2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ලෝකය ආපස්සට හරවන එන්නත් භීතිකාව

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51

සුද්දා රට ඇල්ලූ කාලේ අද වාගේම මේ රටේ භයානක ලෝක වසංගතයක් පැතිරී තිබුණි. මේ වසංගතය සමාජයේ සෑම ස්ථරයකම මිනිසුන් බිලිගත් බෙහෙත් නැති මාරකයකි. කොටින්ම එදා රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් වසංගතය බෝවී ස්වභාවිකව සුව වී තිබුණද මුහුණ පුරා වසංගතයේ සලකුණු ලප කැළල් දක්නට ලැබුණි. රජතුමා එසේ ගැලවුණත් හුදී ජනයාට තිබූ එකම තුරුම්පුව වූයේ රෝගය වැළඳුන තැනැත්තා තනිකොට අත්හැර දැමීමයි. ගම් පිටින් පාළු වී ගිය මේ යුගයේ ඉහළම පෙළේ ප්‍රභූවරියක වූ ඇල්ලේපොළ කුමාරිහාමිටද මේ වසංගතය නිසා මහපාරට ඇද වැටී තට්ට තනියම පුලන්නියක සේ මියයන්නට සිදුවූ බව කියයි. මේ වසංගතය දැන් එන්නත්කරණය නිසා ලොවින් තුරන් කර ඇති වසූරියයි‍.

එදා සුද්දෝ පළමු වතාවට තමන්ගේ රටේ සොයාගත් වසූරිය එන්නත්කරණ වැඩපිළිවෙළ ලංකාවටද හඳුන්වා දෙන්නට කටයුතු කළෝය. එවිට රට තුළ ඒ ගැන මහා භීතිකාවක් පැතිර ගියේය‍. සුද්දා අත් විදිනවාට බියේ ගම්වැසියෝ බුරුතු පිටින් අඹුදරුවන්ද රැගෙන කැළෑ වැදුණාහ‍. මේ භීතිකාව නිසා ලංකාවේ එන්නත්කරණයට ජන ආකර්ෂණය ලබාදෙන්නට ඉදිරිපත්වූයේ ඒ කාලේ සිටි විප්ලවීය අදහස් දැරූ ජන ප්‍රධානියෙකි. ඒ කැප්පෙටිපොළ මහ දිසාවේය. කැප්පෙටිපොළ වසූරිය එන්නත තමන්ට  විදින්නට ඉඩදීමෙන් රටට ආදර්ශයක් ලබාදී රටවැසියන් තුළ වූ භීතිකාව තුරන් කර දැමුවේය. ලංකාවේ එන්නත්කරණ නීති රීති සහ අණපනත් සැකසුණේ ඉන් කලක් ගතවූ පසුවය. එදා සිට මේ එන්නතකරණ වැඩපිළිවෙළ කෙතරම් සාර්ථක වූයේද යත් ලංකාව දැන් ඒ සම්බන්ධයෙන් ලොව සම්භාවනාවට ප්‍රාප්ත වූ ආදර්ශවත් රටකි. වසූරිය ඇතුළු රෝග ගණනාවකින් ආරක්ෂාව ලබාගත් රටකි.

නමුත් එදා සුද්දාගේ කාලේ මෙන්ම මෙදා කොවිඩ්19 නව වසංගතය කාලේද අලුතෙන් පැමිණ ඇති එන්නත් පිළිබඳ අනවශ්‍ය භීතිකාවක් ලෝකය පුරා මෙන්ම මෙරට තුළද පැතිර පවතී. මෙරටට ගෙන්වූ ඔක්ස්ෆර්ඩ් කොවිෂිල්ඩ් එන්නත විදීමෙන් පසු සමහර පුද්ගලයන් වෙතින් උණ, ඇඟපත රුදාව, හිසරදය බඳු එන්නත සක්‍රිය වන බවට සාධක මතුවෙද්දී රටේ සමහරු මේ එන්නත සහ අනෙක් කොවිඩ් එන්නත් දෙස සැකසංකා සහිතව බලන්නට පෙළඹුණහ. එන්නත් භීතිකාවේ අළුයට සැඟව තිබූ පුපුරු යළි දිදුලන්නට විය.

