මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය උදය චින්තක ජයතිලක ලංකාව පුරා ඇති දුෂ්කර පාසල්වලට ගොස් පාසල්වල කුඩා දරුවන්ට ගණිත ශාස්ත්‍රය උගන්වන අපූරු ගුරුවරයෙකි. ඔහු මේ ගමන යාමට යොදාගනු ලබන්නේ තම මෝටර් බයිසිකලයයි.
කොට්ටාව විද්‍යාධාන මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය උදය චින්තක පසුව මහරගම ජනාධිපති විද්‍යාලයටත්, පසුව ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ රාජකීය විද්‍යාලයටත් ඇතුළත් විය. උසස් පෙළ සමත් වුණු ඔහු ඇතුළු වූයේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයටය. පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ටෙක්සාස් තාක්ෂණික විශ්වවිද්‍යාලයට අවතීර්ණ වුණු උදය චින්තක ආචාර්ය උපාධිය ලබාගැනීමෙන් පසුව මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කරයි.
විශ්වවිද්‍යාලයේ රුකියාව ලැබුණු කාලයේ සිටම මුලින්ම සේවයට ගියේ මගේ තාත්තගේ මෝටර් බයිසිකලයෙන්. ටික දවසකට පස්සේ මම ට්‍රේලර් බයිසිකලයක් මිලදී ගත්තා. මම සංචාරය කරන්න හරිම කැමැති කෙනෙක්. ඉඩ ලැබෙන හැම දවසකම මම ට්‍රේලර් බයිසිකලයෙන් ලංකාවේ විවිධ පැතිවල සංචාරය කළා. ඒ හැම ගමනක්ම මම තනියමයි ගියේ. ඇත්තම කිව්වොත් මුලින්ම මම බොහෝ තැන්වලට ගියේ මගේ පා පැදියෙන්. ඒකත් හරිම වෙනස් අත්දැකීම් එකතුවක් වුණා. තනියම යන ගමන හරි ලේසියි. මට ඕන තැනක නතර කරන්න පුළුවන්. මට ඕන දෙයක් කන්න පුළුවන්. හිතුණොත් මට බඩගින්නෙත් ඉන්න පුළුවන්. ඒ නිසා මේ හැම ගමනක්ම මම තනියමයි ගියේ. කැම්පස් එකටම සීමාවෙලා ඉන්න මම ආස වුණේ නැහැ. ලංකාවේ දුෂ්කර පාසල්වල දරැවන් මොන තරම් දුකක් විඳිනවාද කියල කොළඹ ඉන්න බොහෝ අයට තේරෙන්නෙ නැහැ. ඒ දරුපැටව් වෙනුවෙන් මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තු අපිත් මොනයම් හෝ දෙයක් කරන්න ඕනෙ කියල මට හිතුණා. ආචාර්ය උදය චින්තක ගුණතිලක දේශයට අදහස් දක්වමින් පැවසීය.
ගුරුවරු හිඟ, පහසුකම් අඩු දුෂ්කර පාසල්වලට යන උදය චින්තක ගණිතය විෂය දරැවන්ට උගන්වයි. ඔහු ගණිත සම්මන්ත්‍රණ පවත්වයි. ඒ හැම ගමනක් සඳහාම කොළඹ සිට උදය චින්තක යන්නේ තම ට්‍රේලර් මෝටර් බයිසිකලයෙනි.
වනාන්තර ගැන, ගස්වැල් ගැන අපේ රටේ අයට දිගින් දිගටම මතක් කළාට එය ක්‍රියාවේ යොදවනවා හරි අඩුයි. මම ගස්වලට හරිම ආදරෙයි. මගේ ගෙදර ඉඩ ප්‍රමාණය අනුව ගස් හිටවන්න අමාරුයි. ගහක් දැක්කාම මොකක්දෝ කැමැත්තක් මට තියෙනවා. ඒ නිසා මම යන හැම පාසලකම මම පැළයක් හිටෙව්වා. ඒ සඳහා මට ඒ හැම පාසලකින්ම ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම හිටපු පැළය බලාගන්න ඒ හැම පාසලකින්ම දරුවකු පත් කළා. කොළඹ ඉඳන් කෙනෙක් ගමට ඇවිත් ගහක් හිටවන්නේ ඇයි කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් මම නැතත් දවසක ඒ ගහ ලොකු වෙලා මේ රටට සෙවණ ලබා දේවි. ඔහු පැවසුවේය.
