2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

කුඩුවික්ක-නඩු ඇහුව අණ දුන්න කිඹුලා ඇලේ ගුණා

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 376

1995 වසරේදී එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ පසුව පොලිස්පති වූ ආනන්ද රාජා මහතා ඒ මොහොතේ කොළඹ ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් ගැන සංගණනයක් සිදු කළේය. එහිදී කණ්ඩායම් 17ක් හඳුනාගත් අතර එම කණ්ඩායම් එවකට පමණක් නොව පාතාල ඉතිහාසයේම දරුණු කණ්ඩායම් විය. එම ලැයිස්තුව මෙසේය.

සොත්ති උපාලි කණ්ඩායම (ගෝතමී  පාර), ධම්මික චින්තක කල්ලිය (රාජගිරිය), තෙල්බාලා කල්ලිය  (ග්‍රෑන්ඩ්පාස්), කොලාට් කල්ලිය (වැල්ලම්පිටිය), කිඹුලාඇළ ගුණා කල්ලිය (මෝදර), නාවල නිහාල් කල්ලිය (නාවල), තඩිබාලා කල්ලිය (ලෝකුරු වීදිය), නවරාජා විජයපාලන් කල්ලිය (කොච්චිකඩේ), ජීබෝයි කල්ලිය (මැගසින්), අම්බිගාල් කල්ලිය (දෙමටගොඩ), ඕල්කට් කල්ලිය (මැගසින්), කුඩුනූර් කල්ලිය (මාලිගාවත්ත), පොට්ටනවුෆර් කල්ලිය (අලුත්කඩේ), සුදාකරන් කල්ලිය (කොස්ගස් හන්දිය), කෝට්ටේ සුනිල් කල්ලිය (පිටකෝට්ටේ), සිද්ධික් කල්ලිය (ආමර් වීදිය) වශයෙන් කණ්ඩායම් 17ක් ඒ අනුව හඳුනා ගැනිණි.

මේ සංගණනය කොට අදට අවුරුදු 21ක් වන අතර එම කල්ලිවල නායකයන් අතරින් ඉතුරු වී ඇත්තේ දෙදෙනකු පමණි. එක් අයෙක් මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වරදකරු වී සිටියි. ඒ පොට්ට නවුෆර්ය. අනෙකා 2006 දී පාතාල මෙහෙයුම්වලට බයෙන් ඉන්දියාවට පැනගත් සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇළ ගුණාය. අපේ කතාව දිගහැරෙන්නේ මේ සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලාඇළ ගුණා ගැනය.

80 මැද භාගයේදී මෙරටට කුඩු පැමිණීමත් සමඟ මෙරට කුඩු පාතාලය සඳහා වැඩියෙන්ම සම්බන්ධ වූයේ දෙමළ පාතාලයේ පිරිස්ය. ඒ අතර උඩින්ම නම සඳහන් වූ අයෙක් විය. ඔහු වරාය ක්‍රීඩාංගණය බාරව සිටි නමින් සින්නයියා ගුණසේකරන් නම් විය. සින්නයියා ගුණසේකරන් මෝදර ප්‍රදේශයේ කිඹුලාඇළ ආසන්නයේ ජීවත් වුණු අතර ඒ නිසාම ඔහුව එවකට හැඳින්වූයේ "කිඹුලාඇළ ගුණා" ලෙසය.  කොළඹ දේශපාලඥයන් මෙන්ම වතුකරයේ දේශපාලඥයන් සමඟ ද ඉතාම සමීප සබඳතා තිබුණු නිසාම ගුණා හැසිරුණේ රජ ලීලාවෙනි. මේ නිසාම මෝදර පොලීසියට පමණක් නොව ශ්‍රී ලංකා පොලීසියේ කිසිදු පොලිස් කණ්ඩායමකට වුවද කිඹුලාඇළ ප්‍රදේශය තහනම් කලාපයක් විය. ඒ කිඹුලාඇළ ගුණා විසින් පාතාල පොලීසියකුත් උසාවියකුත් පවත්වාගෙන යාම නිසාය. එම උසාවියත් පොලීසියත් පවත්වාගෙන ගිය තැන එවකට හඳුන්වනු ලැබුවේ "ලේ කාමරය" ලෙසය. එනිසා වරදකරු ද නිවැරදිකරු ද අදාළ නොවූ අතර කිඹුලාඇළ ගුණාට අනුව වරදක් යැයි සිතෙන ඕනෑම කෙනකුට පොලු පහරේ සිට වෙඩි පහර දක්වා දඬුවම් විඳින්නට සිදුවිය. එහෙත් පොලීසිය පැත්ත බැලුවේ නැත.

