කෘෂිකර්මාන්තයට අදාළ පනත් තුනක් සංශෝධනය කිරීමට ඉන්දීය රජය පසුගිය සැප්තැම්බරයේ පියවර ගැනීම හේතුවෙන් එයට විරෝධය පාමින් ඉන්දීය ගොවීහු ලක්ෂ ගණනින් වීදි බැස සිටිති. ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කෘෂි කර්මාන්තයට අත පෙවීමට උත්සාහ දරන අතර ඔවුන් ගොවි ජනතාව සූරාකෑමට සූදානම් වන බවටත් චෝදනා කරන ගොවීහු, ගොවි ජනතාව පිළිබඳව රාජ්‍ය වෙත පැවරී තිබූ වගකීම සහ ආරක්ෂාව මෙම නීති සංශෝධනය මගින් ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයිද චෝදනා කරති. මේ වන විට නවදිල්ලි නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන විරෝධතාවලට ලක්ෂ ගණනින් ගොවිජනතාව එක්වී සිටිති. පනත් සංශෝධනය හකුලා ගන්නා ලෙස ඉල්ලමින් ගොවි නායකයන් පිරිසක් පසුගියදා උපවාසයකද නිරත වූහ. ඉන්දීය නිදහස් සටනේ පියා වන මහත්මා ගාන්ධිගේ අනුස්මරණ දිනයට සමගාමීව ගොවීන් මෙම උපවාසය සංවිධානය කර තිබිණි.
මෙම නව නීති ඉන්දියානු ව්‍යාපාරිකයන් වන ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානි වැනි සුපිරි ව්‍යාපාරිකයන්ට කෘෂිකර්මාන්තයට අතපෙවීමට හා ගොවි ජනතාව සූරාකෑමට ලක්කිරීමට අවස්ථාව සලසා දීමක් බව ගොවීන්ගේ මතයයි. ගෞතම් අදානි යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදීගේ සමීපතම ව්‍යාපාරික මිතුරෙකි. ඔහුගේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගම ගුවන්තොටුපොළ හා වරාය ඉදිකිරීම, කෘෂි නිෂ්පාදන අලෙවිය හා ඛනිජ තෙල් සහ ඛනිජ ද්‍රව්‍යය කැණීමේද නිරත සමාගමකි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අත්පත් කර ගැනීමට ඉව ඇල්ලුවේද මේ අදානිය. එමෙන්ම ආසියාවේ ධනවත්ම පුද්ගලයෙක් ලෙස සැළකෙන මුකේෂ් අම්බානිගේ රිලයන්ස් සමාගමද මේ වන විට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට. පියවර ගෙන තිබේ. ගොවීන්ගෙන් සෘජුවම අස්වනු මිලට ගැනීමට එම සමාගම කටයුතු කරමින් සිටී.
නව කෘෂි පනත් මගින් සමාගම්වලට අස්වැන්න මිලදී ගැනීමට අවස්ථාව හිමි වන අතර, බෝග 23කට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමද සිදුවෙයි.. කිසියම් බෝගයක් නියම කළ මිලක් යටතේ වගා කිරීමේ කොන්ත්‍රාත් වගා ක්‍රමයක් ද හඳුන්වා දීමට නියමිත වන අතර. සුළු ගොවීන්ගේ ඉඩම් බද්දට ගෙන මහාපරිමාණ ගොවිබිම් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිමද එමගින් නිර්මාණය කර තිබේ. ගොවීන් මෙම නීති හඳුන්වනු ලබන්නේ බ්ලැක් ලෝ හෙවත් කළු නීති නමිනි.
මෝදි රජය පවසන්නේ දැනට ක්‍රියාත්මක අවම අධාරක මිල (Minimum Support Price) ගොවීන්ට අවාසි සහගත බැවින් එය අහෝසි කළ යුතු බවටය. ලෝක වෙළෙඳ සංවිධානය නිරතුරැවම අවම ආධාරක මිල අහෝසි කරන ලෙසට කරන බලපෑම හේතුවෙන් රජය මෙම තීන්දුව ගෙන ඇතැයි ගොවීහු චෝදනා කරති. ජාතික කොන්ග්‍රස් පක්ෂයේ සභාපති ෂාරද් පවර් නව නීති සම්බන්ධයෙන් තම කනස්සල්ල පළකර තිබේ. නව නීති අවම ආධාරක මිලට (එම්එස්පී) අහිතකර ලෙස බලපානු ඇති බවත්, එමගින් මැන්ඩි ක්‍රමය දුර්වල කරන බවත් ඔහු කියා තිබේ. (මැන්ඩි ක්‍රමය යනු ගොවීන් විසින් නියාමනය කරන ලද කෘෂිකාර්මික නිෂ්පාදන අලෙවිකරණ කමිටුව (ඒපීඑම්සී) නොහොත් මැන්ඩි අංගනවල කොමිස් නියෝජිතයා වෙත තම නිෂ්පාදන ලබා දීමයි. මෙම බෝගවලින් කොටසක් කිසියම් ප්‍රමිතියකට යටත්ව ඉන්දියානු රජයේ ආහාර සංස්ථාව සහ අනෙකුත් රාජ්‍ය මට්ටමේ ප්‍රසම්පාදන ආයතන හරහා අවම ආධාරක මිලට (එම්එස්පී) මිලදී ගනු ලැබේ)
එහෙත් නව නීති මගින් සහල්, තිරිඟු හා බඩ ඉරිඟු වැනි ද්‍රව්‍ය සඳහා රජය මගින් ලබා දී ඇති සහතික මිල (මැන්ඩි ක්‍රමය) අහෝසි වනු ඇත. රජය වගකීමෙන් ඉවත් වන අතර සුළු ගොවින් සම්පුර්ණයෙන්ම සූරාකෑමට ලක්වෙයි. තමන්ගේම ඉඩම්වල සමාගවල අවශ්‍යතාවය ඉටුකරන කුලී කම්කරුවන් බවට පත්වීමට ඔවුනට සිදුවනු ඇත. සමාගම්වලින් සිදුවන අසාධාරණවලට එරෙහිව අධිකරණයට යෑමටද ගොවීන්ට නොහැකිය. තම අස්වැන්න තමන්ට ගබඩාකර තබාගත හැකියැයි පැවසුණද ඒ සඳහා ඔවුන් සතුව ප්‍රමිති ගත ගබඩා පහසුකම් තිබිය යුතුයැයි රජය කියයි. බොහෝ ගොවීන්ට එවැනි පහසුකම් නොමැත. සමාගම් සතුව එවැනි ගබඩා පහසුකම් ඇති අතර ගොවීන්ට සිදුවන්නේ සමාගම්වලට අඩු මුදලට තම නිෂ්පාදන ලබා දීමටය.
නව පනත්වලට එරෙහිව ප්‍රථමයෙන් වීදි බැස්සේ හර්යානා, රාජස්ථාන්, උත්තර් ප්‍රදේශ්, උත්තරාන්චල් සහ පන්ජාබය යන ප්‍රාන්තයන්හි ගොවි ජනතාවය. පසුව ඉන්දියාව පුරා සිටින ගොවි ජනතාව ලක්ෂ ගණනින් එයට එක්වන්නට වූහ. මේ දිනවල පවතින අධික ශීතලද නොතකමින් නවදිල්ලි නුවර කූඩාරම් ගසාගෙන විරෝධවලට එක්ව සිටින ගොවීන් අතුරින් මේ වන විට ගොවින් 35 දෙනකු පමණ මරණයට පත්ව ඇතැයි පැවසේ. කොවිඩ් වසංගතය මෙන්ම දැඩි සීතලද නොතකමින් ඔවුහු විරෝධතා ව්‍යාපාරය නොනවත්වාම ගෙනයමින් සිටිති.
පසුගිය දෙසැම්බර් 30 වන දින පැවති සාකච්ඡා වටයකදී ගොවීන්ගේ ඉල්ලීම්ෙවලින් දෙකක් පිළිගැනීමට රජය කැමති විය. ඒ පිදුරු පුළුස්සා දැමීම සාපරාධි ක්‍රියාවක් ලෙස ගෙන තිබූ නීතිය සහ ගොවීන්ගේ විශේෂ සහනාධාර ඇපයට තබා ගනිමින් ලබා දීමට යෝජනා වී තිබූ විදුලි පනත 2020 අවලංගු කිරීමටය.
නව පනත් ගෙන ඒමට රජය ක්‍රියා කළේ ගොවීන්ට තමා කැමති පරිදි තමන්ගේ අස්වැන්න විකුණා ගැනීමට අවස්ථාව ලබා දීමේ අරමුණින් යැයි රජය කියයි. නව නීති ගොවීන්ට වැදගත් වන අතර පෞද්ගලික ආයෝජන තුළින් නිෂ්පාදනය ඉහළ නංවන බවද රජයේ මතයයි. එහෙත් ගොවීන් චෝදනා කරන්නේ මෝදි රජය ගොවින් මුළා කරමින් තම වගකීම් වලින් බැහැර වෙමින් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට අවස්ථාව සලසමින් සිටින බවයි. ගොවින්ගේ එක් ඉල්ලීමක් වන්නේ තම නිෂ්පාදන සදහා ලබා දෙන අවම මිල නීතිගත කරන ලෙසටය. වත්මනෙහි පවතින පාලන මිල යටතේ රජය මිලදී ගන්නේ 6පමණ ප්‍රමාණයක් බවත්, පාලන මිල හේතුවෙන් තම අස්වැන්න විවෘත වෙළෙඳපොළට අලෙවි කිරීමේ ගැටලුවක් නොතිබුණ බවත් ඔවුහු පවසති. නව නීති මගින් අතරමැදියන් නොමැතිව ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට මග සැලසෙන බව රජය පැවසුවද ඉන් මහපරිමාණ සමාගම්වලට විශාල වාසියක් අත්වන බවට ගොවීහු චෝදනා කරති.
ගොවීන්ගේ දිල්ලි චලෝ (දිල්ලියට යමු) උද්ඝෝෂණයට රජය ප්‍රතිචාර දැක්වූයේ, දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරමිනි. සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම්, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර නොසලකා, ලක්ෂ ගණනින් ගොවීහු මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ නව දිල්ලිය හා සම්බන්ධ ප්‍රධාන මහාමාර්ග රුසක කඳවුරු බැඳගනිමින් එම මාර්ග අවහිර කර තිබිණි.. ඉන්දියානු ජනරජ දිනයේ ට්‍රැක්ටර් ලක්ෂ ගණනක් වීදිවලට රැගෙන ඒමට ඔවුහු පියවර ගත්හ. එදින ප්‍රචණ්ඩත්වයෙන් වළකින ලෙස ගොවි සංගම් නායකයෝ එයට සහභාගී වන පිරිසෙන් ඉල්ලා සිටියහ. මතක තබා ගන්න, අපගේ ඉලක්කය දිල්ලිය යටත් කර ගැනීම නොව, මේ රටේ ජනතාවගේ හදවත් දිනා ගැනීමයි” යනුවෙන් එක්සත් ගොවි පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මේ අතර මහාරාෂ්ට්‍රයේ ගොවීන්ද ට්‍රැක්ටර් සහ ගොනුන් බැඳි කරත්තවල වල නැගී ගොවි සමිතිවල ධජ ඔසවාගෙන මෝඩිට එරෙහිව සටන් පාඨ කියමින් පෙළපාලි ගියහ.
අගමැති මෝදි සහ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, පසුව විරෝධතාවල නිරත ගොවි නායකයන් සමඟ සාකච්ඡා කිරීමට එකඟ වුවද නීති අහෝසි කරන ලෙසට වන ඔවුන්ගේ මූලික ඉල්ලීම සම්බන්ධයෙන් නැවත නැවතත් කෙරෙන සාකච්ඡාවල ප්‍රගතියක් ලබා ගැනීමට රජයේ නියෝජිතයන් සහ ගොවීන් අපොහොසත් වී තිබේ. කෙසේ නමුදු නව නීති තුන අවලංගු නොකිරීම රජයේ ස්ථාවරය වී තිබේ. රජයට මහා පරිමාණ සමාගම්වල සහය ලැබේ. ඉන්දියානු කෘෂිකර්මාන්තය ප්‍රතිව්‍යුහගත කරන ලෙසට ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව රජයට බලපෑම් සිදු කරමින් සිටින්නේ බොහෝ කලක සිටය. නීති අහෝසි කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුදු ඇතැම් සංශෝධන සිදු කර මාස 18 ක් ගතවන තුරැ ඒවා ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය හැකි යැයි රජය පවසා තිබේ. ගොවීන් තරයේ ප්‍රකාශ කරනුයේ එම නීති සම්පූර්ණයෙන්ම අවලංගු කරන තෙක් තම විරෝධතාව අත් නොහරින බවයි.
මහජන ආරක්ෂාව පවත්වා ගැනීම සහ මහජන හදිසි අවස්ථා වලක්වා ගැනීම සඳහා මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිංගු, ගාසිපූර් සහ ටික්රි සහ ඒ අවට ප්‍රදේශවල ජංගම අන්තර්ජාල සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. හර්යානාහි දිස්ත්‍රික්ක 17 ක අන්තර්ජාල සේවා කපා හැර ඇතැයි වාර්තා වේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගියදා දේශපාලන පක්ෂ නායකයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ගොවීන් විසින් මතු කරන ලද ගැටලු විසඳීමට තම රජය අඛණ්ඩව උත්සාහ කරමින් සිටින බවයි. ගොවි සංගම් නායකයන් සමඟ සාකච්ඡා කිරීමට තමා හා කෘෂිකර්ම ඇමතිවරයා කටයුතු කරන බවද ඔහු පවසා තිබේ.
ඉන්දියානු ගොවියා යනු එරට හදවත හා ආත්මය ලෙස සැලකේ. එරට සමස්ත ජනගහණය වන බිලියන 1.4න් අඩක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන්ය. එහෙත් ගතවූ දශක තුන තුළ ඔවුන්ගේ ආර්ථික ශක්තිය පහත වැටී තිබේ. කලකට ඉහත ඉන්දියානු දළ දේශීය නිෂ්පාදිතයෙන් තුනෙක් එකක් වූ කෘෂිකර්මාන්තය මේ වනවිට ඩොලර් ට්‍රිලියන 2.9 වන වාර්ෂික ආදායමෙන් 15ක් දක්වා පහත වැටී තිබේ.
ගොවීන්ගෙන් අඩකට වඩා ණයකරුවන් වී ඇති අතර, 2018 සහ 2019 දී 20,638 ක් සිය දිවි නසා ගත් බව ජාතික අපරාධ වාර්තා කාර්යාංශය පවසයි. ගොවිතැන් අසාර්ථක වීම, මිල අධික කෘෂි රසායන සහ අධික ණය බර මෙම සියදිවි නසාගැනීම් වලට හේතු වී තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා