධාරියකුගේ පුත්‍රයකු බවය. අත්අඩංගුවට ගැනුණු අය අතර ඝාතනයට ඔත්තු බැලූ දෙදෙනකු ද සිටින බව පොලීසිය වාර්තා කරයි. සැකකරැවන් හයදෙනා රැඳවුම් නියෝග යටතේ රඳවා දීර්ඝ ලෙස විමර්ශනය සිදු කරයි.

ඉකුත් සමයේ පාතාලයට එරෙහිව අඛණ්ඩව මෙහෙයුම් සිදු කරමින් පැවතිණි. එහෙත් එම මෙහෙයුම් යම් පසුබෑමකට ලක්ව ඇතිදැයි සිතෙන තරමය. දැන් මහ දවාලේ මහමග මිනී මරන කුඩු පාතාලයන් යළිත් සක්‍රියව සිටින බව පෙනේ. එබැවින් පල්ලියමුල්ල ප්‍රහාරයේ ඉලක්කය මුල්කොටගෙන හෝ යළිත් පාතාලයට එරෙහිව මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර