2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

එතෙර අතරමං වූ පිරිසට මොකද වෙන්නේ?

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

කොවිඩ්-19 වසංගතය මුළු ලෝකයටම අභියෝගයක් වී අවසන්ය. බොහෝ රටවල් කොවිඩ්-19 වසංගතය හමුවේ අන්ත අසරණ වී සිටින අවස්ථාවක ශ්‍රී ලංකාවේ අපිද ඊට එරෙහිව සටන් වැද සිටින්නෙමු. මෙරට සිටින පුරවැසියන් ආරක්ෂා කරගැනීමට දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන අතරම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහිද සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමාර්ග රාශියක් ගැනීමට බලධාරීහු පියවර ගත්හ.

කොවිඩ් හමුවේ අසරණ වූ ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනය හැදෑරීමට ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු මැදපෙරදිග කලාපයේ රැකියාවලට ගොස් අසරණ වූ බොහෝ දෙනෙක් රජය මගින් යළිත් මෙරටට ගෙන්වාගනු ලැබූහ. එහෙත් මැදපෙරදිග කලාපයෙන් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වසංගතය වැළඳී තිබූ අතර ඔවුන් රෝහල්වල ප්‍රතිකාර ලබනා තෙක් අනිත් කණ්ඩායම් මෙරටට ගෙන්වීමට තාවකාලික විරාමයක් තැබිණි.

නිල නොවන දත්ත අනුව මැද පෙරදිග සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය ලක්ෂ 15ක් පමණ වන අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තාවලට අනුව විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් දළ වශයෙන් 90%ක් පමණ මැද පෙරදිග සේවයේ නියුතු ශ්‍රමිකයෝ වෙති. විදේශ අමාත්‍යංශ ලේකම් 2020 මැයි මස 17 වැනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ, එදින වනවිට ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ලියාපදිංචි වූ මුළු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 38,000ක් වන අතර ඉන් 28,000ක් පමණ විදෙස්ගත ශ්‍රමිකයන් බවය. මෙම මැද පෙරදිග විදේශ ගත ශ්‍රමිකයන් ඉහත සඳහන් පරිදි, අප රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දුන්නද, Covid -19 වසංගතය හමුවේ දහස් ගණනින් රැකියා අහිමිවීමෙන් අද තම පවුල් සමඟ අසරණභාවයට පත් වී ඇත.

මෙරට පුරවැසියෝ විවිධ හේතු නිසා විදෙස්ගත වෙති. ඇතැමෙක් උසස් අධ්‍යාපනය ලැබීම, උපාධි, ආචාර්ය උපාධි, සපුරාගැනීම, ප්‍රතිකාර සඳහා රැකියාවට, ව්‍යාපාරික කටයුතු සඳහා ආදී ලෙස විවිධ හේතු මත විදෙස් ගත වෙති. මේ කුමන හේතුවකට විදෙස් ගත වුණද ඔවුන්ගේ කාර්යය අවසන් වූ නියමිත කාලය පසුවී තිබේ නම්, ඒ රටේ ජීවත් වීමට ලබාදී තිබූ නෛතික බලපත්‍රය නැතහොත් වීසා අවලංගු වේ.

වීසා අවලංගු වූ අයකුට එරට රැඳී සිටිය හැක්කේ තවත් දින තිස් එකක් පමණි. එම දින තිස්එක ඇතුළත ඔහු හෝ ඇය රටින් පිටවිය යුතුය. (මේ කාලය රටකින් රටකට වෙනස් විය හැකිය. මා සඳහන් කළේ මැද පෙරදිග රටවල තත්ත්වය වේ.) එසේ පිට නොවුණහොත් ඔවුන් දිනකට ලංකාවේ මුදලින් රුපියල් එක්දහස් පන්සීයක් පමණ වන දඩයක් ගෙවිය යුතුය. රටින් පිටවීමට පෙර එම දඩය ගෙවීමට නොහැකි වුවහොත් ඔහු හෝ ඇය අසාදු ලේඛන ගත වේ.

මැද පෙරදිග තෙල් මිල පහළ යාම හේතුවෙන් රැකියා අහිමිවූවන් සහ කොවිඩි ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රමිකයන් 34,721 කගෙන් තමන්ව මව්රටට ගෙන්වා ගන්නා ලෙස මේ වනවිටත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ඉල්ලීම් කොට තිබේ.

කෙසේ වෙතත්  විදේශ සේවා නියුක්ති කාර්යංශය සතු අරමුදල් භාවිතා කොට කොවිඩ් ව්‍යසනය නිසා අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය. කමිටුව මේ බව සඳහන් කළේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදීය.

විදේශ සේවා නියුක්ති කාර්යංශය රැස්කොට ඇති රුපියල් බිලියන 14ක ජංගම වත්කම් යොදවා මේ වනවිට කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විවිධ රටවල අසරණව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කිසියම් නෛතික බාධාවන් තිබේද යන්න කමිටුව විසින් විමසන ලද අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව කාර්යාංශ සභාපතිවරයා එහිදී අනාවරණය කළේය.

කොවිඩ් වසංගතය හමුවේ රට විවෘත කිරීමේ සාකච්ඡා පවතින මොහොතක සහ මේ වනවිටත් ගුවන් තොටුපළ විවෘතව ඇති නිසාවෙන් මෙසේ මව් රටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරන විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා කාර්යංශය විසින් සුදුසු ආකෘතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

හිරවුණු අය ගෙන්වා ගන්න කිසි වැඩපිළිවෙළක් නෑ
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂණ සුභවික්‍රම

මුළු ලෝකය පුරාම ව්‍යාප්තවෙලා තියන කොවිඩ් වෛරසයෙන් හැමදෙනාම පීඩාවට පත්වෙලා ඉන්නවා අපේ රටේ විදේශවල සේවය කරන බොහෝ පිරිසක් විවිධ රටවල ඉන්නවා අපි දැක්කා. මේ ව්‍යසනය පටන්ගත්ත මුල් කාලයේ වෙනත් රටවල හිටපු තමන්ගේ රටේ පුරවැසියන් ඒ ඒ රටවලට ගෙන්වා ගන්නවා. නමුත් අපේ රටේ එම ක්‍රමවේදය ක්‍රියාත්මක වුණේ නැති තරම්. ඒ වගේම තමයි මාස ගණනක් විවිධ රටවල හිටිය අපේ රටේ විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගන්න නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක උනේ නැහැ. ඒ වගේම බොහෝ පිරිස් ඉන්නවා මේ කොවිඩ් ප්‍රශ්නය නිසා රැකියා අහිමි වුණ අය. ඔවුන්වත් ලංකාවට ගෙන්වා ගන්න නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. මේ රජයට ඒ නිසා අපි කියනවා දැන් මේ ගුවන්තොටුපොළවල් විවෘත කරලා තියෙනවා. සංචාරකයන් මෙරටට ගෙන්ව ගන්නවා නම් රටට විදේශ විනිමය උපයා දෙන විදෙස් රටවල අසරණභාවයට පත්වෙලා ඉන්න ඒ රටවිරුවන්ව මෙරටට ගෙන්වා ගන්න නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියලා.

ටිකට් ගන්න බැරිව හිරවෙලා ඉන්න පන්දාහක් ගෙන්වා ගන්නවා
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්ත

කොරෝනා රෝග ව්‍යාප්තිය නිසා තමන්ගේ රැකියා අහිමි වී මෙරටට පැමිණීමට නොහැකිව විදේශවල සිර වී සිටින අයගෙන් කඩිනමින් මෙරටට ගෙන්වා ගත යුතු අය තෝරාගැනීමට දැනටමත් සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව තිබෙන අරමුදල් භාවිතා කරලා කොරෝනා නිසා විදෙස් රටවල හිරවෙලා ඉන්න අය ගෙන්වා ගන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ වනවිට විදේශගතව සිටින අයගෙන් ටිකට්පතට මුදල් ගෙවාගත නොහැකිව සිරවී සිටින්නේ පන්දහසක පමණ පිරිසක් යැයි නිල නොවන වාර්තා අපිට ලැබිලා තියනවා. ඒ පිරිස ඉතා ඉක්මනින්ම ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම කොරොනා නිසා මෙරටට පැමිණීමට නොහැකි වී සිටින සියලුම දෙනා ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. 

 හසිත් අංජන