මිනිසුන්ගේ කර මතින් දෝලාවෙන් ගමන් බිමන් ගිය රාජ රාජ මහාමාත්‍යාදීන් අද නැතත් මහජනයාගේ කර මතින් ගමන් බිමන් යන මහජන නියෝජිතයන් නමැති දේශපාලුවෝ තවමත් මෙලක විරාජමානය. අප හෙළි කරන්නට සැරසෙන්නේ ඔබේ මනාපයෙන් මැතිසබයට ගිය ඇමැතිකම් ලද එවන් පිරිසක් පිළිබඳ මෙතෙක් රටම නොදත් සත්‍ය කතාවකි. මේ එක් ආණ්ඩුවකට දෙකකට ලඝු නොවන මෙරට මැති ඇමැතිවරුන්ගේ සුපිරි වාහන පිළිබඳ කතාවකි.
2020 සැප්තැම්බර් 12 වැනි දින නිකුත් කරන ලද අංක 04/2020 දරන වත්කම් කළමනාකරණය චක්‍රලේඛය යටතේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙත මෙරට රජය විසින් පවරා ඇති රථවාහන පිළිබඳ වාර්තාවක් ඇසුරින් මෙම සටහන සකස් වෙයි. අපි හෙළි කරන තොරතුරු විශ්වසනීය බව තහවුරු කිරීම උදෙසා ආරම්භයේම අපගේ මූලාශ්‍ර ඔබ හමුවේ තැබුවෙමු. වත්මන් නීතියට අනුව මෙරට අමාත්‍ය කාර්ය මණ්ඩලයක් සඳහා අමාත්‍යංශයක් විසින් නිකුත් කරනු ලබන වාහන සංඛ්‍යාව අටකි.
එයින් වාහන තුනක් අමාත්‍යවරයාගේ පරිහරණය සඳහා ද, සෙසු වාහන පහ පිළිවෙළින් පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම් අංක 01, 02 සහ 03, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධතා නිලධාරී අතර බෙදී යයි. අප අද දින අවධානය යොමු කරනු ලබන්නේ මෙරට අමාත්‍යවරුන් වෙත ලබා දී ඇති වාහන පිළිබඳවයි. අප වෙත ලැබී ඇත්තේ 2020 සැප්තැම්බර් 30 වැනි දින අවසාන වශයෙන් යාවත්කාලීන වූ වාර්තාවක් බැවින් කැබිනට් අමාත්‍යාංශ 28කට සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කට අදාළ තොරතුරු ඇසුරින් මෙම තොරතුරු අපි හෙළිදරව් කරමු.
මෙරට කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණයට සඳහා නිකුත් කර ඇති මුළු වාහන සංඛ්‍යාව 191කි. පෞද්ගලික වාහන පරිහරණය කරන බව දන්වා ඇති එක් ඇමැතිවරයෙක් වන අග්‍රාමාත්‍යවරයා තමන් යටතේ පවතින අමාත්‍යාංශ දෙකක වාහන ලබා නොගැනීම නිසා සමස්ත වාහන සංඛ්‍යාව අවම වී තිබේ. නොඑසේ නම් අමාත්‍යාංශ 68ක අමාත්‍යවරුන් සඳහා වාහන 204ක් හිමිය. මෙම වාහනවල සියලු ඉන්ධන දීමනා, අලුත්වැඩියා ආදිය රජය විසින් සිදු කරනු ලබයි. එහෙත් ගැටලුව වාහන ලබාදීම නොවේ. ගැටලුව ඔවුන්ගේ භාවිතයට ලබා දී ඇති වාහන මොනවාද යන්නයි.
අප විමසා බැලීමට අනුව මෙරට වර්තමාන අමාත්‍ය මණ්ඩලය සතුව Land Cruiser V8 ජීප් රථ 64ක්, විවිධ මාදිලිවලට අයත් BMW මෝටර් රථ 20ක්, Mercedes Benz මෝටර් රථ 16ක්, Mitsubishi L200 රථ 14ක්, Prado ජීප් රථ 14ක්, Nissan Teana මෝටර් රථ 12ක්, Toyota Hilux රථ 11ක්, Land Rover Discovery ජීප් රථ 10ක්, Defender රථ 10ක්, Montero ජීප් රථ 5ක්, Land Rover Range Rover Sport රථ 4ක් ඇතුළු තවත් සුපිරි සැප වාහන රැසක් තිබේ. මේ සියල්ල පසුගිය වසර 15ක කාලය තුළ මිල දී ගනු ලැබූ වාහනයි.
මෙම වාහන කිහිපයක වර්තමාන මිල ගණන් අපි අන්තර්ජාලය ඇසුරින් අධ්‍යයනය කළෙමු. ඇමැතිවරුන් සතු Land Cruiser V8 ජීප් රථ 64ක් පිළිබඳ සලකා බැලුවහොත් 2017 – 2010 වසර කාණ්ඩය තුළ වන ජීප් රථ මේ අතර වෙයි. ඒ අනුව වර්තමානයට දේශීය රථවාහන වෙළෙඳපොළ තුළ Land Cruiser V8 රථයක මිල ලක්ෂ 200ත් 500ත් අතරය. එක් රථයක් ලක්ෂ 300ක් යැයි සිතා අප ගණනය කළහොත් මෙම ජීප් රථ 64ක පමණක් වටිනාකම ලක්ෂ 7200කි. සෙසු වාහනවල මිල ගණන් ඔබට කීමට කාලය මිඩංගු කළ යුතු නැත. එහෙත් ඔබට සොයා බැලිය හැකිය. වටිනාකම ලක්ෂ 100කට අඩු වාහනයක් නම් මෙම ලැයිස්තුවේ සොයා ගැනීම විරලය. එනමුත් ඇමැති වාහන අතර වර්තමාන වටිනාකම ලක්ෂ 700ක් 800ක් පමණ වන වාහන ද තිබෙන බව කිව යුතුය.
මෙම මිල ගණන් සැසඳූ විට ශ්‍රී ලංකාව යනු කිසිසේත්ම දුප්පත් රාජ්‍යයක් යැයි කවරකු නම් විශ්වාස කරයිද? සැබවින්ම අප වාර්ෂික ණය වාරිකය ගෙවාගැනීමට බැරිව ලත විය යුතු නැත. රට පවත්වාගෙන යා නොහැකි බව කියමින් වරායන්, ගුවන් තොටුපොළ, තෙල් ටැංකි විකුණා දැමීම කළ යුතු ද නැත. රජය සතු මෙම වාහන විකුණා දැමිය හැකිය. මේ මෙරට රජය සතු සියලු සැප වාහන ලැයිස්තුව ඇසුරෙන් කරන අනාවරණයක් නොවේ. ඇමැතිවරුන්ට වඩා සැප වාහන භාවිත කරන නිලධාරීහු ද මෙරට සිටිති. භාවිත නොකරන ලද තවත් සැප වාහන අමාත්‍යාංශ සංචිත තුළ වෙයි.
අමාත්‍ය මණ්ඩලයේ භාවිතයට එක් අයකුට එක බැගින් මෙරට නිෂ්පාදනය වන සාමාන්‍ය වටිනාකමකින් යුතු වාහන ලබාදීමට නොහැකි මන්දැයි අපි නොදනිමු. මෙම සුපිරි වාහන මෙරට සංවර්ධනයට දක්වන දායකත්වය කවරක්දැයි පැහැදිලි නැත. මේවා විකුණා දැමිය යුතුය. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට එය කදිම උපායක් වනු ඇත. අපට එලෙස යෝජනා කළ හැකි බව සැබෑය. නමුත් පාලක පන්තිය එය විහිළු ලෙස දකිමින් බැහැර කරනු නොඅනුමානය. සැබවින්ම නිදහසින් පසු 73 වසරක් මෙරට පාලකයන් අපට සිදු කර ඇති විහිළුවල තරම දැන්වත් ඔබට නොවැටහෙන්නේ නම් එය කර්මයක් මිස අනෙකක් නොවේ.
මේ වාහන සියල්ල රජය විසින් අමාත්‍යවරුන්ගේ රාජකාරි සඳහා භාවිතයට ලබාදෙන වාහනය. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසා පෞද්ගලිකව ඔවුනට තීරැ බදු රහිත වාහනයක් ලබා ගැනීමට බලපත්‍රයක් ද හිමිවෙයි. ඔවුහු ඒවා එළිපිට විකුණා දමති. ඊට නීතිමය බාධාවන් පවා නොමැති අතර මෙරට නීති තනන්නෝ ද ඔවුහුම වෙති. ජනතාව ද මෙවන් කටයුතුවල දොස් නොදකින තත්ත්වයටම පිරිහී සිටීම පාලකයන්ට විශාල අස්වැසිල්ලක් වී තිබේ. එහෙත් මේ සියලු අපරාධ සිදුවන්නේ මෙරට දුගී මගී යාචකයන්ගේ සිට ව්‍යාපාරිකයා දක්වා අය කරනු ලබන ඍජු සහ වක්‍ර බදු මුදල් වලිනි.