මේ වන විට ඔහු මෙරට විවිධ පළාත්වල පිහිටි පාසල් තිස් හයකට ට්‍රේලර් බයිසිකලයෙන් ගොස් ගණිත විෂය උගන්වා තිබේ. තවත් පාසල් කිහිපයකට යාමට දින වෙන්කර තිබුණද, කොවිඩ් වසංගතය ඒ සියල්ලම නතර කර තිබුණි. බොහෝ දුෂ්කර පාසල්වලට ට්‍රේලර් බයිසිකලයකින් උගන්වන්නට ආ මේ ගුරු පියාණන්ට ඒ ඒ ප්‍රදේශවලින් ලැබුණේ හොඳ ප්‍රතිචාරයකි.
ඔහු තම ඉගැන්වීම් සිදු කරන්නේ වෙනස් රටාවකටය. පාසල් දරැවන් සංඛ්‍යාව අනුව, ශාලාව අනුව මෙන්ම ඒ අවට පාසල්වල දරුවන්ගේ සහභාගීත්වය අනුව ඔහු සම්මන්ත්‍රණය පවත්වන කාලසීමාව ද වෙනස් කරයි. පහළ පන්තිවල දරුවන්ට මෙන්ම ඉහළ පන්තිවල දරුවන්ට ද කරන දේශනවල වෙනසක් තිබේ. කුඩා දරුවන්ව ගණිත විෂයට නැඹුරැ කරලීමට ඔහු අත්වැඩ ආධාරයෙන් ගණිතය උගන්වයි. එය ඔහුටම ආවේණික වුණු ගණිත රටාවකි.
කොළඹ සිට දුෂ්කර පාසල් කරා ට්‍රේලර් බයිසිකලයෙන් යන මේ ගමනේදී ඔහුට නවතින්නට ස්ථිර තැනක් නැත. ඇතැම් දිනවල ඔහු තමන් යන පාසලේම රැය ගත කරයි. ඇතැම් දිනවල කුඩා හෝටල් කාමරයක නතර වෙයි. තවත් දිනවල ඔහු යන අතරමග තම කුඩා කූඩාරම අටවා එහි රුය පහන් කරයි. ඒ හැම අවස්ථාවක්ම දැන් ඔහුට හොඳට හුරැය. කුඩා කූඩාරම අසල ගිනිමැලයක් දල්වාගන්නා ඔහු කෑමට යමක් පිසගෙන ආහාරයට ගන්නා අවස්ථා ද ඒ ගෙවුණු කාලය පුරාවට අත්දැක්කේය. ඒ හැම ගමනකදීම ට්‍රේලර් බයිසිකලය පිටුපස ගැටගසාගත් අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ කොටසක් තිබේ. පාසල් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ගුරැවරයකු ලෙස යන අතරතුරේදී ඔහු සංචාරකයෙක් ද වෙයි.
