2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

එන්නත්කරණය රට පුරා

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

2020 මාර්තු මස මෙරටින් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වීමත් සමඟ මෙරට ජීවත් වන සෑම පුද්ගලයකුගේම ජනජීවිතය යම් කලබලකාරී තත්ත්වයකට පත් විය. මුව ආවරණය කරමින්, මීටරය දුර පවත්වා ගනිමින්, නිතරම අත් සේදීමෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජීවත් වුණු ජනතාව මෙම වසංගතයෙන් බේරීමට ඖෂධයක් හෝ එන්නතක් මෙරටින් හෝ පිටරටින් ලැබෙන තුරු බලා සිටියහ. බොහෝ විදෙස් රටවල් කොවිඩ්-19 වසංගතය වෙනුවෙන් විවිධ ඖෂධ හා එන්නත් ක්‍රම අත්හදා බලද්දී දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වැඩි නෑදෑකමක් පෙන්වූ ශ්‍රී ලංකාවේ ඇතැම් දේශීය වෛද්‍යවරුන් සහ පාරම්පරික වෛද්‍යවරු ද මේ සඳහා විවිධ දේශීය බෙහෙත් අත්හදා බැලූහ. ඒවායින් ඇතැම් දෑ සමාජගත වුවද එම දේශීය පැණි සාර්ථක වූවාදැයි අදටත් සැක සහිතය.

කෙසේ වුවද විදෙස් රටවල් කිහිපයක් තමන් නිෂ්පාදනය කළ එන්නත් සාර්ථක වූ බවට විවිධ ඉඟි පළ කරද්දී එම එන්නත් ශ්‍රී ලාංකීය ජනතාවට ලැබෙන දිනයක් පිළිබඳව බොහෝ දෙනා බලා සිටියහ.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය එක්ව නිර්මාණය කළ, ඉන්දියාවේ (සීරම්) ආයතනයේ නිෂ්පාදිත (ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්) එන්නත ඉන්දීය රජය මගින් පසුගියදා මෙරටට ප්‍රදානය කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි කැපවීම හා උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙසය.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ මෙම එන්නත් (එයාර් ඉන්දියා) විශේෂ ගුවන් යානයකින් මෙරටට ගෙන එනු ලැබීය. එම එන්නත් තොගය පසුගිය ජනවාරි මස 28 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපොළේදී නිල වශයෙන් භාරගත්තේය.

ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිෂ්පාදිත මෙම එන්නත සාර්ථක එන්නතක් බවත්, එහි සංකූලතා අවම බවත් පර්යේෂණවලින් තහවුරු වී ඇත. මේ වන විට මෙම එන්නත ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාරය සහ සීෂෙල්ස් රාජ්‍යයේ ද භාවිතයට ගැනෙයි.

ඉන්දියාවෙන් මෙරටට ප්‍රදානය කළ එන්නත් ලක්ෂ පහෙන් මුල්ම එන්නත් මාත්‍රා ලබාදෙනු ලබන්නේ ප්‍රමුඛතා ලේඛනයට අනුවය. එහිදී මුල්ම එන්නත් මාත්‍රා ලබා දී ඇත්තේ කොවිඩ්-19 පාලනය සඳහා එක් වී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ පිරිස් වෙතය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනේ ආරම්භය සනිටුහන් වූයේ අංගොඩ අයි.ඩී.එච්. රෝහලේදීය. ඉන්දියාවෙන් ගෙන්වූ එන්නත් ලක්ෂ පහෙන් මුල්ම එන්නත් මාත්‍රාව එන්නත්කරණය කරන ලද්දේ අයි.ඩී.එච්. රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටය. ඒ ජනවාරි මස 29 වැනිදාය.

අයි.ඩී.එච්. රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල, දකුණ කොළඹ ශික්ෂණ රෝහල, කළුබෝවිල උතුරු කොළඹ ශික්ෂණ රෝහල, රාගම මුල්ලේරියා රෝහල සහ හෝමාගම මූලික රෝහල පළමු පියවරේ රෝහල් හයක් ලෙස නම්කොට එන්නත්කරණය සිදුවිය. එක් පුද්ගලයකුට එන්නත් මාත්‍රා දෙකක් ලබා දිය යුතුය. පළමු වරට අයි.ඩී.එච්. රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම මහතාට එන්නත්කරණය සිදුකර ඇති අතර ඉන් අනතුරැව එම රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී චම්පිකා ගීතිකා උඩුගමකෝරාළ මහත්මියටත්, පසුව රෝහල් කාර්ය මණ්ඩලයටත් එම එන්නත් ලබාදීමට පියවර ගැනිණි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත පිළිබඳව ඇතැමුන් අනියත බියක් ඇති කරගෙන සිටින අතර එමගින් සංකූලතා වැඩි වශයෙන් ඇතිවන බවට රාවයක් පැතිරවීමට ඇතැම්හු උත්සාහ කරමින් සිටිති. 

වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ජනතාව ආසාදිතයන් බවට පත් කළ කොවිඩ් වසංගතයට හොඳම විසඳුම එන්නත්කරණය බවද රටේ ජනතාවට ලැබී ඇති වටිනාම අවස්ථාව මෙය බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය එල්.ඒ. රණසිංහ මහතා පැවසීය. මෙම එන්නත පිළිබඳව අනියත බියක් හෝ සැකයක් තබාගැනීම අනවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

පළමු දිනයේ කොවිඩ් පාලනය කිරීම සඳහා පුරෝගාමීව කටයුතු කරන බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයක වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත්කරණය සිදු කළ අතර ඉන් පසුව බස්නාහිර පළාතෙන් පිට රෝහල් හා සෞඛ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයටත්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන්ටත් එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. මේ වන විටත් එම කාර්යය සිදුවෙමින් පවතින අතර ඉතා ඉක්මනින් මෙරට සියලුම ජනතාවට එන්නත ලබාදිය හැකිවන ලෙස මෙම වැඩසහන දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කොවිඩ් එන්නත ලබාදිය හැකි සියලු දෙනාට ඉතා ඉක්මනින් එය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත මාර්තු මස පළවැනිදා සිට ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. එමෙන්ම මෙම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ අනූවක් මිලදී ගැනීමට තීරණය කර ඇති බවද සඳහන් වේ.

මෙම එන්නත්කරණය ලබාගැනීම අනිවාර්ය නොවන අතර එය එන්නත් කිරීමට ප්‍රථම අදාළ පුද්ගලයා විසින් තම කැමැත්ත ලිඛිතව ලබා දිය යුතුය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත හැකි ඉක්මනින් පළමු අදියරේදීම අවදානම් කලාපවල ගුරු සේවයේ නිරත වන ගුරුවරුන්ට ද ලබාදීම සිදු කරන ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර් මණිවන්නන් මහතා ඉල්ලා සිටියි. අවදානම් කලාපවල සේවයේ නිරත වන ගුරුවරුන් නිරන්තරයෙන් සිසුන් හා සමීපව කටයුතු කරන අතර එම නිසා සිසුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයක පවතින බවත් එනිසා ගුරුවරුන්ට මෙම එන්නත්කරණය ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලීමක් කළේය.

ජීවිත අවදානම නොතකා ලංගම සේවකයන් ජනතාව ප්‍රවාහනය කිරීමේ කටයුත්තේ නිරන්තරයෙන් නිරත වන බැවින් මෙම කොවිඩ් එන්නත පළමු අදියරේදීම ලංගම සේවකයන්ට ද ලබා දෙන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි ජාලයට අනුව බෙදාහරින්නන්, අලෙවි නියෝජිතයන්, අලෙවි සහායකයන් විසි දහසක් පමණ සේවයේ යෙදන බවත්, ඔවුන් නිරන්තරයෙන් මහජනතාව සමඟ ගැටෙන පිරිසක් බැවින් එම සේවක පිරිසට ද මෙම එන්න ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුබ් පෙරේරා මහතා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කරයි.

බොහෝ පිරිසකගේ ඉල්ලීම් මත මේ වන විට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත්, ඉතා ඉක්මනින් තවත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ප්‍රමාණයක් නුදුරේදීම මිලදී ගන්නා බවත් රජය සඳහන් කරයි.
මීට අමතරව චීනය සහ රුසියාව ප්‍රදානය කරන ලද එන්නත් තොගයක් ද ඉදිරි දිනවලදී මෙරටට ලැබීමට නියමිතය.

 දිශානි ජයමාලි කරුණාරත්න