2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

ලෝකයේ කප්ගැසූ බෞද්ධ කෝටිපතියෝ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 402

උපතින්ම බුදුන් සරණ යන්නට වාසනාව ලැබුණත් වෙනත් ආගම් සරණ යාම දැන් අපේ රටේත් ජනප්‍රිය ප්‍රතිරූපයක් ගොඩනගා ගත් සමහරුන් අතර ද විලාසිතාවක් වී තිබේ. ඒත් මේ වන විට ලෝකයේම සම්භාවනාවට පත්වූ ජනකාන්ත චරිත රැසක්ම සිය මුල් ආගම - දහම අතහැර බුදු දහම වැළඳගනිමින් එහි දර්ශනයට අනුව සිය ජීවිතය ගොඩනගා ගනිමින් ආදර්ශවත් ජීවිත ගත කරති. අප කවුරුත් දන්නා ලෝ ප්‍රකට චරිත වන ජැකී චෑන්, ජෙට් ලී, ටීනා ටර්නර්, ටයිගර් වුඩ්ස්, ස්ටීවන් සීගල්, ඇන්ජලීනා ජොලී, ජෙනිෆර් ලොපෙස්, හර්මන් හෙස්, බෝයි ජොර්ජ්, වගේම මේ කාලයේ කැපීපෙනෙනම චරිත දෙකක් වන මාර්ක් සකර්බර්ග් සහ ස්ටීව් ජොබ්ස් වැනි විවිධ ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන් බවට පත්වූ අපූරු මිනිසුන් ගණනාවක්ම බුදු දහම සහ එහි දර්ශනය සිය ජීවිතය හරවත් කරන මඟපෙන්වන්නා හැටියට තෝරාගන බෞද්ධ ජීවන රටාව වැළඳගෙන  හමාරය. එපමණක්ද? ලෝකයේ  ප්‍රකෝටිපතියන් රැසක්ම  සිය උපතින් ලද ආගම - දර්ශනය හරසුන් බැවින්, ඒ හැර දමා බුදු දහම වැළඳගන සිටිති‍.

ලයි කා ෂින්ග් ප්‍රකෝටිපතියෙකි. හොංකොං හි ධනවත්ම ව්‍යාපාරිකයාය. 2016 දී ඔහුට වයස 88 සැපිරෙන විට ඩොලර් බිලියන 31.9ක වත්කමකට හිමිකම් කීවේය. නමුත් ඔහු ජීවිතය ඇරඹුවේ පහළම අඩියෙනි. උසස් අධ්‍යාපනය ද අහිමිව මහ පාරට වැටී සිටි ඔහු සිය ජීවන ගමන් මඟ උත්සාහයෙන් වෙනස් කර ගත්තේය. දැන් ඔහු ඒ රටේ සුප්‍රකට CK Hutchison Holdings සමාගමේ සභාපතිවරයාය. බුදු දහම ජීවිතයට ළං කරගත් ඔහු දැන් මහා දානපතියෙකි. කෝටි ගණනක මුදල් වියදම් කර ඔහු හොංකොං හි Tsz Shan  ආරාමය තනා දුන්නේය. සිංගප්පූරුවේ කළමනාකරණ සරසවියේ මහා පුස්තකාලය ඔහුගේ පදනමේ පරිත්‍යාගයකි. මේ නිසාම එයට Li Ka Shing Library ලෙස නම් තබා ඇත.

හොංකොං හි දෙවැනි ධනවතා ලෙස සැලකෙන ලී ෂෝකී ඉඩම් වතුපිටි හෝටල සහ අන්තර්ජාල යන අංශ කිහිපයකටම අයත් ව්‍යාපාර ජාලයක ප්‍රධානියාය. ඔහුගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 30.4කි. හොඳ බෞද්ධයෙක් හැටියට කටයුතු කරන ඔහු  ඩොලර් මිලියන 100කට වඩා විවිධ ආධාර ලෙස ලබා දී ඇත. ඔහුගේ ලී ෂෝ කී පදනම අධ්‍යාපනික සහ සමාජ සේවා රැසකටම දායකව තිබේ.

පසුගිය 15 වසරක කාලය තුළ සෑම වසරකටම ඩොලර් ලක්ෂ 5 බැගින් අධ්‍යාපනයටත් ළමා සුබසාධනයටත් බෞද්ධ විහාරාරාම ගොඩනැගීමටත් වෙන්කර ඇති තායිලන්තයේ දෙවැනි සල්ලිකාරයා වන ධානීන් චීරාවානොන්ට් ව්‍යාපාර ජාලයක සම  හිමිකරුය. ඩොලර් බිලියන 16.4ක ආදායමක් උපයන ඔහු සිය සහොදරයන් දෙදෙනා සමඟ ව්‍යාපාර හවුල පවත්වාගන යන්නෙකි.