ලෝකයේ එන්නත්කරණ  විරෝධය ගැන අලුත්ම වාර්තාව ආවේ අමෙරිකාවෙනි. එරට විශාලතම සමූහ එන්නත් මධ්‍යස්ථානය පිහිටුවා තිබූ ලොස් ඇන්ජලීස් නුවර ඩොඩ්ජර් ගෘහස්ත ක්‍රිඩාංගනය වැටලීමට එන්නත් විරෝධීන් පෙළගැසීමත් සමගය. මේ විරෝධතා වැටලීම නිසා එන්නත්කරණ වැඩසටහන කල්දැමීමට බලධාරීන්ට සිදුවූ අතර තත්ත්වය පාලනයට LAPD පොලිස් නිලධාරීන් කැඳවීමටද සිදුවිය. මේ විරෝධතා මතුව එන්නේ ලොස් ඇන්ජලීස් නුවරුන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් සිටියදීය. එසේම අලුත් ලන්ඩන් වෛරස් මාදිලිය B.1.1.7 පැතිර ගොස් තිබියදීය.

ලොවපුරා මෙවන් එන්නත් විරෝධයන් වරින්වර පැනනගින්නේ එන්නත් ලොවට හඳුන්වා දුන් කාලයේ සිටය. එහි සම්භවය 1763 වසරේ ප්‍රංශයේදී සිදු වූ බවට වාර්තා තිබේ. විවිධ හේතු නිසා මිනිස්සු එන්නත් විරෝධීහු වෙති. මින් එක් ප්‍රධානතම කාරණයක් වන්නේ මේ එන්නත්වල ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය පිළිබඳව මේ ඇත්තන්ගේ සිත් තුළ කුකුසක් තිබීමයි. මීට අමතරව ඒවායේ සාර්ථකත්වය පිළිබඳවද ඔවුන් තුළ විවේචන පවතී. මේ කාරණාවලට අමතරව මානව හිංසාව, ශාරීරික පීඩා මෙන්ම සොබාදහම ඉක්මවා යාමත් ඔවුන් එන්නත් කිරීමට විරුද්ධ වීමට හේතු වශයෙන් ඉදිරිපත් කරති. තවත් සමහරෙක් මින් වැළකෙන්නේ විවිධාකාරයේ විශ්වාසයන් හා ආගමික මත නිසාය. ඔවුනට මෙම ක්‍රියාවලිය මෙන්ම, එන්නත් නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මෙන්ම පර් යේෂණ ක්‍රමවේද පිළිබඳවද ගැටලු තිබේ. දැන් සමාජ ජාල ඔස්සේද රුල්ලක් සේ පැතිර යන මේ විරෝධය හේතුවෙන් අමාරුවේ වැටෙන්නේද තමන්ම බව මේ අය පිළිගන්නේ නැත.

මේ තරම් දියුණු ලෝකයෙත් සමහරු වර්තමාන ලෝකයෙහි අත්‍යවශ්‍ය යැයි සැලකෙන එන්නත් පවා නොගෙන සිටින අතර, සිය දරුවන්ටත් ඒවා ලබාදීමෙන් වළකින අවස්ථා දකින්නට හැකිය. රුබෙල්ලා එන්නත, පෝලියෝ සහ  ත්‍රිත්ව එන්නත වැනි අත්‍යවශ්‍ය එන්නත් පවා දරුවන්ට ලබානොදීම නිසා සමාජ ගැටලු මතුවූ අවස්ථාද නැතිවාම නොවේ. එබඳු එක් නරක ආදර්ශයක් හැටියට මෙතෙක් පාලනයකට ලක්ව තිබූ සරම්ප නැවත හිස එසැවීම දක්වන්නට හැකිය. පසුගිය වසර කිහිපය තුළ ලොවපුරා සරම්ප වැළඳීමේ සිද්ධීන්වල 30‍%ක හදිසි වර්ධනයක් දක්නට ලැබුණි. 2000 වසරේදී ඇමෙරිකාවෙන් තුරන් කරනු ලැබුයේ යැයි සැලකුණු එය 2013, 2014 හා 2015 යන වසරවල නැවතත් වසංගත තත්ත්වයෙන් එහි පැතිරී ගියේය. මෑතක සිට එක්සත් ජනපදය පුරාද පැතිර යමින් ඇති සරම්ප වසංගතයද මෙයට  ආසන්නතම හොඳම උදාහරණයකි. මේ ගැන සොයා බැලීමේදී හෙළිවූයේ මීට ප්‍රධානතම හේතුව ඊට අදාළ එන්නත් එම රෝගය වැළඳුණු පුද්ගලයින්ගේ ශරීරගත නොවී තිබීමය. එනම් ඔවුන් එන්නතකරණය මඟහැර සිටීමය. විද්වතුන් අනතුරු අඟවන්නේ මේ ප්‍රවණතාවය ප්‍රබලව නැගී ඒම සිදුවුවහොත් අද වනවිට මර්දනය කර ඇති ඇතැම් මාරාන්තික රෝගාබාධ පවා නැවත හිස එසවිය හැකි මට්ටමේ ලෝක සෞඛ්‍ය ගැටලුවක්  අලුතෙන් නිර්මාණය වනු ඇති බවටය.

ලොව බොහෝ භයානක රෝගාබාධවලට එරෙහිව වර්තමානය වනවිට සාර්ථක එන්නත් නිපදවා තිබෙන අතර, ඒවායින් සමහරක් මේ නිසා සදහටම ලොවෙන් තුරන් වී තිබේ. තවත් සමහරක් පාලනය වී තිබෙන්නේ නිරතුරු දරුවන්ට එන්නත් ලබාදීම සිදුවන නිසාය. මේ එන්නත් කිරීම් නිසා වසරකට ලොවපුරා මිලියන 2-3 වැනි ප්‍රමාණයක ජීවිත ආරක්ෂා වෙන බව නොරහසකි.

අතීත සටහන් පරීක්ෂාවේදී ඇත්තටම එන්නත් කිරීම නිසා මිනිසුන් අමාරුවේ වැටුණු අවස්ථා හමුවන්නේ කලාතුරකිනි. 1955 වසරේදී කැලිෆෝනියාවේ එක්තරා විද්‍යාගාරයක නිපදවූ පෝලියෝ එන්නතක අඩපණ කරන ලද රෝගකාරකය වෙනුවට සජීවී රෝගකාරකය අන්තර්ගතව තිබුණි. මේ නිසා මරණ කිහිපයක්ද සිදු වූ බැව් ප්‍රකාශ විය. එමෙන්ම 1974 වසරේදී එංගලන්තයේ රෝහලක ත්‍රිත්ව එන්නත ලබාදීමෙන් පසු, එය ලද දරුවන්ට විවිධ සංකූලතා ඇති බැව් වාර්තා විය. මීට අමතරව 1998 වසරේදී එන්නතක තිබූ රසදිය අඩංගු සංඝටකයක් නිසා පුද්ගලයෙක් මියයාමේ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇත. කෙසේ නමුත් වෛද්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වන බැවින් වර්තමානය වනවිට එවැනි අතපසුවීම් පවා අවම වී තිබෙන බව පිළිගත යුතුය. මේ නිසා වර්තමානයේ එන්නත්කරණයට බියවීම හෝ එය මඟහැර යාම යනු ලෝකය ආපස්සට හැරවීමට උත්සාහ දැරීමකි. ගල් යුගයට නැවත යාමකි. දැන් අප වෙත මේ වසංගත අවස්ථාවේ එයින් දිවි ගලවා ගැනීමට ලැබී ඇති හොඳම සහ  ආසන්නතම ගැලවුම්කාරයා වී ඇත්තේ එන්නත්කරණයයි. හැබැයි ඒ වසංගතයකදී අනුගමනය කළ යුතු පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ද භාවිතාකරන අතරමය.

සාමාන්‍යයෙන් ඕනෑම එන්තක් විදීමේදී විවිධ සංකූලතා මතුවීම ස්වභාවිකය. එබඳු පොදු සංකූලතා සහ ඒවායේදී ගතයුතු ආරක්ෂණ පියවර පිළිබඳව කලින් දැනුවත්ව සිටීම එන්නත් පිළිබඳ බොරු භීතියකට යටත්ව එය මගහැර සිටීමට වඩා ඥානාන්විතය. එන්නත්කරණය හා ඒ ආශ්‍රිතව මතුවිය හැකි ගැටලු ගැන උපදෙස් ලබාදෙන ප්‍රතිශක්තීකරණය පිළිබඳ අත්පොතට අනුව එන්නතක් නිසා ඇතිවිය හැකි සංකූලතා මෙබඳුය.

එන්නතේ සංඝටකයනට ආවේණික ගුණාංග නිසා ඇතිවන ප‍්‍රතික‍්‍රියා, එන්නතේ ගුණාත්මකභාවයේ අඩුපාඩු නිසා ඇතිවන ප‍්‍රතික්‍රියා, ප්‍රතිශක්තිකරණය, එන්නත් ලබාදෙන ක‍්‍රියාවලියේ වැරදි, අඩුපාඩු සම්බන්ධ ප‍්‍රතික‍්‍රියා, ආබාධ,  සමගාමී වෙනත් රෝගී තත්ත්වයන් නිසා (අහඹු ලෙස සිදුවන) සිදුවීම්, එන්නත්කරණය හා සම්බන්ධ බිය  සම්බන්ධ ප‍්‍රතික‍්‍රියා ලෙසට මේවා වෙන්කර ගත හැකිව තිබේ. මෑතකදී කොවිෂීල්ඩ් ලබාගත් ඇතමුන් කෙරෙන්ද වාර්තාවූ අන්දමට එන්නත ලබාදුන් ස්ථානයේ ඇතිවන ඉදිමුම රතුවීම සහ කැක්කුම මීට අමතරව උණ ගැනීම, වමනය, පාචනය, මළානික බව   එසේ ඇතිවිය හැකි සුලබ, සුළු ප්‍රතික්‍රියාවන්ය.

තවද ඕනෑම වර්ගයක නික්ෂේපණයක් ලබාදීමේදී එම නික්ෂේපණයට දක්වන බිය නිසා හෝ එම නික්ෂේපණය ලබාදීමේදී ඇතිවන වේදනාව නිසා නික්ෂේපණය ලබාගන්නා පුද්ගලයාට ක්ලාන්තය වැනි ලක්ෂණ ඇති විය හැකිය. එන්නතකින් පසුව වුවද එන්නතට දක්වන බිය නිසා හෝ වේදනාව නිසා මෙවැනි ලක්ෂණ ඇතිවිය හැකිය.

මීට අමතරව ඉතාමත් කලාතුරකින් වාර්තාවන තීව්‍ර අතුරුආබාධ තත්ත්වයක්ද තිබේ. එන්නතක් ලබාදීමෙන් පසු ඇතිවිය හැකි එම ඉතා තීව‍්‍ර අතුරු ආබාධය ලෙස ඇනෆිලැක්සිස් හඳුන්වා දිය හැකිය. එන්නත්ලාභියා එන්නතට හෝ එන්නතෙහි අඩංගු සංඝටකයකට හෝ දක්වන අසාත්මිකතාව හේතු කොටගෙන ඇනෆිලැක්සිස් තත්ත්වය ඇතිවිය හැකිය. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් හෝ ලබාදීමෙන් පසුව ඇනෆිලැක්සිස් ඇතිවිය හැකි නමුත් එවැනි තත්ත්වයක් ඇතිවන්නේ ඉතාම කලාතුරකිනි. සමහර එන්නත්, එන්නත්ලාභීන් මිලියනයකට පමණ ලබාදුන් විට එක් අයකුට මෙවැනි තත්ත්වයක් උදාවිය හැකිය.

බොහෝවිට ඇනෆිලැක්සිස් තත්ත්වය එන්නත ලබාදී ඉතා සුළු වේලාවකින් ඇතිවන නමුත් එන්නත ලබාදී පැය 12ක කාලයකට පසුව වුවද කලාතුරකින් මෙම තත්ත්වය ඇති විය හැකිය. කිසිම අවදානම් තත්ත්වයක් නොමැති පුද්ගලයකුට වුවද ජීවිතයේ ප‍්‍රථම වතාවට ඇනෆිලැක්සිස් ඇතිවිය හැකිය. ඇනෆිලැක්සිස් ඇති වූ පුද්ගලයකුට නිසි ප‍්‍රතිකාර ඉතා ඉක්මනින් ලබාදීම තුළින් සංකූලතා හා මරණය සිදුවීම වැළැක්විය හැකි බැවින් ඇනෆිලැක්සිස් තත්ත්වයක් ඇති වූ වහාම හඳුනාගැනීම ඉතා වැදගත් වේ.

මේ සඳහා දැන් ප්‍රතිකාර පවතින හෙයින් මෙයද බිය වියයුතු තත්ත්වයක් නොවේ. ළඟම සිටින වෙද්‍යවරයා හමුව වහාම රෝහලකට ගෙන යාමෙන් මේ තත්ත්වයෙන් වුවද වැළැකිය හැකිය. මේ නිසා දැනට එන්නත් සම්බන්ධයෙන් පැතිර යන සැකසංකා මුසු භීතිය පදනම් විරහිත වූවක් බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

 සුගත් පී. කුලතුංගආරච්චි