මේ ගමන යද්දී මට දැන් ඒ වෙහෙස දැනෙන්නේ නැහැ. මට දැන් ඒ ගමන හොඳට හුරැයි. මම මගේ ට්‍රේලර් බයිසිකලයෙන් ලංකාවේ දූපත් හතරකට ගිහින් තියෙනවා. බයිසිකලය බෝට්ටුවේ පටවාගෙන ගිහින් මම ඒ දූපත් වටේ පැදලා ආයේ ඇවිත් තියෙනවා. මම හිතන විදිහට ලංකාවේ නොගිය තැනක් නැහැ. මම වැස්සට තෙමුණා. අව්වට පිච්චුණා. සමහර කාලවලදී මට විශ්වවිද්‍යාලයේ නිවාඩු ලැබෙන්නේ වැහි කාලෙදියි. ඉතින් වැස්ස ගැන හිතන්නේ නැතිව මම බයිසිකලේ පාසල්වලට යනවා. මට දැන් ඒවා පුරැදුයි. මම බයිසිකලෙන් යාපනයේ දහ පහළොස් වතාවක් පමණ ගිහින් තියෙනවා. මම ට්‍රේලර් බයිසිකලයට අමතරව යාපනේ පා පැදියෙන් පවා ගිහින් තියෙනවා. ඒකට දවස් තුනක් ගත වුණා. මුල් දවසේ මම පුත්තලමේත් දෙවැනි දවසේ වව්නියාවේත් තුන්වැනි දවසේ යාපනේත් නතර වුණා. ඒ ගමන වෙනස්ම අත්දැකීමක්. ලංකාව වටේම මම ට්‍රේලර් බයිසිකලයෙන් කිහිප වතාවක්ම සංචාරය කරලා තියෙනවා. ආචාර්ය උදය චින්තක ජයතිලක දේශයට පැවසීය.
මේ හැම ගමනකටම වැයවන මුදල ඔහු තම පෞද්ගලික ආදායමෙන් වෙන් කරගනියි. ඒ සඳහා කිසිදු අනුග්‍රාහකයකු එකතු කර ගන්නේ නැත. ඔහුගේ විශ්වවිද්‍යාල ගෝලයෝ මේ දුෂ්කර පාසල් සොයා දෙන්නට මහන්සි වෙති. මේ ගණිත සම්මන්ත්‍රණය සඳහා වැයවන මුදලට දායකත්වය ලබාදීමට අනුග්‍රාහකයන් කිහිප දෙනකු කැමැත්ත පළ කර තිබුණද, ආචාර්ය උදය චින්තක එයට කැමැති වූයේ නැත.
උදය චින්තක ගණිතයට පමණක් නොව සංගීතයට ද ඉතා කැමැති කථිකාචාර්යවරයෙකි. ඔහු ප්‍රේමදාස මුදුන්කොටුව ගුරුතුමාගෙන් සංගීතය ඉගෙනගත් ගෝලයෙකි. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විෂයක් ලෙස සංගීතය ඉගැන්වීමේ මූලිකත්වය ගනු ලැබුවේද ආචාර්ය උදය චින්තක ජයතිලකය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ඔහු විදෙස් රටවලට ගිය අවස්ථාවලදී ඒ රටවලද ට්‍රේලර් බයිසිකලයෙන් සංචාරය කර ඇත. ඔහු ඉන්දියාවේ දවස් දාහතරක් තුළදී කිලෝමීටර් තුන් දහසකට අධික දුරක් එරටින් කුලියට ගත් ට්‍රේලර් බයිසිකලයෙන් සංචාරය කර තිබේ. මීට අමතරව ඔහු මේ වන විට ලාඕසය, කාම්බෝජය, වියට්නාමය, නේපාලය වැනි රටවල්වලට ගොස් එහිදී මෝටර් බයිසිකලයක් කුලියට ගෙන තමන්ට හිතුණු හැටියට ඒ රටවල්වල සංචාරය කර ඇත. ඒ රටවල සංචාරය කිරීමේදී භාෂාමය ගැටලුවක් එතරම් මතු වී නැත. ඔහු ඒ රටවලදී ඉංග්‍රීසි භාෂාව කතා කළේය. ඒ හැම රටකින්ම ලංකාව බෞද්ධ රටක් වීම නිසාම පිළිගැනීමක් ලැබුණු බව ආචාර්ය උදය පවසයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් දෙය මතු පරපුරට ඉදිරියටත් ලබාදීම ඔහුගේ බලාපොරොත්තුවය. කොවිඩ් වසංගතයෙන් මඳ සහනයක් ලද සැණින් නැවතත් තම ගුරු - සංචාර ගමන ඇරඹීම ඔහුගේ අපේක්ෂාවයි.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