තායිලන්තයේ මත්පැන් අධිරාජ්‍යය ලෙස සැලකිය හැකි Thai Beverage හිමිකරු ඒ මුදලින් වැඩි කොටසක් යොදවා ඇත්තේ වෛද්‍යාධාර, අධ්‍යාපන පහසුකම් සහ ආගමික කටයුතු සඳහාය. චාරොයෙන් ශ්‍රීවඩනභක්ඩි සිය බිරිය සමඟ එක්ව දන් පින් රැසක යෙදෙන්නෙකි. මේ යුවළ ඩොලර් මිලියන ලක්ෂ 5ක් වෛද්‍යාධාර සඳහා වෙන්කර ඇති අතර තායි වට් පෝ ආරාම ජාලයේ බිතු සිතුවම්කරණයට මුළුමනින්ම ආධාර කළ යුවළය. ඩොලර් බිලියන 9.1ක වත්කම් දරන ඔහු දක්ෂ දරුවන් වෙනුවෙන් ඩොලර් මිලියන 3ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ද සකස් කර පවත්වාගෙන යන්නෙකි.

තායිවානයේ හොඳම පොහොසතා ද දනට පිනට කැමති බොදුනුවෙකි. ‌ඩොලර් බිලියන 5.6ක වත්කමක් සහිත ඔහු ද මේ වන විට ඩොලර් මිලියන 1.5කට ආසන්න ප්‍රමාණයක් දන් දී හමාරය. ත්සායි ඒන්ග් මෙන්ග් නමැති ඔහුගේ නමින් ඇති පුණ්‍යාධාර පදනම  දුප්පතුන්ටත් ස්වභාවික උවදුරැවලින් හානි පැමිණියවුන්ටත් අත දිගහැර ආධාර ලබා‌ දෙයි.

“ඔබ සතු වැදගත්ම  ගුණාංගය විය යුත්තේ ඉවසීම තමා” යැයි කියන්නේ ලෝකය පුරා නම රැන්දූ මහා කෝටිපතියාය. අන්තර්ජාල අලෙවිය පිළිබඳ අලුත්ම සංකල්පය ලොවට හඳුන්වා දෙමින් ස්වෝත්සාහයෙන්ම ඉතා කෙටි කලෙකින්ම ප්‍රකෝටිපතියෙක් වූ ජැක්මා හෙවත් අලිබාබා සිය ජීවිතය හැඩගසා ගත් ආගමික දර්ශනය ලෙස තෝරාගන ඇත්තේ බුදු දහමය. චීනයේ උපන් මා යූන් හෙවත් ජැක් මා හට දැන් වයස 56කි. වයස 35 දී ඔහුගේ නම ප්‍රකෝටිපතියන් අතර සටහන් විය. ඒත් ඔහුගේ මුල් ජීවිත‌ය පුරාම ඇත්තේ අසාර්ථක වීම් සහ ප්‍රතික්ෂේප වීම්ය. නමුත් ඔහු මේ වන විට වෙනත් මිනිසකු පරම්පරා ගණනාවකදීවත් උපයන්නට සමත් නොවන තරමේ ධනස්කන්ධයක හිමිකරුය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 62.4ක් ලෙස ෆෝබ්ස් වාර්තාව දක්වයි. උපරිම ධනවත් තලයට පැමිණි පසු ඔහු ඒ සියල්ල අත්හැරීමටද මැලි වී නැත. තමන් ඇරඹූ Alibaba Group ආයතනයේ මුල් පුටුවෙන් ඔහු 2019 දී සමුගත්තේ එහි දෙවැනියාට එතැනට එන්නට නිසි කලට අවස්ථාව සලසමිනි. ඔහු අත දිගහැර දනට පිනට දෙන්නෙකි. කෙළින් කතා කරන්නෙකි. මේ සියල්ලටම වඩා ඔහු තායි චී මාස්ටර් කෙනකු ලෙස තමන්ව හඳුන්වා ගන්නට කැමති නිහතමානී තැනැත්තෙකි. මේ සියලු නිවුණු සැනසුණු උපේක්ෂාසහගත ගුණ ඔහු ප්‍රගුණ කළේ බුදු දහමින් ලද පෝෂණය නිසාය.