කිඹුලාඇළ ගුණාත්  ග්‍රෑන්ඩ්පාස් තෙල් බාලාත් අතර කල්ලි ගැටුමක් තිබූ අතර ඒ නිසාම දෙදෙනා මිනී මරා ගත්හ. විශේෂයෙන් වරායේ ටෙණ්ඩර්වලින් කප්පම් ගැනීම දෙදෙනාගේම අරමුණ වී තිබූ නිසා දෙදෙනාම ඒ වෙනුවෙන් නිතර ඇනකොටා ගත්හ. ඒ එළිපිටය.

කිඹුලාඇළ ගුණාගේ කුඩු ව්‍යාපාරයත්, පාතාල ක්‍රියාකාරකමුත් පොලීසියට හිසරදයක් විය. ඒ වෙන කිසි දෙයක් නිසා නොව පොලීසියේ රාජකාරිවලටද ගුණා අත දැමීම නිසාය. කෙසේ වෙතත් ඊට එරෙහිව පොලීසියට කතා කිරීමට අවසරයක් තිබුණේ නැත. එයට හේතුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකුගේ නියෝගයන්ය. එක් අයෙක් කොළඹ සිටි අයෙකි. ඔහු පසු කලෙක වෙඩි හුවමාරුවකදී ඝාතනය විය. අනෙක් පුද්ගලයා කඳුකරයේ දේශපාලනඥයෙකි. ඔහු ද මේ වන විට මිය ගොසිනි. මේ දෙදෙනාම පොලීසියට දන්වා තිබුණේ කිසිම හේතුවක් නිසා කිඹුලාඇළ ගුණාගේ ප්‍රදේශයට නොයන ලෙසය.

එහෙත් පොලීසියේ එවකට ජ්‍යෙෂ්ඨයකුගේ මෙහෙයවීම මත ඉතාම රහසිගත මෙහෙයුමක් කිඹුලාඇළ ප්‍රදේශයේ සිදු විය. එනම් මධ්‍යම රාත්‍රියේ එම ප්‍රදේශයට කඩා වැදුණු පොලිස් කණ්ඩායමක් ගුණාගේ සියල්ල කුඩු පට්ටම් කර දැමුවේ හිතා ගැනීමටත් නොහැකි වන ලෙසය. ඊට සහභාගි වූ පොලිස් නිලධාරීන් ඒ අතීතය මතක් කළේ මෙසේය. "ඒක තනිකරම වෙනම ලෝකයක්, උසාවියක්, පොලීසියක්, බිලියඩ් ගහන්න තැනක්, ජිම් එකක් සියල්ල තිබුණා. අපි විනාඩි පහෙන් ගිහින් ඒක කුඩු කළා. කුඩු කරලා අහසට වෙඩි තිබ්බා. තියලා බය කරලා ආවේ" යැයි ඔහු කීවේය.

