2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

අන්තිම මොහොතේ නැංගුරම් දැමූ ජැටියේ ගිවිසුම

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

කොවිඩ්-19 පරයා නැගෙනහිර පර්යන්තය රටේ මාතෘකාව බවට ද උණුසුම් සංවාදය බවට ද පත් වී ඇත. එක අතෙකින් නැගෙනහිර පර්යන්තය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් එළැඹ ඇති අතර තව අතෙකින් එය දේශපාලන අර්බුදයක් කරා තල්ලු කිරීමට පිරිසක් වෑයම් කරමින් සිටිති. කොළඹ වරායෙහි නැගෙනහිර ජැටියෙහි වරාය අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන සේවා කටයුතුවලින් 49ක් ඉන්දියාවේ අදා‌නි සමාගම වෙත පවරා ඉතිරි 51ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු  කරගෙන වරාය අධිකාරිය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් හෙවත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාව මුල්කරගෙන උද්ගත වී ඇති දේශපාලන අර්බුදයයි.  

කොළඹ වරායේ ප‍්‍රධාන වශයෙන් කොටස් 2 කි. ගැඹුරින් මීටර් 14.25ක් පමණ වන පැරණි වරාය සහ මහින්ද රාජපක්ෂ රජය මගින් ඉදි කරන ලද ගැඹුර මීටර් 18ක් පමණ වන නව වරායයි. පැරණි වරායට, කුඩා නැව් පමණක් ගෙන ආ හැකි අතර නවතම තත්ත්වය අනුව ලෝකයේ කුඩා නැව් වෙළෙඳාමෙන් ඉවත්ව යමින් පවතින නිසා තව අවුරුදු 5 - 6 යන විට පැරණි වරාය අවම ප‍්‍රයෝජනයක් සහිත තැනක් වනු ඇත.

නව වරායේ ඇති ගැඹුර නිසා විශාල නැව් ඒ තුළට පැමිණිය හැකි බැවින් එහි ආර්ථික වටිනාකම ඉතා ඉහළය. මුහුදු භාණ්ඩ හා සේවා වෙළෙඳාමේ කොළඹ නව වරායට ඇති ඉල්ලුම ඉතා ඉහළය. එහි පර්යන්ත 3ක් ඉදි කළ හැකි අතර දැනටමත් දකුණු පර්යන්තය චීන සමාගමකට 85ක් ලබා දී එහි උපරිම ධාරිතාවයෙන් ක‍්‍රියාත්මක වේ. බටහිර පර්යන්තය තවම සාදා නැත. මේ නිසා නැගෙනහිර පර්යන්තය (Eastern Container Terminal - ECT) ඉක්මනින් සාදා නිම කර උපරිම ධාරිතාවට පත් කිරීම ඉතා වැදගත්ය.

නැගෙනහිර පර්යන්තය පිළිබඳ අර්බුදය මතුවන්නේ ප්‍රධාන හේතු සාධක දෙකක් නිසාය. පළමු සාධකය වන්නේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ කුප්‍රකට සමාගමකට පවරන්නේ යැයි මතයක් හා විශ්වාසයක් පැතිර යෑමය. දෙවැනි සාධකය වන්නේ යහපාලන ආණ්ඩුව සේම රාජපක්ෂ ආණ්ඩුවද ජාතික සම්පත් බදු දෙන්නේ යැයි මතයක් ප්‍රචලිත කිරීමය. ආණ්ඩුව පැත්තෙන් බැලූ කල යථෝක්ත මතවාද දෙකම වැරැදිය. ආණ්ඩුව නැගෙනහිර පර්යන්තය පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගෙන නැති අතර ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කර නැත. එහෙත් වරාය දියුණු කිරීමේ වුවමනාව ආණ්ඩුවට තිබේ. ඒ සඳහා විවිධ ආර්ථික උපායමාර්ග සෙවීමට ද ආණ්ඩුව උත්සුක වී ඇත. එය සාධනීය ප්‍රවණතාවකි. ඒ අනුව විදේශීය ආයෝජන ඔස්සේ නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම වත්මන් ආණ්ඩුවේ එක් සැලසුමකි.