දමිළ ජාතික බෞද්ධයකු වන ආනන්ද ක්‍රිෂ්ණන් දැන් ලෝකය පුරා ප්‍රසිද්ධව ඇත්තේ මැලේසියාවේ දෙවැනි පොහොසතා හැටියටය. මේ වන විට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 5.9කි. මැලේසියාවේ විශිෂ්ටතම මාධ්‍ය සහ සන්නිවේදන ජාලයක හිමිකරුවෙක් වන ඔහුට අයත් සන්නිවේදන සේවා චන්ද්‍රිකා 3ක්ද මහ පොළොව වටා යයි. ආනන්දන් ලංකාවෙන් ක්වාලාලාම්පූර් වෙත සංක්‍රමණය වූ ලාංකේය දමිළ යුවළකට දාව ඒ රටේදී උපන් අයෙකි. ඔහුට දරුවන් තිදෙනෙකි. දියණියන් දෙදෙනකු සහ පුතකු ලෙසිනි. ඔහුගේ ඒ එකම පුතා මැලේසියාවේ මහනදම් පුරණ අතර ඔහුට මැලේසියාවේ කඳුකර බද ආරාමයක් තනා දී ඇති ප්‍රකෝටිපති තාත්තා ද බුදු දහම අනුව අල්පේච්ඡ ජීවිතයකට හුරුව සිටින්නෙකි. තාත්තාගේ මහා ධනයත් පුත්‍රයාගේ ගිහි සැපත් අත්හළ ආරාමගත ජීවිතයත් නිසාම ආනන්ද ක්‍රිෂ්ණන්ගේ, අජාන් ශ්‍රිපඤ්ඤෝ නමැති මේ කෝටිපති ශ්‍රමණ පුත්‍රයා හැඳින්වෙන්නේ නූතන යුගයේ සිදුහත් ලෙසටය.

මැලේසියාවේ ධනවත්ම තැනැත්තා ලෙස ප්‍රකටව ඇත්තේ ද බෞද්ධයෙකි. බුදු දහම සිය ජීවිතයට ළං කරගත් වඩාත් කැපීපෙනෙන අරුමෝසම් වැඩට අකමැති මේ සාර්ථක ව්‍යාපාරිකයා රෙබර්ට් කුවෝක් හොක් නියෙන්ය. සිංගප්පූරුවේ විශිෂ්ට නායකයා වූ ලීක්වාන් යූ ගේ පාසල් පන්ති සගයෙක් ලෙස කටයුතු කළ ඔහු ද වෙනස් ආකාරයකට ලොව දකින්නෙකි. ඔහු ලෝක ප්‍රකට ෂැංග්‍රීලා හෝටල සමූහයේ නිර්මාතෘ හැටියට ප්‍රකටය. විල්මාර් පාම් තෙල් සමූහ ව්‍යාපාරයත්, Kerry properties ව්‍යාපාර ජාලයත් මෙහෙයවන ඔහු වඩාත් ප්‍රසිද්ධ “ආසියාවේ සුපිරි සීනි රජා” ලෙසටය. දැන් ඔහුගේ බෑණා සිංගප්පූරුවේ හොඳම සල්ලිකාරයාය. ඔහු ඩොලර් බිලියන 18.4ක වත්කම් සහිත පුද්ගලයකු වන බව කියන ෆෝබ්ස් වාර්තාව ඒ අනුව ඔහු ලෝකයේ 104 වැනි ධනවතා ලෙස පෙළගස්වා ඇත.

ජපානයේ ගුවන් සේවා ප්‍රධානියා ලෙසද කටයුතු කළ කශුඔ ඉනාමොරි සෙන් හාමුදුරු නමකි. සම්මානලාභී විද්‍යාත්මක පර්ෙය්ෂකයකු සහ ව්‍යාපාරිකයකු ද වන ඔහු ඩොලර් බිලියන 1.1ක වත්කමකට හිමිකම් කියන්නෙකි. ජපාන ගුවන් සේවාව බිඳවැටීමෙන් බේරාගත් ඔහු ව්‍යාපාර කටයුතුවලදී බටහිර ක්‍රමවේදයන් ගැන නොතැකු බෞද්ධ අර්ථ ක්‍රමය අනුගමනය කළ තැනැත්තෙකි.

