රට ගැන සිතමින් සිටින විට බඩට පහර වැදීමත් බඩ ගැන සිතමින් සිටින විට රටට පහර වැදීමත් කලක පටන් ලක්වාසීන්ට හුරුවූවකි. පසුගිය කාලයේ ජාතික වශයෙන් රටට එල්ල වූ කොවිඩ් ඇතුළු සෙසු අභියෝග දෙස මහජනයා දෑස් දල්වා බලා සිටි අතර බඩු මිල අහසටම ගියේය. විටක දේශපාලන කරළියේ කතා වූ පරිදි බඩු මිල පාලනයට ආණ්ඩුව ගැසට් ගැසුවේ එදා ජනප්‍රිය ගායක ජෝතිපාල කැසට් ගසනවාටත් වඩා වැඩි වේගයකිනි. එසේ නමුත් බඩු මිල පාලනයට ඇලවූ පැලැස්තර එකිනෙක ඉරී ගොස් අද වන විට තත්ත්වය තවත් භයානක වී තිබේ. එහෙත් බඩු මිල පාලනයට නොනිමි උත්සාහයක නිරතව සිටින වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙවර තවත් උපායක් අත්හදා බැලුවේය. යම් සාධනීය ප්‍රවේශයක් එම උත්සාහය තුළ වන බව පෙනී ගියෙන් අපි ඒ පිළිබඳව තවදුරටත් සොයා බැලුවෙමු.
මෙය වෙළෙඳ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ඉදිරි මාස තුනක් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ ව්‍යාපෘතියකි. එනම් මෙය එකම මිලකට භාණ්ඩ වර්ග 27ක් මාස තුනක් පුරා මිලදී ගැනීමට හැකිවන වැඩපිළිවෙළකි. දේශීය නිෂ්පාදකයන් හා ඍජු ආනයනකරුවන් එකතු කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. අතරමැදියන් හට අධික ලාභ ලැබීමට මේ හරහා අවස්ථාව අහිමි වේ. ඒ අනුව පළමු දේශීය නිෂ්පාදකයන්ට හා ඍජු ආනයනකරුවන්ට සිය මිල අභිප්‍රායන් ප්‍රකාශ කරන්නට රජය අවස්ථාව ලබා දුන්නේය. ඔවුන් අතරින් තෝරාගැනුණු පිරිස සමඟ ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීමේ ගිවිසුමට පෙබරවාරි 03දා වෙළෙඳ අමාත්‍යාංශයේදී අත්සන් තැබීම සිදුවිය.
මෙම අවස්ථාවේදී ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කළේය. මිල ස්ථායීකරණ ව්‍යාපෘතිය යටතේ එළඹෙන ලද ගිවිසුම ප්‍රකාරව නිසි ගුණත්වයෙන් යුත් ජනජීවිතයට අත්‍යාවශ්‍ය වන පාරිභෝගික භාණ්ඩ පවත්නා මිලට වඩා අඩු මිල ගණන් යටතේ පාරිභෝගිකයා වෙත ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බව ඔහු කියා සිටියි. එමෙන්ම තවදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය අංශයෙන් මෙන්ම පෞද්ගලික අංශය මගින් මෙවැනි ජාතික වශයෙන් වැදගත් කර්තව්‍යයක් සඳහා සිය එකඟතාවය පළ කිරීම ඉතා අගය කළ යුතු කාර්යයක් වන බවයි.
මෙම ගිවිසුම් ප්‍රකාරව පෙබරවාරි සිට ජූනි මාසය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව තබාගැනීමට අදාළ ව්‍යාපාරිකයන් හට සිදුවනු ඇත. ගිවිසුමේ මිල ගණන් වෙනස් කළ හැක්කේ විනිමය අනුපාතය වෙනස් වුවහොත් හෝ මෙම භාණ්ඩ සඳහා රජය බදු අය කළහොත් පමණි. මෙම භාණ්ඩ සඳහා ගැසට් නිවේදන නිකුත් නොකරන අතර එම භාණ්ඩ විකුණනු ලබන්නේ ලංකා සතොස, සමුපකාර සහ Q shop මගිනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලබාගනිමින් දැනට වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා අඩු මිලකට ජනජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මෙය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් බවද කියැවේ.
කෙසේ වෙතත් මෙරට හමුදාවන් ඇතුළු පෞද්ගලික හෝටල් ආදී බොහෝ ආයතන සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නේ ස්ථායී මිල ගණන් යටතේය. යම් කාල පරාසයක් තුළ එකම මිලක් පවත්වාගෙන යාමේ වාසි මෙන්ම අවාසි ද තිබේ. කෙසේ වෙතත් එය දෙපාර්ශ්වයටම එක සේ බලපායි. එසේ නමුත් ස්ථිර ගනුදෙනුකරුවකු ලැබෙන නිසාවෙන් නිෂ්පාදකයන් මෙන්ම සෘජු ආනයනකරුවෝ ද මෙම ක්‍රමයට වැඩි නැඹුරුවක් දක්වති. පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව ද වෙළෙඳුන් සමඟ මෙන්ම වෙළෙඳ සංවිධාන සමඟ මිල පිළිබඳ මෙවැනි ගිවිසුම්වලට එළැඹිය හැකි බව පැහැදිලිව දක්වා තිබේ. සතොස සහ සමුපකාරය මෙම ක්‍රමය යටතේ තවදුරටත් භාණ්ඩ මිලදී ගැනීමට සමත් වුවහොත් ඉදිරියේදී සමුපකාර සහ සතොස ජාලය හරහා මහජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
වෙළෙඳ අමාත්‍යවරයා අත්සන් කළ ගිවිසුම ප්‍රකාරව පළමු අදියරේ දී ඉදිරි මාස තුනක් සඳහා මිල ස්ථාවර වන භාණ්ඩ මෙසේය. රතු කැකුළු, සුදු කැකුළු, සුදු නාඩු, සම්බා, කීරි සම්බා, තිරිඟු පිටි, සුදු සීනි, දුඹුරු සීනි, තේ කොළ, රතු පරිප්පු-ඕස්ට්‍රේලියන්, ලොකු ලූනු - ඉන්දියන්, අර්තාපල් - දේශීය, අර්තාපල් - පකිස්තාන්, කඩල, වියළි මිරිස්, ටින් මාළු -දේශීය, ටින් මාළු - ආනයනිත, හාල්මැස්සන් - තායිලන්ත, කුකුළු මස් (සම සහිත), ලුණු කැට, කිරිපිටි, සෝයා තෙල්, රෙදි සෝදන සබන්, රෙදි සෝදන බාර් සබන්, සුවඳ සබන්, දෑත් සෝදන දියර, මුව ආවරණ (SLS සහතික ලත්) යන භාණ්ඩ වර්ග 27ක මිල මේ අනුව ස්ථායීකරණයෙන් යුතුව ඉදිරියේ දී පවතිනු ඇත.
කෙසේ නමුත් මෙම ව්‍යාපෘතියෙහි සැබෑ වාසිය ජනතාව සතු වීමට නම් සතොස, ලක් සතොස, සමුපකාර ඇතුළු රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන වෙළෙඳ යාන්ත්‍රණය ශක්තිමත් විය යුතුය. පෞද්ගලික අංශයේ වෙළෙඳ අධිකාරියට තරගයක් දීමට මෙම ආයතන අසමත් වන තුරාවට මෙරට සමස්ත වෙළෙඳපොළ භාණ්ඩ මිල පාලනය කිරීමට රජයට හැකි නොවේ. ප්‍රමාණවත් භාණ්ඩ නොමැතිවීම, ජනතා ආකර්ෂණයක් නොවීම, අභ්‍යන්තර වංචා දූෂණ ආදිය නිසා සතොස ඇතුළු රජය සතු බොහෝ අලෙවි සල් පෞද්ගලික අංශය සමඟ සැසඳූ විට බොහෝ පසුගාමීය. එම නිසාම සතොස ඇතුළු රජයේ වෙළෙඳසල්වල අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථායී වූ පමණින් සමස්ත වෙළෙඳපොළ භාණ්ඩ 27ක මිල මාස තුනක් පුරා ස්ථාවර වේ යැයි අපේක්ෂා කිරීම ගැටලු සහගතය. කෙසේ නමුත් මෙය පැසසිය යුතු උත්සාහයකි.
කෙසේ නමුත් ඉදිරියේ දී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා කුඩා පරිමාණයේ අලෙවි සල් පොදු ස්ථාන ඉලක්ක කරගෙන ආරම්භ කිරීමට ද සැලසුම් කර ඇති බව දැනගන්නට ලැබේ. එසේම තරැණ කටයුතු අමාත්‍යාංශය සහ තරුණසේවා සභාව හරහා ද තරුණ ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් බජට් ෂොප් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කියැවේ. කඩිනමින් මෙම සැලසුම් ක්‍රියාවට නංවනු ලැබුවහොත් සැබෑ වාසියක් මහජනතාවට සැලසෙනු ඇත. මෙම නව වෙළෙඳසල් පද්ධතිය සහ සතොස සමුපකාර ආදී සියලු රජයේ වෙළෙඳසල් එකම ජාලයක් හරහා පාලනය වන්නේ නම් යහපත්ය. එවිට මෙරට මහජනතාවට ගුණාත්මක සහනදායී සේවයක් සැපයීමට මෙන්ම පෞද්ගලික අංශයට තරගයක් ලබා දී වෙළෙඳපොළ අධිකාරිය පාලනයට ද රජයට අවකාශ සැලසෙයි.
I චමිඳු නිසල් ද සිල්වා