2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

සහල් මිලේ නූල් බෝලේ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 253

මේ වනවිට විවෘත වෙළෙඳ පොළේ සහල් මිල දිගින් දිගටම ඉහළ නගිමින් පවතී. අද ඇතැම් ප්‍රදේශවල සම්බා සහල් කිලෝව රුපියල් 120-130 දක්වා ඉහළ නැග ඇති අතර කැකුළු සහල්වල සිට සියලුම සහල් වර්ගවල මිල රුපියල් 100 ඉක්මවා ඇත. පසුගිය දිනවල සහල් මිල ගැසට්ටුවකින් පාලනය කරන විට කීරි සම්බා මිල පාලනය නොකිරීම නිසා එම සහල්වල මිල කිලෝව රුපියල් 150 දක්වා ඉහළ නැග තිබුණි. එයට පෙර කීරි සම්බා කිලෝවක සිල්ලර මිල රුපියල් 120 වියයුතු බවට ගැසට්ටුව මගින් පාලනය කර තිබුණි.

එහෙත් මේ වනවිට කීරි සම්බාවල තරමටම සාමාන්‍ය සම්බා සහල්වල මිල ඉහළ ගොස් ඇත. එයට හේතුව ලංකා සතොස මගින් පාලන මිලට අලෙවි කරන ආනයනික කීරි සම්බාවලට පාරිභෝගිකයන් රැචි නොකිරීමයි. එම කීරි සම්බාවලට වඩා සාමාන්‍ය සම්බාවලට පාරිභෝගිකයෝ රුචි කරති. මේ නිසා ඒවායේ ඉල්ලුම ඉහළ ගොස් ඇත. දැනට පවතින පාලන මිල වන්නේ කීරි සම්බා කිලෝව රුපියල් 125, සුදු - රතු කැකුළු සහල්වල උපරිම සිල්ලර මිල රුපියල් 85කි. කෙසේ වුවද මෙම මිල ගැසැට්ටුවට පමණක් සීමා වී ඇති අතර වෙළෙන්දෝ විවෘත වෙළෙඳපොළේ උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් විකුණති. මුල් දිනවල පාරිභෝගික සේවා අධිකාරිය වැඩිමිලට සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් වටලා නඩු පැවරුවද මේ වනවිට එම තත්ත්වය අඩුව ගොස් ඇත. සිල්ලර වෙළෙඳුන් පවසන්නේ තමන්ට තොග වෙළෙඳුන් සපයන සහල්වල මිල අනුව පාලන මිලට අලෙවි කළ නොහැකි බවය. ඒ හේතුව නිසා සමහර සිල්ලර වෙළෙඳුන් සහල් අලෙවි කිරීම නවතා තිබුණු නමුත් අද වනවිට යම් පමණකට වැඩි මිලට සහල් අලෙවි කෙරේ. අපේ රට සහලින් ස්වයංපෝෂිත වූයේ අද ඊයේ නොවේ. දැනට වසර ගණනකට පෙර අපේ සහල් පිටරට පැටවිය හැකි බවටද වගකිවයුත්තෝ උදම් ඇනූහ. එහෙත් දැන් සිද්ධ වන්නේ සහල් මිල පහළ දැමීමට යැයි සහල් ආනයනය කිරීමය. රට තුළ සහල් මිල කළමනාකරණය නොකර සහල් පිටරටින් ගෙන්වීම විසඳුමක් නොවේ.

මේ අතර ඉදිරි වර්ෂ 3ක් සඳහා වී මිලට ගැනීම සහ සහල් අලෙවි කිරීම පිළිබඳ නිශ්චිත මිලක් නියම කිරීමට ජීවන වියදම පිළිබඳ පත්කර ඇති ඇමැති අනුකාරක සභාව තීරණය කර ඇති බවට ප්‍රවෘත්තියක් වාර්තා විය. ඒ අනුව නාඩු සහ සම්බා වී කිලෝව පිළිවෙළින් රුපියල් 50 හා 52 බැගින් අලෙවි කළ යුතු යැයි තීරණය කර තිබේ. එසේම සහල් අලෙවි කිරීමේදී නාඩු කිලෝව රුපියල් 97ක් හා සම්බා කිලෝව රුපියල් 99 විය යුතු යැයි උපරිම සිල්ලර මිල නියම කර ඇත. කැකුළු සහල් සඳහා මිලක් නියම කර නැත. දිළිඳු ජනතාව වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ කැකුළු සහල්ය. සහල් මිල පාලනය කිරීමට රජය මෙයට වඩා මැදිහත් විය යුතු බවටද ඇමැති අනුකාරක සභාව තීරණය කර තිබේ.

මේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය පිළිගතහොත් යළිත් වරක් වී සහ සහල්වල උපරිම මිල සඳහන් ගැසට්ටුවක් එළිදැක්වීමට සිදුවේ. සහල් මිල පිළිබඳ පස්වතාවක් ගැසට් කර ඇති අතර මෙම හයවන ගැසට්ටුවෙන් හෝ පාරිභෝගිකයාට යම් සහනයක් සැලසුනහොත් අස්වැසිල්ලක් වනවා ඇත. 

මෙයට පෙර සහල් මිල ඉහළ ගිය විට මිල අඩු කිරීම සඳහා රජය සතුව ගබඩාවල තිබූ සහල් කිලෝ ලක්ෂ 2ක් වෙළෙඳපොළට මුදාහැර තිබුණි. ඒවා ස.තො.ස. සහ සුපිරි වෙළෙඳසල්වලින් අලෙවිකරන බවද ප්‍රකාශ විය. එහෙත් ස.තො.ස. සමහර වෙළෙඳසල්වලින් සහල් අලෙවි කිරීම සීමාකර තිබූ අතර සුපිරි වෙළෙඳසල්වල සහල් අලෙවි කිරීමේදී සහල්වලට අමතරව යම් මුදලකට සෙසු භාණ්ඩ මිලදී ගත යුතු යැයි නීති පනවා තිබුණු බව දැකගත හැකිවිය. ස.තො.ස. හා සුපිරි වෙළෙඳසල්වල පනවා තිබූ මෙම කොන්දේසි නිසා පාරිභෝගිකයාට තමාට අවශ්‍ය තරම් සහල් මිලදී ගත නොහැකි විය. සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කරන බවටද වෙළෙඳ ඇමැතිවරයාට පවසා සිටීමට සිදුවිය. කෙසේ වුවද සහල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වශයෙන් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ වෙළෙඳපොළට දැමීමට අවශ්‍ය තරම් සහල් තොග වී අලෙවි මණ්ඩලය සතුව නැතිවීමය. මේ කන්නයේද වී අලෙවි මණ්ඩලය මිලට ගන්නේ රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට 20ක පමණ ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම මහා පරිමාණ මෝල් හිමියෝ මිලට ගනිති. ඔවුන් මුලසිටම ගොවියාට මුදල් සහ පොහොර ආදී වෙනත් ආධාර කරමින් තමන්ට සමීප කර ගැනීමට කටයුතු කරන බව පෙනේ. ඒ නිසා ගොවීන් අඩු මිලට හෝ පෞද්ගලික මෝල් හිමියන්ට දීමට නැඹුරුවෙති.

ශ්‍රී ලංකාවේ සහල් පාරිභෝජනය දිනකට ටොන් 6000කි. මසකට ටොන් එක් ලක්ෂ 80 දහසක් වේ. මෙම ප්‍රමාණය සැපයිම සඳහා ප්‍රමාණවත් නිෂ්පාදනයක් පවතී. එහෙත් සහල් මිල දින පතා ඉහළ යන්නේ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා බව පැහැදිලිය. සහල් මිල පිළිබඳ විවිධ වගකිවයුතු අංශවලින් පළ කෙරෙන අදහස් මේ සමග දක්වමු.

අලෙවියට නොඑන සහල් තිබෙන්නේ කොහේද?

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ ගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පවසන්නේ නිෂ්පාදනය කෙරෙන වී තොග ඇත්තේ කොහේද යන්න නිවැරදිව සොයාගන්නා තුරු සහල් මිල බැස්සීමට අපොහොසත් වන බවය. ඔහු වැඩිදුරටත් කියන්නේ ලැබෙන වී අස්වැන්නෙන් සියයට 70-75 පමණ වෙළෙඳපොළට නිකුත්වෙන බවය. ඉතිරි සියයට 25 ගොවි ජනතාවගේ පාරිභෝජනයට හා බිත්තර වී සඳහා තබා ගන්නේ යැයි ඔහු කියයි. මේ පිළිබඳ නිවැරදි දත්ත වගකිවයුත්තන් ළඟ නොමැත.

අපට ලැබෙන වී වලින් ලැබෙන සහල් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. එහෙත් මේ වී සියල්ලම සහල් බවට පත්කරනවාද එසේ නොවේ නම් තිබෙන්නේ කොහේද යන්න සොයාබැලිය යුතුයි. බිම් මට්ටමින් සමික්ෂණය කරලා මෙය සොයාගත යුතුයි. අද කෘෂි උපදේශකයන් අඩුවුවද ග්‍රාම සේවකයන්, වගා නිලධාරීන් වැනි කොටස් ඉන්නවා. ඒ අය ලවා මේ ගැන සොයාබැලීමට යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. මෙය ත්‍රිවිධ හමුදාව යොදවා කළ හැකි දෙයක් නොවේ. දැනට සිටින නිලධාරීන් යොදවා බිම් මට්ටමෙන් මේ පිළිබඳ දත්තයන් ලබාගත යුතු වෙනවා. එවිට වගාකරන බිම් ප්‍රමාණය අනුව ලැබෙන අස්වැන්න ගැන අදහසක් ඇතිකර ගත හැකියි. කන්නයකට ලැබෙන වී ප්‍රමාණය අපි දන්නවා. එහෙත් එම වී කොහේද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ.

අද රටේ සහල් හිඟයක් නැහැ. සහල් නිෂ්පාදනය කරනවා. එහෙත් ඒවා වෙළෙඳපොළට නොඑනවා නම් තියෙන්නේ කොහේද කියලා සොයාබැලිය යුතුයි. එසේ නොකර මිල වැඩිවනවිට විවිධ තැන්වලට ඇඟිල්ල දිගුකරලා ප්‍රතිඵලයක් නැහැ. තිබෙන්නේ කොහේද කියලා නොදැන ගැසට් කොච්චර නිකුත් කළත් මිල අඩුකළ නොහැකියි. ඒ නිසා මෙම දත්තයන් සොයාබැලීමට අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්.*
මේ මිල පාලනයත් කඩදාසියට සීමාවේවි

මරඳගහමුල සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ සමස්ත ලංකා හාල් මෝල් හිමියන්ගේ සංගමයේ උප සභාපති බී.කේ. රංජිත් පවසන්නේ ජීවන වියදම් කමිටුව කියන පරිදි එම මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි. එම කමිටුවට මෙම ගැටලුව පිළිබඳ ප්‍රායෝගික දැනුමක් නොමැති අතර සහල් නිෂ්පාදකයන් සමග කිසිදු සාකච්ඡාවක් නොකරඒකපාර්ශ්විකව මෙම තීරණය ගෙන ඇති බවද ඔහු කියයි. මෙයට පෙර කිහිපවතාවක් සහල් මිල තීරණය කළද ඒ මිලට දීමට නොහැකිවීම නිසා පැනවූ උපරිම සිල්ලර මිල අසාර්ථක වූ අතර මෙවරද සිදුවන්නේ ඒ දෙයම පමණක් බව ඔහු කියයි.

නාඩු වී රුපියල් 50ට සහ සම්බා වී රුපියල් 52ට සැපයීමට නොහැකියි. වී සහ සහල් අතර අනුපාතය 2:1 විය යුතුයි. ඒ අනුව සම්බා කිලෝව රුපියල් 105ට හා නාඩු කිලෝව රුපියල් 95ක් මිල වෙනවා. එයට සිල්ලර වෙළෙඳුන්ගේ ලාභයද එකතු කළ විට ආණ්ඩුව කියන මිලට අලෙවි කළ නොහැකියි. මෙයට පෙර මිල පාලනය කිරීම අසාර්ථක වූවා වගේම මෙම මිල පාලනයද කඩදාසියට පමණක් සීමාවෙනවා.

අනිත් අතට වසර 3කට මෙම මිල නියම කිරීමද අසාර්ථකයි. ඉදිරි කන්නවල වී නිෂ්පාදනයට කුමක් සිදුවෙයිද යන්න අද තීරණය කරන්න බැහැ. යම් විදියකින් වගා හානි ඇතිවුවොත් නිෂ්පාදනය අඩුවෙනවා. එවිට ඔය කියන මිල අහෝසි වෙනවා. මිල තීරණය වන්නේ කන්නයෙන් කන්නයටයි. ඒ නිසා කල් ඇතිව මිල ගැන ගැසට් ගැහිල්ලෙන් වැඩක් වේනනේ නැහැ. නඩු එකක් තියා සියයක් දැම්මත් පනවන මිලට වෙළෙඳාම කළ නොහැකියි. ජීවන වියදම් කමිටුව ගන්නා තීරණ ප්‍රායෝගික විය යුතුයි. ගබඩා කුලී, බැංකු පොලී, සේවක වැටුප්ද මේ වියදමට එකතු කළ යුතුයි. එසේ කළවිට උපරිම සිල්ලර මිල මෙයට වඩා වැඩිවිය යුතුයි. මේවා ජනතාව රුවටීමට ගන්නා තීරණ මිසක ක්‍රියාත්මක කළ හැකි තීරණ නොවන බව කිවයුතුයි.

ආණ්ඩුව කියන මිල ගණන් විහිළුවක්

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සමුපකාර සමිතියේ සභාපති මුදිත පෙරේරා:

වී වල සහතික මිල කිලෝව රුපියල් 50 යැයි නියම කර තිබුණත් වී අලෙවි මණ්ඩලය තෙතට ඉවත් කළ පසු මිලදී ගන්නේ නාඩු කිලෝව රුපියල් 55ට හා සම්බා 58යි. එසේ මිලට ගෙන සහල් කිලෝව රුපියල් 100ට අඩුවෙන් තබාගන්නයි නීති සකස් කරන්නේ. මෙය විහිළුවක්. ප්‍රායෝගික නැහැ. මෙය දැන දැනම කරන දෙයක්. ආණ්ඩුව සහතික මිලට වඩා රුපියල් 5 බැගින් වැඩියෙන් වී මිලට ගැනීම තමා සහල් මිල ඉහළ යාමට හේතුව.

2019 මාර්තුවල රජය පිළිගත් මිල සූත්‍රය අනුව වී කිලෝවක මිල 2.1කින් වැඩිකළ විටයි සහල් කිලෝවක මිල ලැබෙන්නේ. සම්බා වී රුපියල් 41ට සහ නාඩු වී රුපියල් 38ට ගන්නවා නම් පමණයි සම්බා මිල 85 සහ නාඩු සහල් මිල කිලෝව රුපියල් 80 වෙන්නේ. එහෙත් ඒ මිලට වී ගන්නට නොහැකියි. දැන් ආණ්ඩුවම තමා රුපියල් 12කින් වී මිල වැඩිකර ඇත්තේ. සහල් කිලෝවක් සඳහා වී කිලෝ 1.6ක් වැයවෙනවා. ඒ නිසා වී මිල රුපියල් 12කින් ඉහළ දමනවා නම් නාඩු සහල් කිලෝව රුපියල් 100 සහ සම්බා සහල් කිලෝව රුපියල් 105 විය යුතුයි. ඒ තමා ප්‍රායෝගිකව තැනෙන මිල. 

ආණ්ඩුව තෙත වී ගන්නේ කිලෝව රුපියල් 44 හා සම්බා 46ටයි. තෙතට රුපියල් 1.25ක් ඉවත් කළ විට නියම බර වෙන්නේ ග්‍රෑම් 875යි. වී කිලෝවක් වියලන්න රුපියල් 4ක්ද බෑග් එකකට ශත 80ක්ද වැයවෙනවා. ඒ අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 55.09ක් සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 57 වෙනවා. එසේ නම් වී මිල වැඩිවීමට සාපේක්ෂව සහල් මිල ඉහළ යා යුතුයි. එසේ නම් ආණ්ඩුව සඳහන් කරන උපරිම සිල්ලර මිල වන නාඩු රුපියල් 97ට සහ සම්බා රුපියල් 99ට කිසි ලෙසකින්වත් අලෙවි කළ නොහැකියි. සහල් උපරිම සිල්ලර මිල දක්වමින් ආණ්ඩුව මේ වනවිට ගැසට් 5ක් නිකුත්කර තිබෙනවා. දැන් සූදානමට ඇත්තේ නාඩු කිලෝව රුපියල් 97 සහ සම්බා සහල් කිලෝව රුපියල් 99ට නියම කරමින් යළිත් අලුත් ගැසට්ටුවක් නිකුත් කිරීමටයි. එසේ කළහොත් එයටද අත්වෙන්නේ මෙයට පෙර ගැසට් නිවේදනවලට අත්වූ ඉරණමයි. 2024 වසර වනවිට ජනාධිපතිවරයාට මේ අන්දමට ගැසට් 24ක් නිකුත් කරන්නට සිදුවේවි. එහෙත් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. වී කිලෝව රුපියල් 55ට මිලට ගෙන සහල් කිලෝව රුපියල් 100ට අඩුවෙන් දීම කවදාවත් කරන්න බැරි වැඩක්. මෙහි ප්‍රායෝගික තත්ත්වය නොසලකා මිල නියම කිරීම නිසයි මේ උපරිම මිල විහිළුවක් වී ඇත්තේ.

මේ තත්ත්වය මත අනාගතයේදී වෙළෙන්දාට සිදුවන්නේ මත්කුඩු විකුණනවා වගේ රහසිගතව සහල් අලෙවි කරන්නයි. එයට හේතුව ප්‍රායෝගික තත්ත්වය නොසලකා මිල තීරණය කිරීමයි.

ගොවියාට වගේම පාරිභෝගිකයාටත් අසාධාරණයක්

ජාතික ගොවිජන එකමුතුවේ මාධ්‍ය සම්බන්ධිකාරක අනුර අතපත්තු පවසන ප්‍රධානම කරුණක් වන්නේ රජයේ සහතික වී මිල සහ සහල් කිලෝවක් අලෙවි කරන මිල අතර විකෘති තත්ත්වයක් ඇතිව තිබෙන බවය.

&රජය සම්බා වී කිලෝව රුපියල් 52කටද, නාඩු කිලෝව රුපියල් 50කටද මිලට ගන්නවා. එය රජයේ සහතික මිලයි. රජයේ සහතික වී මිල අනුව සහල් කිලෝවක් රුපියල් 100-105 අතර මුදලකට ලබාදීමටයි පුළුවන්. එහෙත් අද සහල් කිලෝව අලෙවි වන්නේ රුපියල් 110-120 අතර මිලකටයි. සහල් මිල අඩු කිරීමට රජයට වැඩපිළිවෙළක් නැතිනම් ගොවිජනතාවට හෝ සහනයක් වන්න වී කිලෝවක ගැනුම් මිල රුපියල් 60 දක්වා හෝ ඉහළ දැමිය යුතුයි. වී කිලෝව රුපියල් 60 වුණොත් දැනට වෙළෙඳ පොළේ පවතින සහල් මිල අනුව ගොවියාට සාධාරණය ඉටුවෙයි. සාමාන්‍යයෙන් ගොවි ජනතාවට වී කිලෝවකින් ලැබෙන්නේ රුපියල් 4ක ලාභයක් පමණයි. ඒ ලාභය මාස 4ක් තුළ ලැබෙන ලාභයක් බව කිවයුතුයි.

මෙයට පෙර කාලවල අස්වැන්න කපන සමයේදි සහල් මිල අඩුවුවද මෙවර එය සිදුව නැහැ. මෙයට හේතුව වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් 3000ක් පමණ වැසී යාමයි. සැමවිටම සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර සාධාරණ මිලකට අලෙවි කිරීම නිසා වෙළෙඳපොළේ සහල් මිල පාලනය වී තිබුණා. එහෙත් මෙවර එම තත්ත්වය නැහැ. වි මිල අඩු වුවත් සහල් මිල දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. ගොවියාට සහ පාරිභෝගිකයාට මෙයින් සිදුවන්නේ දැඩි අසාධාරණයක්.

 යසවර්ධන රුද්රිගු