කඩදාසි අධිරාජනිය එසේත් නැතිනම් කුණුරැජන ලෙස ප්‍රකටව ඇති චීනයේ 04 වැනි ධනවතා බෞද්ධ කාන්තාවකි ෂෑන්ග් යීන්ග් නම් වූ ඇය සෙසු ලෝකයා හඳුන්වන්නේ  ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කඩදාසි ව්‍යාපාරයේ බිල්ගේට්ස් හැටියටය. අමෙරිකාවේ පරණ කඩදාසි එකතු කර ඒවා අලුත් කාඩ්බෝඩ් බවට හරවන ඇගේ ව්‍යාපාරය මේ වන විට ඩොලර් බිලියන 1‍.8ක ආදායමක් ලබා දෙන්නකි.

ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 1972 දී සිය පාසල් අධ්‍යාපනයට ද ආයුබෝවන් කියා යුරෝපයේ සිට ඉන්දියාවට වැටුණු “හිපි”මාර්ගය ඔස්සේ පැමිණ ඉන්දියාවේදි සෙන් බුදු දහම වැළඳගත් තැනැත්තෙකි. ඉන් වසර 2ක් ගතවන්නටත් පෙර සිය ප්‍රථම ඇපල් කම්පියුටරය නිපදවන්නට සමත් වූ ඔහු ඉතා කෙටි ජීවිත කාලය වයස 56 දී අවසන් කරනා විට ඩොලර් බිලියන 7ක ධනවතෙක් බවට පත්ව සිටියේය.

අමෙරිකානු සිනමාවේ ප්‍රබල රංගධරයකු වන ස්ටීවන් සීගල් තිබ්බතයේ ඉහළ ලාමාවරයකුගේ නැවත උත්පත්තියක් සේ සැලකෙන කෙනෙකි. තිබ්බතයේ “තුල්කු”වරුන් ලෙස බුහුමන් ලබන මේ නැවත උපත ලද මිනිසා ඒ අතීත මහේෂාක්‍ය ජීවිතයට සමාන වන අයුරින්ම මුළුමනින්ම නිර්මාංශිකයෙක් වන අතරම සංගීතය සටන් කලාව යන අංශවලින් ද ඉහළ නිපුණත්වයක් දක්වන්නෙකි. ඩොලර් මිලියන 16ක වත්කමක් සහිත සීගල් රුසියාව සහ සයිබීරියාව වෙතින් පුරවැසිභාවය ලැබූවෙකි.
“ඉන්ඩියානා ජෝන්ස්, ස්ටාර් වෝස්”  කතා මාලාවන් ගැන කියූ සැණින්ම මතකයට එන නමකි ජොර්ජ් ලූකස්. ඩොලර් බිලියන 5.6ක වත්කම් හිමි මේ කෝටිපති සිනමාකරුවාද බෞද්ධයෙකි. 

සිනමා සටන් නළු ජෙට් ලී, ඩොලර් මිලියන 250කට වැඩි වත්කමක් ඇති පොහොසතෙකි. තිබ්බත බුදු දහම අදහන ඔහු තමන්ගේ රඟපෑම් පවා අතහැර ආගම ඉගෙනීමට කැපවූ තැනැත්තෙකි. ෂාවොලින් ටෙම්පල් සටන් කලා චිත්‍රපටයෙන් ප්‍රසිද්ධියට පත් Chow Yun-Fat බුදු දහමට අනුව අල්පේච්ඡ ජීවිතයකට හුරු වූ තමන් චිත්‍රපටකලාවෙන් හරිහම්බ කළ ඩොලර් මිලියන 714ක මුළු මුදලම දනට පිනට වැය කළ සැබෑ බෞද්ධයෙකි. අපේ කාලයේ හමුවූ හොඳම සටන් නළුවා වන ජැකී චෑන්ද උපතින්ම බොදුනුවෙකි. ඩොලර් මිලියන 400කට ආසන්න වත්කමක් සහිත ඔහු අත දිගහැර දනට පිනට දෙන්නකු ලෙස ප්‍රසිද්ධය.

අද කාටත් නැතිව බැරි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් හොඳ බෞද්ධයෙකි. ඒ ඔහුගේ බිරියගේ මඟපෙන්වීමෙන් ජීවිතයේ සිදු කළ වෙනසකි. මේ වන විට ලොව 4 වැනි පොහොසතා වන සකර්බර්ග්ගේ වස්තු සම්භාරය ඩොලර් බිලියන 90කට ආසන්නය. ඔහු මේ මුදලින් බොහෝ පුණ්‍ය ආයතනවලට නොමසුරුව ආධාර කරන්නෙකි.

 සුගත් පී. කුලතුංගආරච්චි