ඒ සියල්ල වී වැඩි වෙලාවක් යන්නට වූයේ නැත. ඉහත කී දේශපාලනඥයන් දෙදෙනා ඇමැති ආරක්ෂක රථ සමගින් කිඹුලාඇළ ගුණා බලන්නට ගියහ. ගුණාගේ දුක ඇසූහ. කෙසේ වෙතත් මේ ප්‍රහාර පොලීසියෙන් සිදු කළ එකක් බව සියල්ලෝම දැන සිටියහ. මේ නිසා කොළඹ නියෝජ්‍ය පොලිස්පති වහාම එකී දේශපාලනඥයන් විසින් කිඹුලාඇළ ප්‍රදේශයට කැඳවා අවවාද කරනු ලැබීය. එනම් ආයේ මෙවැනි දෙයක් සිදු නොවිය යුතු බවත් කිසිම හේතුවක් නිසා පොලීසිය එම ප්‍රදේශයට ඇතුළත් නොවිය යුතු බවත් දන්වමිනි. එම සිද්ධියෙන් පසු ගුණා තව තවත් රජ විය. ඔහු කොළඹ කුඩු ව්‍යාපාරය ඉහළින් කරගෙන ගියේය.

මේ අතර එවකට එල්.ටී.ටී.ඊ සංවිධානය කොළඹ ප්‍රහාර සඳහා කොළඹ පාතාලයේ විශාල සහායක් ලබා ගත්තේය. මුදල් පමණක් නොව අවි ආයුධද එම ගනුදෙනුව වෙනුවෙන් ලබා දුන්නේය. විශේෂයෙන් පාතාලය ස්වයංක්‍රීය ගිනි භාවිත කරන්න පටන් ගත්තේ මේ ගනුදෙනුව හරහාය. මේ නිසා කොළඹ පාතාලයේ ඇතැම් අය මරාගෙන මැරෙන බෝම්බකරුවන් සඳහා නවාතැන් පහසුකම් ලබා දුන් අවස්ථාද එමටය.

කිඹුලා ඇළ ගුණාට එල්.ටී.ටී.ඊ චෝදනාව එල්ල වන්නේ මරාගෙන මැරෙන සිද්ධියක් නිසාය. එනම් 1999 වසරේ පැවති ජනාධිපතිවරණ සටනේදී අවසන් මහ රැලිය කොළඹ පුරහලේදී දෙසැම්බර් 19 වැනිදා රාත්‍රියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි. එම රුස්වීමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊය සූදානම් කර තිබූ අතර ඒ සඳහා සහභාගි වූයේ මරාගෙන මැරෙන කොටි කතක් වූ තමිල් සෙල්විය. තමිල් සෙල්විව පුරහල භූමියට රුගෙන ගියේ ක්‍රිෂ්ණා නැමති කොටි බුද්ධි අංශ සාමාජිකයාය. කෙසේ වෙතත් සෙල්වි සහ ක්‍රිෂ්ණා ජනාධිපති ආරක්ෂක අංශයේ පරීක්ෂාවකින් තොරව එම ස්ථානයට ඇතුළු වුණේ කොළඹ උතුර ජනතා පෙළපාලියත් සමඟය. එම පෙළපාලිය සූදානම් කර තිබුණේ කිඹුලාඇළ ගුණාය. පෙළපාළියේ කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ ඉහත කී කොළඹ දේශපාලනඥයාය. කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණෙන පිරිස පරීක්ෂා කරන ස්ථානයේදී ගුණාගේ පිරිස පරීක්ෂා කළේ නැත. ඒ එකී දේශපාලකයාගේ නියෝගය නිසාය. මේ නිසා සෙල්වි සහ ක්‍රිෂ්ණා ඇතුළට පැනගත්හ. එහෙත් මෙකී පිරිස ක්‍රීඩාංගණයට ඇතුළු වීම පිළිබඳ චෝදනා එල්ල වුණේ කිඹුලාඇළ ගුණාටය. ඒ ජනපති ඝාතන කුමන්ත්‍රණ යටතේය.
මේ චෝදනාව බරපතළ නිසා ගුණාට එතරම් ලෙහෙසි වූයේ නැත. කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනිය සමයේ ආණ්ඩුව 2001 දී වෙනස් වුණු අතර ඒ අවස්ථාවේ ගම්පහ ප්‍රදේශයේ නීතිය සමඟ තනතුරු දැරෑ දේශපාලනඥයකුගේ දකුණු අත බවට ගුණා පත් විය. ඒ පොලිස් චෝදනාවලින් මිදීම සඳහාය. මේ නිසාම රටේ නැති කොන්ත්‍රාත් සිදු කළ ගුණා තවත් ඝාතනයක් සිදු කළේය. එනම් ඔහු සමීපව සිටි ප්‍රබල දේශපාලකයාට අභියෝගයක් වූ ශ්‍රිලනිප පළාත් සභා මන්ත්‍රීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමය. එය  සිදු කරන ලද්දේ කොට ගාමිණී විසිනි. එම ඝාතනයෙන් පසුව ගුණා සුපුරුදු කුඩු රස්සාව සිදු කරගෙන සිටි අතර එහෙත් මහින්ද රාජපක්ෂ පාලනයෙන් ආරම්භ වූ පාතාල මර්දනය නිසා ගුණාත්, කොට ගාමිණිත් මුහුදු මාර්ගය ඔස්සේ තූත්තුකුඩියට පැන ගත්හ.

