2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

අලුත්ම ජනාධිපති කොමිසම ගැන නීතිඥ මත

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 32

2015 ජනවාරි 8 වැනිදා සිට පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සහභාගීත්වයෙන් යුතු එම කොමිසමට ලැබී තිබූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1971කි. පිටු 2043කින් සමන්විත එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස 8 වැනිදා බාරදුන් අතර එම කොමිසම හමුවේ යහපාලන රජය යටතේ අගතියට පත් පාර්ශ්ව රැසක් සාක්ෂි ලබා දුන්හ.

එහි දැක්වෙන පරිදි යහපාලන ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයන් වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චමිපික, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර්. සම්පන්දන්, අනුර කුමාර දිසානායක, ජයම්පති වික්‍රමරත්න, නිතීඥ ජේ.සී. වැලිඅමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ ඇතුළු පුද්ගලයන් 22 දෙනකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරැම සහ ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් පොදු දේපළ අවභාවිත කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කිරීම සඳහා පත් කළ එම කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසමක් පසුගියදා පත් කළ අතර ජනාධිපතිවරයා එම නව කොමිසමට නියෝග කර ඇත්තේ මාස 3ක් ඇතුළත විමර්ශන සිදු කර අවශ්‍ය නිගමන හා නිර්දේශවලට අනුව දඬුවම් දක්වමින් තමන් වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.

ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසම පත් කිරීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම විශේෂ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා ද සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා ද පත් කරනු ලැබූහ.

දේශපාලන පළිගැනීම් කොමිසමේ අවසන් වාර්තාවලට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව පිහිටුවාගත් ජාතික විධායක සභාව සහ දූෂණ මර්දන කොමිටිය නැමති දේශපාලන සංවිධානයක් විසින් පැමිණිලිකරුවන් ඍජුව හෝ වක්‍රව දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක් කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳව දේශයේ අපි නීතිවේදීන් කිහිප දෙනකුගෙන් විමසීමක් කළෙමු.

මේ ලෝකෙ කොහේවත් මෙහෙම කොමිෂන් සභාවක් පත් කරලා නෑ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු ලේකම් නීතිඥ අජිත් පතිරණ

ජනාධිපති කොමිෂන් සභා ආරම්භ වෙන්නේ 1978 ව්‍යවස්ථාවෙන්. ඒ ව්‍යවස්ථාව ගෙනත් දැනට අවුරුදු 40ක් විතර වෙනවා. මම දන්න විදියට එක් ජනාධිපති කොමිෂන් සභාවක් දුන්න නියෝගයක් මොනම අවස්ථාවකවත් නැවත ජනාධිපති කොමිෂන් එකක් දාලා වෙනස් කිරීමක් සිදු කරන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමාට බලයක් තියෙනවා දඬුවමක් දුන්න නම් විත්තිකරුවකු නිදහස් කරන්න. හැබැයි අපි කවදාවත් දැකලා නැහැ ජනාධිපතිතුමාගේ ඒ බලය වෙනත් අයකුට පවරනවා. විශේෂයෙන් කොමිසමකට පවරනවා. එලෙස පැවරීමේ හැකියාවක් නීතියේ නැහැ. දැන් අපි දැක්කා මේ කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා තමන්ට වුණු අසාධාරණ මත විමර්ශනය කරන්න කියලා. ලෝකයේ කොහෙවත් මෙහෙම කොමිෂන් සභාවක් නිර්දේශ ක්‍රියාත්මක කරන්න තවත් කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා මම දැකලා නැහැ.

කමිටු වාර්තාවත් නීති විරෝධී එකක්
නීතිඥ සුනිල් වටගල

පසුගිය රජය කාලයේ ඇතිවුණු දේශපාලන පළිගැනීම්වලට අදාළ යැයි කියන වාර්තාවක් දැනට එළිදැක්වී තියෙනවා. ඒ වාර්තාව මත පදනම්ව නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අර්ථයෙන් අලුත් කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. එතකොට ඒ කොමිෂන් සභාවේ වැඩ තවම ආරම්භ කරලා නැහැ. ගැසට් පත්‍රය විතරයි තියෙන්නේ. මේ ගැසට් පත්‍රයට අදාළව 22ක් වගඋත්තරකරුවන්ට ඔවුන්ගේ ප්‍රජා අයිතිය සහ තවත් කරුණු සම්බන්ධව සලකා බලන්න පුළුවන්. දැනට එළිදැක්වී ඇති කොමිසමේ වාර්තාව අපි දැක්කා. ඒ අනුව එම කොමිසමට කරන්න බැරි නිර්දේශ බොහොමයක් එම දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ නිර්දේශවල තියෙනවා. එතකොට ඒක අභියෝගයට ලක් කරලා පාර්ශ්වයන් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න නියමිතව තියෙනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා ඒ කමිටු වාර්තාව අනෛතිකයි කියලා. ඒක නිසා අපි කියන්නේ එලෙස එළිදැක්වී ඇති වාර්තාව නීත්‍යානුකුල එකක් නෙවෙයි. ඒක නීති විරෝධි එකක්.

නව කොමිසමෙන් විනිවිදභාවය රැකෙනවා
ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා

දේශපාලන පළිගැනීම් වගේ ඒවා කියනකොට නොයෙක් ආකාරයෙන් ඔතනට පැමිණිලි ගලාගෙන එනවා. එතකොට ඒ කොමිසම බලලා තියෙන්නේ ඒක දේශපාලන කෝණයකින් වෙලාද නැද්ද කියන එක. එතකොට මෙතන පූර්ණ වශයෙන්ම මෙය සිදුවෙලා තියෙන්නේ දේශපාලනය මතද කියන එක සොයා බලා තමයි ඒ නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ කියලා තමයි මගේ විශ්වාසය. ඒ නිසා මේ නිර්දේශ තවත් විනිවිධභාවයෙන් ක්‍රියාත්මක කරන්න තමයි දැනට මේ නව කොමිසමක් පත් කර තියෙන්නේ. දැන් අලුතෙන් පත් කරපු කොමිසමට යන්නේ නිර්දේශ විතරනේ. එතකොට ඒ අය බලන්නේ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා.  එතකොට ඒක තවදුරටත් විනිවිධභාවයෙන් ක්‍රියාත්මක වෙනවා.

සටහන: හසිත් අංජන