කෙසේ වෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබාදීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව පසුගිය සතියේ යළිත් විරෝධතා ව්‍යාපාරයක් ඇරඹීය. එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබූ පසුබිමක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට පත් කළේය. එම ප්‍රකාශය අනුව 02.01 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුව හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට බාර නොදෙන බවයි. එය 100ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කරුණුවලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100ක් වරාය අධිකාරිය යටතේ  ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත්කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය. ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය පසුගිය 2 වැනිදා සිට අත්හිටුවීය.

මෙම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසය. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තම වසර 50ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසදා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවත්ය.
ඒ අනුව මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පූර්ණ හිමිකාරීත්වය සහිත බහාලුම් පර්යන්තයක් ලෙස මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය (02) පැවැති සතියේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ  මාධ්‍ය හමුවේදී මේ බව සදහන් කෙරුණි. 

කොළඹ වරාය මෙම කලාපයේ තරගකාරී වරායක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් හා ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින් ඉන්දීය රජය සහ ජපාන රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් වශයෙන් සංවර්ධනය කර ක්‍රියාත්මක කර වසර 35කින් ආපසු බාරදීමේ පදනම මත කොළඹ දකුණු වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද්දේ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාය. කොළඹ දකුණු වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනයට අදාළව ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. එම ගිවිසුමේ විධිවිධාන අනුව, ඉන්දීය ආයෝජකයකු විසින් ඉදිරිපත් කරන ලද, ආයෝජන යෝජනාවක් ඇගයීම පිණිස සාකච්ජා සම්මුති කමිටුවක් පත් කිරීමට අනුමැතිය දෙනු ලැ‍බීය.
ඒ ඉකුත් වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින අමාත්‍ය මණ්ඩල රුස්වීමේදීය. එම සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නි‍ර්දේශ පදනම් කරගෙන වරාය හා නාවික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඉතාම යහපත් තීන්දුවක් ගත්තා

ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව දිගු කලක් තිස්සේ ඇදෙමින් තිබූ ගැටලු සහගත සංවාදය (01)  කැබිනට් මණ්ඩලය ගනු ලැබූ ඉතාමත් යහපත් තීන්දුවකින් අවසන් කෙරුණා. විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාව අනුව, කොළඹ වරායේ ඉතාමත් වැදගත් පර්යන්තය වූ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම 100෴ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. උපායමාර්ගික වශයෙන් වැදගත්, වැඩි ගැඹුරක් සහිත පර්යන්තය නැගෙනහිර පර්යන්තයයි. ඒ වගේම තව වසර කිහිපයකින් ඊට යාබදව ඇති ජෝන් කීල්ස් සමාගම සතු SAGT පර්යන්තය ද වරාය අධිකාරිය සතුවන විට එම පර්යන්ත දෙකම පාවිච්චි කරලා ප්‍රතිඅපනයනය එසැණින්ම කිරීමේ හැකියාව ලැබෙන්නේ ද නැගෙනහිර පර්යන්තය හිමිවන පාර්ශ්වයටයි.

අපේ ආණ්ඩුව කවදාවත් රටේ සම්පත් විකුණන්නෙ නෑ

වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර එය වරාය අධිකාරිය යටතේ පාලනය කරගෙන යාම සදහා මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවෙලා තියෙනවා. ඒ වගේම බොහෝ විපක්ෂයේ මන්ත්‍රීන් කියා සිටියා මෙය ඉන්දියාවේ සමාගමකට ලබා දෙන බව. නමුත් අපේ ආණ්ඩුව කවදාවත් රටේ සම්පත් විකුණන්නේ නැහැ. පසුගිය සමයේ තමයි රටේ දේවල් පිටරටවලට විකිණුවේ. අපි ක්‍රියාත්මක කරන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළයි.

මේ ජයග්‍රහණය මුළු රටටමයි

වරාය නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුණු ආකාරයට වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු වරාය අධිකාරියටම පවරා තියෙනවා. ඒ අනුව අපි පසුගිය සතියේ සිට කරගෙන ආ අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය නවතා තිබෙනවා. මෙය වරාය වෘත්තීය සමිති ලැබූ ජයග්‍රහණයට වඩා රට ලැබූ ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්. වරාය නැගෙනහිර ජැටිය වගේම වරාය බටහිර ජැටියත් වෙන රටවලට බදු දෙනවට අපි එකඟ වන්නේ නැහැ.  නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය සියලු දේ සොයා දෙන්න අපි සූදානම්.


සටහන: හසිත් අංජන 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03