එසේ පැනගත් ගුණා කාලයක් තම සහෝදරියක ජීවත් වූ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය. එරට කාලයක් ජීවත් වූ ගුණා නැවත දකුණු ඉන්දියාවේ තුත්තුකුඩි ප්‍රදේශයේ ජීවත් වීම ආරම්භ කළේය. යහමින් කුඩු ව්‍යාපාරය මෙරට හා සිදු කිරීම නිසා ගුණාට සල්ලිවලින් අඩුපාඩුවක් නොවීය. කාලයත් සමඟ ගුණාකුලී වාහන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඒ හරහා විශාල පිරිසකට රුකියා ලබා දුන්නේය. මේ කෝටිපති ව්‍යාපාරිකයා සමඟ දකුණු ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ප්‍රබල සම්බන්ධතා තිබුණු බවත් ඒ අතර ජයලලිතා ජයරාම් ද සිටි බවත් සඳහන්ය.

ගුණා එක් වරක් වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඝාතනයට ද උත්සාහ ගත්තේය. ඒ පාතාල මර්දන කටයුතුවල ඒ මහතා යෙදී සිටි නිසාය. එනිසා ඔහු එක් වරක් මග රුක සිට ඝාතන සැලසුමක් ක්‍රියාත්මක කළේය. එහෙත් එය ප්‍රථමයෙන්ම කනවැකුණු නිසා ප්‍රියන්ත මහතාගේ ජීවිතය රුකිණි. ඊට අමතරව ගුණා විසින් පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් ඝාතන කුමන්ත්‍රණය සිදු කළ බවට ද කතාවක් පැතිර ගියේය. ඒ එවකට පොලීසියේ ලොක්කකුගේ කොන්ත්‍රාත්තුවක් හරහා බව කියවිණි. එම පොලිස් ලොක්කා පසු කලෙක ඉහළට පැමිණ අවසානයේ රුකියාවත් අහිමි කර ගනිමින් ගෙදර ගිය අයෙකි. කෙසේ වෙතත් ඒ කතාව 100%ක්ම ඇත්ත නොවුණත් එම නිලධාරියාත් ගුණාත් අතර මිත්‍රකමක් තිබිණි. ඒ ඉහත කී නීතියට සමීප ඇමැතිවරයා හරහාය. එම පක්ෂය වෙනුවෙන්ම කඩේ ගිය මේ පොලිස් නිලධාරියා ඇමැති හරහා ඔහු හඳුනාගත් බව සඳහන් විය. එම පොලිස් නිලධාරියා එවැනි කොන්ත්‍රාත් කිහිපයක්ම කුඩුකාරයන් සමඟ කළ අයකු බව ප්‍රසිද්ධය. හිටපු පොලිස්පතිවරයෙක් ද ඔහුගේ ලණු කා විඳෙව්වේය.

