අව්වට කුඩ ඉහලුවත් ඉන් මතු නියඟය කටුකය. දැඩි වර්ෂාවට කුඩය තබා ගොඩනැගිල්ලක් වුව විශ්වාස නැත. ගංවතුර, නායයාම එහි අතුරුඵලය. සොබාදහම සමඟ ජීවත් වීම පහසු නමුත් ඊට සෙල්ලම් දැමීම, පිටින් පැනීම විහිළුවකි. දැන් දැන් ලංකාවට සොබාදහම විසින් අනතුරු අඟවමින් සිටී. එය ද කලාතුරකින් වාර්තා වන භූමිකම්පා පෙරට තබමිනි.
එහි ආසන්නතම සිදුවීම පසුගිය 31දා අලුයම 2.59ට පමණ සිදු වූ බව වාර්තා වූයේ බදුල්ල පස්සර මඩොල්සිම පොලිස් බල ප්‍රදේශයේ ඇකිරිය හා අවට ගම්මාන කිහිපයක් ආශ්‍රයෙනි. එම ප්‍රදේශවල ජනතාවට අත්විඳින්නට සිදුවූ මෙය අධික ශබ්දයක් සමඟ ඇති වූ භූ චලනයක් බවද වාර්තා විය. ප්‍රදේශවාසීන් පවසන්නේ විශාල ශබ්දයක් සමඟ තත්ත්පර 30ක් පමණ පොළොව සෙලවීමක් සිදු වූ බවය.
ඉකුත් දා සිදු වූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය ප්‍රකාශ කළාය. මෙම භූ කම්පනය මහකනදරාව, බුද්ධංගල, පල්ලෙකැලේ හා හක්මන ප්‍රදේශවල ස්ථාපිත කර ඇති භූ කම්පන මානවල සටහන්ව තිබෙන බවද නිල්මිණී තල්දෙන මහත්මිය කීවාය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශ ආශ්‍රිතව ඊට දින 10කට මත්තෙන් ජනවාරි 21 වැනිදා ද භූ කම්පනයක් සිදුවූ බවය. එම කම්පනය රිච්ටර් මාපකයේ 1.8ක් වශයෙන් සටහන්ව ඇති බවද ඇය පැවසුවාය. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ එම කම්පන අවස්ථාව තත්ත්පර ගණනාවක් පුරා විශාල ශබ්දයක් සහිතව සිදු වූ බවය.
මේ ආකාරයේ භූ කම්පනයක් මීට පෙර 2019 මාර්තු 16 වැනිදා බදුල්ල පස්සර හාලිඇළ ප්‍රදේශයෙන් වාර්තා වී තිබිණි. එම කම්පනය එදින පෙරවරු 8.14ට පමණ සිදු වූ බවට වාර්තා වී ඇති අතර විශාල ශබ්දයක් සමඟ ඇතිවූ භූ චලනය තත්ත්පර තුනක් පමණ පැවති බවද වාර්තා විය.
ප්‍රදේශයේ භූ විද්‍යාත්මක පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවීමේ හැකියාව පවතින බව භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය පැවසුවාය. ඇය වැඩිදුරටත් පවසන්නේ පස්සර ප්‍රදේශයේ භූ තලයේ භූ තල සීමා ඇති බවය. එවැනි ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පන සිදුවන බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ක් 2ක් යනු ඉතා අවම අගයක් බවත් ලෝකයේ සිදුවන භූ කම්පන අතරින් මෙය ඉතා සුළු කම්පනයක් වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය. කෙසේ වෙතත් මෙරට භූමියේ එවැනි භූ කම්පන අවම බැවින් සිදුවීම විශේෂ වන බවද ඇය කීය. නමුත් රිච්ටර් මාපක අගය 1 - 2 අතර කම්පන ලෝකයේ දිනකට බොහෝ සෙයින් වාර්තා වන බවද ඇය පැවසුවාය. කෙසේ නමුත් ඇය පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවය. මේ ආකාරයේ භූ කම්පන සිදුවීම් වාර්තාගත කිරීමට මෙරට තුළ කටයුතු ආරම්භ කර ඇත්තේ 2004 වසරේ ඇතිවූ සුනාමි සිදුවීමත් සමඟය. ඒ හැර එදා මෙදාතුර භූ චලනවල ප්‍රමාණාත්මක වර්ධනයක් වී නැතැයි එම මහත්මිය ප්‍රකාශ කළාය.
මේ ආකාරයට මාස කිහිපයකට ඉහතදී මහනුවර දිගන ප්‍රදේශයෙන් ද භූ කම්පන සිදුවීම් කිහිපයක් වාර්තා විය. ගිය වසරේ අගෝස්තු 29 වැනිදා පස්වරු 2.17ට එක් භූ චලනයක් ද, එදින සවස 6.10ට තවත් භූ කම්පනයක් හා එදිනම රාත්‍රී 8.30ට තවත් කම්පනයක් වශයෙන් භූ චලන තුනක් වාර්තා වී තිබිණි. මීට අමතරව සැප්තැම්බර් 2 වැනිදා උදේ 7.06ට තවත් භූ කම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වී ඇත. 29 වැනිදා සිදුව ඇති භූ කම්පනය දිගන, අඹකෝටේ, අලුත්වත්ත, ගුරුදෙණිය හාරගම, අනුරගම මයිලපිටිය, කුණ්ඩසාලේ හා පල්ලෙකැලේ ප්‍රදේශවලට දැනී ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
2 වැනිදා සිදුවූ භූ කම්පනය වැඩි වශයෙන් දැනී ඇත්තේ දිගන, අඹකොටේ හා අලුත්වත්ත ප්‍රදේශවලටය. එම භූ කම්පනය පල්ලෙකැලේ හා මහකනදරාව යන භූ විද්‍යා මධ්‍යස්ථානවල පිහිටි භූ කම්පන මානවල සටහන්ව තිබුණි
අදාළ දින දෙකේදී සිදුව ඇති භූ කම්පනයේ අපිකේන්ද්‍රය එකම ස්ථානයක සිදුව තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය වාර්තා කරයි. මහනුවර ආශ්‍රිතව සිදුව ඇති භූ කම්පන සම්බන්ධයෙන් නිරීක්ෂණය කරන භූ විද්‍යාඥයන් පවසන්නේ එම කම්පන තත්ත්වයෙන් ප්‍රධාන භූ තල මායිම් ආශ්‍රිතව ඇති නොවූ බවය. වික්ටෝරියා ජලාශය හා වේල්ල මෙම ප්‍රදේශයට නුදුරින් පිහිටා තිබීම නිසා ඒ වෙත අවදානමක් පවතින්නේ ද යන්න සැකයක් පැවතිණි. පසුව අනාවරණය කර ගැනුණේ අදාළ කලාපය තුළ විහිදී ඇති විපරීත හුණුගල් තට්ටු බිඳවැටීම නිසා භූ චලනය සිදුව ඇති බවය. රජවැල්ල, පල්ලෙකැලේ, ගුරුදෙණිය හා හාරගම යන ප්‍රදේශ ත්‍රිකෝණාකාර භූමියක් ලෙස පිහිටා තිබෙන අතර ඒ අතර මෙම භූ චලන සිදුව තිබෙන බව දැනට තහවුරු වී තිබේ.
වාර්තා වන පරිදි මෙරට භූ තලය අභ්‍යන්තරයේ ඇති පැලුම් රාශියකි. ඒ අතරින් විශාල හා දිගම පැල්ම ත්‍රිකුණාමලය වරාය සිට මහවැලි ගඟ දිගේ මහියංගණය, මොණරාගල, හපුතලේ හා උඩවලව ප්‍රදේශ හරහා හම්බන්තොටින් මුහුද දෙසට වන බව වාර්තා වේ. මීට අමතරව කඳුකර ප්‍රදේශ හරහා වයඹ ගිනිකොණ දෙසට පැලුම් 11ක් පමණ පවතී. මේ හැර කඳුකර බිම් හරහා ඇතැයි කියන භූ තලයේ ඇති පැලුම් ගණනාවකි.
යම් දිනක මෙකී පැලුම් සක්‍රිය වුවහොත් සිදුවන තත්ත්වය අති භයානකය. එබැවින් විටින් විට සිදුවන භූ කම්පන හමුවේ අපේ රටට දරුණු භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් නැතැයි සිතිය නොහැකිය. මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව දැඩි අවධානයෙන් පසුවීමත් ජනතාව දැනුම්වත් කිරීමත් වැදගත්ය.
සමන්ත ප්‍රදීප් විල්තෙර