2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

වතුකම්කරු දහසේ වැටුප: එදා දවස උදාවේවිදෝ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 31

ඡන්ද කාලෙට කලඑළි බසින අලුත් පොරොන්දු නිමක් නැත. බොහොමයක් ඒවා මුසාබස් යැයි දැන විනෝදෙට ඇහුම්කන් දෙන අය වෙති. මේවා සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවෙද්දී වතුකරේ කඩපිලේ කාර්යාලයේ කොතැනත් ඒ ගැන කතා ඇතිවෙයි. වතු කම්කරු වැටුප වැඩිකර ගැනීමේ සිහිනය වරින් වර කතිකා කෙරෙන කාලයක් පුරා පැවති එවැනි එක් මැතිවරණ පොරොන්දුවකි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත් කරන බවට පැවති ආණ්ඩු කිහිපයක්ම බලයට පත්වන්නට මත්තෙන් ප්‍රසිද්ධ පොරොන්දු ලබා දී තිබිණි. වර්තමාන ආණ්ඩුවද සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කම්කරු දෛනික වැටුප රු. 1000/-ක් බවට වැඩි කර ලබාදෙන බවට පොරොන්දු විය. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබී තිබිණි. එය මෙවර අයවැය මගින් ද යෝජනා කිරීමට කටයුතු කෙරිණි.
නව වසරට අදාළ අයවැය යෝජනාව ඉදිරිපත් කර දෙමසක් ගතවූ පසුව වතු කම්කරුවන් සඳහා අයවැයෙන් යෝජිත රුපියල් දහසේ දෛනික වැටුප ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ට පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී උපදෙස් ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට සිය මැතිවරණ පොරොන්දුව ඉටු කරන ලෙස උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම පෙබරවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

එසේ තිබියදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි බල කරමින් වතුකරයේ හර්තාලයක් ක්‍රියාත්මක කරන බව වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ සඳහා සියලු වතු කම්කරු වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ හා ජනතාවගේ සහාය ලබාදෙන්නැයි ඔහු ඉල්ලීමක් ද කර තිබිණි. ජනාධිපතිවරයා යම් ස්ථාවර ප්‍රකාශයක් සිදු කර ඇති පසුබිමක ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු මෙසේ අදහස් පළ කිරීම ගැටලුවකි. ඒ ඔස්සේ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා අදහස් දක්වමින් පවසන්නේ මෙවරත් ආණ්ඩුව විසින් වතු කම්කරුවන් මුලා කිරීමට උත්සාහ ගන්නා බවකි.
වතු කම්කරුවන්ගේ වැටුප් මදිකම නිසා මේ වන විට කම්කරුවන් බහුතරයක් රැකියාව හැර ගොස් සිටින බව සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. වර්ෂ 2005 වන විට ලංකාවේ වතු කම්කරුවන් ලක්ෂ පහක් පමණ සිටියද වර්ෂ 2019 වන විට එම ප්‍රමාණය එක් ලක්ෂ තිස්පන් දහස දක්වා අඩු වී ඇති බවද ඒ මහතා කියයි.

කර්මාන්තය අලුත් නොවීම, යටිතල පහසුකම් දුර්වල වීම, ගේදොර, ජලය, විදුලිය, අධ්‍යාපනය හා සෞඛ්‍ය කටයුතු අවම වීම යනාදිය අතර වැටුප මදිකම නිසා ද කම්කරුවෝ වෙනස් වෘත්තීන් වෙත යොමු වී සිටිති. එම හේතුවෙන් මේ වන විට ද කම්කරුවන් ඉවත්ව ගොස් සිටින බැවින් ඉදිරියේදී වතු කම්කරුවන් මදිකම ප්‍රබල ගැටලුවක් වන බවද හෙතෙම කියා සිටියේය.

දැනට සේවයේ නියුතු වතු කම්කරුවන් 135,000න් වැඩ කරන වයසේ පසුවන්නේ 35%ක් පමණය. සෙසු පිරිස වයෝවෘද්ධ අය වෙති. 