රාජකාරි පරිහරණය සඳහා වාහන 3ක් ලබා දුන්න ද බොහෝ විට ඇමැතිවරයකු භාවිත කරන්නේ මින් වාහන එකක් හෝ දෙකකි. සෙසු වාහනය හෝ දෙක නිත්‍ය වශයෙන්ම ඇමැති බිරින්ඳෑවරු හෝ ඇමැති දූ පුත්තු භාවිත කරති. එසේම සිය අමාත්‍යාංශය සතු සෙසු සුපිරි වාහන ද විවිධ උපක්‍රම භාවිතයෙන් ඇමැතිවරු සිය පවුලේ හෝ හිතවතුන්ගේ පරිහරණයට ලබා දෙති. ඒවා නඩත්තු වන්නේ රජයේ වියදමිනි. අප මේ හෙළි කරන්නේ සිතලු නොවන වර්තමාන දේශපාලනයේ සැබෑ නිරැවතයි. විධිමත් අධ්‍යනයක් කරන ඕනෑම අයකුට මෙම කරුණුවල සත්‍යතාව මේ මොහොතේ පවා තහවුරු කර ගත හැකිය. එහෙත් මෙම වාහන අමාත්‍යාංශ සතු වාහන මිස තමන් සතු පෞද්ගලික වාහන නොවන බව කියමින් මැති ඇමැතිවරුන් හෙට අපූරැවට ඇඟ බේරාගන්නා බව ඔබ මතක තබා ගත යුතුය.
පසුගියදාක පාර්ලිමේන්තුවේ දී හෙළි වූ පරිදි 2015 ජනවාරි 8 වැනිදා සිට 2019 නොවැම්බර් දක්වා පැවති යහපාලන ආණ්ඩුව වාහන ආනයනය වෙනුවෙන් අධික මුදලක් වැය කොට තිබේ. ඊට අනුව අමාත්‍යවරුන් අමාත්‍යාංශ සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්ෂ විසි අට දහසකි (බිලියන 2.8) මුදලක් වැය කර ඇති බව අනාවරණය විය. කැබිනට් ඇමැතිවරුන් වෙනුවෙන් ලක්ෂ 16000ක් ද, රාජ්‍ය ඇමැතිවරුන් වෙනුවෙන් ලක්ෂ 6520ක් ද, නියෝජ්‍ය ඇමැතිවරුන් වෙනුවෙන් ලක්ෂ 5670ක් ද වියදම් වී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මෙය එක් ආණ්ඩුවක් හෝ දෙකක් සිදු කරනු ලැබූ ජාතික අපරාධයක් නොවේ.
මෙරට මැති ඇමැති රථගාය ආරම්භ වන්නේ 70 දශකයේය. එතෙක් වාහන සංචිතයක් මගින් රාජ්‍ය අවශ්‍යතා මත මහජන නියෝජිතයන්ට වාහන ලබාදීම සිදුව තිබේ. ඒ අනුව වර්තමාන ඛේදවාචකය ඇරඹෙන්නේ මැතිනියගේ ආණ්ඩුව සමයේය. නොබැඳි ජාතීන්ගේ සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ගෙන්වූ පර්ජෝ 504 කාර් රථ පසුව මැති ඇමැතිවරුන් අතර බෙදා දෙනු ලැබීය. ඉන්පසු බලයට පැමිණි ජේ.ආර්. ආණ්ඩුව මෙය පූර්වාදර්ශයක් කර ගත්තේය. ඒ අනුව අවසානයේ ඔවුහු මැති ඇමැති වාහන ලබාදීම ප්‍රතිපත්තිය කර ගත්හ. ජනපති ජේ.ආර්. ජයවර්ධන පළමුව මැති ඇමැතිවරුන්ට ජීප් රථ ලබා දුන්නේය. කාලයාගේ ඇවෑමෙන් මෙම රථවාහන ප්‍රදානය ලොක්කන් පොඩ්ඩන් සතුටු කිරීමට ලබාදෙන සන්තෝසමක් බවට පත් විය.
කෙසේ වෙතත් කොවිඩ් සහ ලෝක ආර්ථික අර්බුදය හමුවේ වර්තමාන රජය වාහන ආනයනය නතර කර තිබේ. එය දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය තීන්දුවක් නොවන අතර කොවිඩ් පහව ගිය වහාම ඇමැතිවරුන් සිය අමාත්‍යාංශ වෙත සුපිරි වාහන ගෙන්වීම අරඹනු ස්ථිරය. දැනටමත් ඔවුන් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඇඟිලි ගනිමින් සිටින බවට තොරතුරු ඇත.
මෙරට මැති ඇමැති රථවාහන භාවිතය පිළිබඳ සිදු කළ සරල අධ්‍යනයක් හරහා අපි මෙම සියලු තතු හෙළිදරව් කර ගතිමු. මෙය තවත් ගැඹුරට සොයා බලන්නේ නම් තවත් කරුණු සහිතව ඔබට තොරතුරු ඉදිරිපත් කළ හැකිය. එනමුත් මේ සිදුවන අපරාධය අප පැමිණිලි කරන්නේ කාටදැයි අවසානයේ ඔබට සිතෙනු ඇත. මේ ඔබම තෝරා පත් කළ මහජන නියෝජිතයන්ගේ තීන්දු තීරණය. එසේ නම් මෙයට ඔබ අප ද වගකිව යුතුය. එසේ නම් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේම මිස වෙන කාගේවත් නොවේ.
චමිඳු නිසල් ද සිල්වා