ගුණා ඉන්දියාවට වී ගෙවූ ජීවිතය සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක් විය. ඒ කුඩු ව්‍යාපාරය නිසාය. කුඩු සමඟ කිහිප වතාවක් ගුණා දකුණු ඉන්දියාවේ පොලීසියට කොටු වුවත් බලය නිසා බේරී ගියේය. ඒ 2008 වසරේදීය. එදා පටන් පසුගියදා අත්අඩංගුවට ගන්නා තෙක්ම ඔහු මෙරටට ධීවර බෝට්ටු හරහා කුඩු එවූ අයෙකි.

ගුණාගේ මේ වැඩ නිසා මැරුම් කෑ පිරිස අතර ඔහුගේ සහෝදරයෝ වන සුරේෂ් සහ විජය ද වෙති. එහෙත් ගුණා ජීවිතය බේරී පැනගත්තේ සුපුරුදු පාතාලයේ හැංගි හොරා සෙල්ලම පෙන්නමිනි.

කෙසේ වෙතත් ගුණා සමඟ තවත් අවශ්‍යම අයෙක් කොටු විය. ඒ බුම්මාය. නැතහොත් කවුරුත් හඳුන්වන කෙනඩිය. කෙනඩි යනු පසුගිය වසර කිහිපය තුළ කොන්ත්‍රාත් රුසක් සිදු කළ වෙඩික්කරුවෙකි. එල්.ටී.ටී.ඊ චාල්ස් ඇන්තනී බලකායට අනුයුක්තව කටයුතු කළ කෙනඩි එල්.ටී.ටී.ඊයෙන් ඉවත්ව එකතු වන්නේ දකුණේ පාතාලයටය. එතැන් සිට ඔහු කොන්ත්‍රාත් ඝාතන රුසක් කළේය. පොඩි ලැසී මනෝජ් මෙන්ඩිස් ඝාතනයට ගාල්ල බන්ධනාගාරය තුළ සිටින අවස්ථාවේ මෙන්ඩිස්ගේ කල්ලිය විසින් ලැසීට සයිනයිඩ් එන්නත් කිරීමේ කොන්ත්‍රාත්තුව බාර දෙන්නේ කෙනඩිටය. එහෙත් වැඩේ ගැස්සුණු අතර අවසානයේ ලැසීගේ කල්ලියේ ප්‍රධානියා වන කොස්ගොඩ සුජීට මෙය දන්වා පැරණි මිත්‍රකම අලුත් කර ගනිමින් කෙනඩි සුජී සමඟ එකතු විය.
ඇත්තෙන්ම කෙනඩි යනු ජම්පටාවීදියේ  145 විසූ පුකුඩු ඛන්නාගේ ඥාති පුතෙකි. පුකුඩු ඛන්නා යනු ගුණාගේ ගෝලයෙකි. පුකුඩු ඛන්නාට එල්.ටී.ටී.ඊ සබඳතා ගොඩනගා දෙන්නේ ද ගුණාය. බුම්මා හෙවත් කෙනඩි ද ජම්පටාවීදියේ උපන් අයකි. මාළු බිස්නස් කළ කෙනෙඩි 2002 වසරේ දී යාපනයට යන අතර ඉන් අනතුරුව චාල්ස් ඇන්තනී බලකායට සම්බන්ධ විය. පසුව යුද හමුදාවට බාරවන කෙනඩි බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොතේ කොස්ගොඩ සුජී සමඟ මිත්‍ර විය. එතැනින් පසු සුජීගේ කොන්ත්‍රාත් සිදු කරන අතර කෙනෙඩි කිඹුලාඇළ ගුණාගේත්, කංජිපාණි ඉම්රාන්ගෙත් ගැටුමට මැදිහත් වන්නේ මේ අතරතුරේදීය.

ගුණාගේ කුඩු වික්කේ පුකුඩු ඛන්නාය. කංජිපාණිගේ කුඩු වික්කේ කුඩු සෙල්විය. දෙදෙනාගේ මේ ගැටුම නිසා මේ වන විට 15 දෙනකු පමණ ඝාතනය වී හමාරය. පුකුඩු ඛන්නා 2015 ජූනි මාසයේදී කුඩු සෙල්විට ගෝලයකු ලවා පිහියෙන් ඇන්න ද ඝාතනය කරන්නට හැකිව නැත. පසුව පුකුඩු ඛන්නා මේ සඳහා යොදාගත්තේ කෙනඩිය. ඒ අනුව 2015 සැප්තැම්බර් 12 වැනිදා සෙල්විව ඝාතනය විය.

එතැනින් පසු සැඟවෙන කෙනඩි නැවත මතුවන්නේ විශේෂ කාර්ය බලකායට 2016 වසරේ කොටුවීමෙන් පසුවය. ඉන් අනතුරුව අවුරුදු දෙකක් බන්ධනාගාරයේ සිටින අතර කෙනෙඩිව එළියට ගන්නේ කොස්ගොඩ සුජී ඇප තබමිනි.

එළියට පැමිණි පසුව නැවතත් කෙනඩි කුඩු සෙල්විගේ කණ්ඩායම පසුපස පන්නන අතර එහි පළමු බිල්ල ගන්නට යන්නේ සෙල්විගේ සැමියා වන ගනේෂ්ට වෙඩි තබාය. එහෙත් වෙඩි වැදී ජීවිතයත් මරණයත් සමඟ සටන් වැද ජීවිතය බේරාගැනීමට ගනේෂ්ට හැකි විය. ඒ අතර සෙල්විගේ තවත් දෙදෙනෙක් ඝාතනය වූහ. ඒ අතර සෙල්විගේ ඥාති පුතෙක්ද සිටියේය. ඊට අමතර නාගරික මන්ත්‍රීවරයකු වන ක්‍රිෂ්ණා ඝාතන චෝදනාව ද කෙනඩිට එල්ල වී තිබුණි. එහෙත් නව රජය පත්වී නැවතත් පාතාල මර්දන ආරම්භය නිසා කෙනඩි බෝට්ටුවෙන් ඉන්දියාවට පැනගත් අතර අවසානයේ කෙනඩි නතර වන්නේ තමන්ගේ හොඳම ආරක්ෂකයා වූ කිඹුලාඇළ ගුණා ළඟය. ඒ අනුව ගුණා සමීපයේ කුඩු ව්‍යාපාරයේ නිරත වූ කෙනඩි ද මේ අවස්ථාවේ කොටු වී සිටියි. දැනගන්නට ඇති පරිදි ගුණාගේ පුතාගේ ගැටුමක් නිසාය. එනිසා ඇති වූ පැමිණිලි මත මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගත් බව කියති.

මෙරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ රතු නිවේදන නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බවය. එහෙත් කෙනඩිටත් ගුණාගේ පුත්‍රයාටත් රතු නිවේදන නැත. එසේ නම් රතු නිවේදන නැති අය නිවෙසකට පැන අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැත. එනිසා මෙය වෙනත් ගැටුමක් විය හැක. කෙසේ වෙතත් නීතිය හා සාමය බාර අමාත්‍ය සරත් වීරසේකර මහත පවසන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලින් මොවුන් ගෙන්වන බවය. එය සත්‍යයක් විය හැක. ගුණා ඇතුළු තිදෙනා එසේ ගත යුතුය. නැතිනම් එරටින් මෙරටට පිටුවහල් කළ යුතුය. ඒ නිසා ඉදිරියේ ගුණාගේ පැවැත්ම තීරණය වන්නේ දෙරට අතර ඇති දේශපාලන ගනුදෙනුව මතය. එතෙක් ගුණා එරට පොලීසියට කොටු වූ බව විතරක් අපි සිහියේ තබාගෙන සිටිමු.

I ගයාන් ගාල්ලගේ