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2014 වසරේ නිකුත් කළ වාර්තාවකි. ඉන් සඳහන් වන්නේ හතර දෙනකුගෙන් යුත් වතු කම්කරු පවුලකට මාසයක් ජීවත් වීම සඳහා රු. 29,779ක් අවශ්‍ය බවය. දෛනික වැටුප ලබන ඔවුන්ගේ සේවාමුරය මසකට දින 25කි. ඒ අනුව ඔවුන්ගේ දෛනික වැටුප රු. 1192ක් විය යුතුය. එවකට 2015 වර්ෂයේදී දෛනික වැටුප රු. 1000/-ක් කරන ලෙස ඉල්ලා තිබුණේ දෛනික වැටුපෙන් රු. 192/-ක් පසෙක තබාය. රුපියල් දහසක් වැටුප වැඩිකර ගැනීමේ අරගලයට මේ වන විට වසර හයක් ගත වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූයේ ද එම කාලයේදීය. එතුමා වතු කම්කරුවන් හමුවේ කියා තිබුණේද තමා බලයට පත් කරන ලෙසත්, අනතුරුව කම්කරු වැටුප රු. 1000/- දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවත්ය. අනතුරුව මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව පිහිටවූ යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහතා තලවකැලේ පැවති ජනහමුවකදී පවසා තිබුණේ ද කම්කරු වැටුප රු. 1000/- ලබාදෙන බවය. එහෙත් වසර පහක ඇවෑමෙන් ආණ්ඩුවට බලය අහිමි වූ අතර කම්කරුවන්ට වූ පොරොන්දුව ඉටු වූයේ නැත.

අනතුරුව 2019 වසරේ ජනපති අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරුවන්ගේ සහාය ඉල්ලා සිටියේ රු. 1000/-කින් වැටුප වැඩි කරන බව කියමින් බව ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. පසුව පිහිටවූ 2020 නව ආණ්ඩුව විසින් ද ඉහත ප්‍රකාශය සිදු කළේය. ඊට මත්තෙන් ජනපති සටනට ආ සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණේ කම්කර වැටුප රු. 1500/-ක් බවට පත් කරන බවකි. ඔහු මැතිවරණයෙන් පරාජය වීම නිසා කම්කරුවෝ එම ප්‍රකාශය මායිම් නොකළහ

මේ අතර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ප්‍රශ්නයක් නගා සිටියේය. ඒ පෙර කී පොරොන්දු වූ රු. 1000/- පිළිබඳවය. පිළිතුරු දීමට අමාත්‍යවරයා ඉදිරිපත් වන්නට මත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැගී සිට කියා ඇත්තේ 2021 මාර්තු පළවැනිදා සිට මුදල ලබාදෙන බවය.

මේ ආකාරයට වැවිලි සමාගම්වල සම්බන්ධයකින් තොරව ආණ්ඩුව විසින් රුපියල් දහස ලබාදෙන බව කියා ඇතැයි ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි. මේ වන විට කම්කරුවකුගේ දෛනික වැටුප රු. 750/-කි. එබැවින් වැඩි කළ යුත්තේ රු. 250/-කි. මෙවර අයවැය මගින් කම්කරු වැටුප වැඩි කරනු ලබන බව දක්වා ඇතත් එය කෙසේද යන්න සඳහන්ව නැති බවට සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් ජේ.එම්.එල්. ප්‍රේමරත්න මහතා චෝදනා කරයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ මෙය ද මුළාවක් බවය.

දැනට අදාළ පාර්ශ්ව වැවිලි සමාගම් සමඟ ද සාකච්ඡා කරමින් සිටියි. ඊට තවමත් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. සාමූහික ගිවිසුම අනුව ඉදිරියේදී සලකා බලන බවට ඔවුහු ප්‍රකාශ කරති. මේ නිසා සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්වරයා පවසන්නේ ආණ්ඩුව මගින් වැඩි කරන බව කී වැටුප පිළිබඳ කතාව දැන් වැවිලි සමාගම් දෙසට පාස් කරන බවය

කෙසේ හෝ කම්කරුවන්ගේ පැමිණීමේ දීමනාව 75%ක් ලෙස දිනකට රු. 150/-ක් හා දෛනික ඉලක්ක සැපිරීම සඳහා තවත් රු. 150/-ක මුදලක් වශයෙන් එකතු කර රු. 1050/-ක් ගෙවීමට යෝජනා කර ඇත. මේ අතර කම්කරු අමාත්‍යවරයා කලාපීය වැවිලි සමාගම් (RPCS) විසින් දිනකට රු. 1108ක කම්කරු වැටුපක් ගෙවීම සඳහා සංශෝධිත වැටුප් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මූලික වැටුප රු. 725/-, කොටස් මිල පූරකය රු. 50/-, සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල රු. 108/-ක් හා පැමිණීමේ හා නිෂ්පාදන දිරිදීමනාව රු. 225/-ක් වශයෙන් නව යෝජනාවේ සඳහන්ය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර