2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

තියැන්ජින් වරායේ ආදර්ශය

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 39

 

කොළඹ වරාය වෘත්තීය සමිති අරගලය තුනී වී තිබේ. 2019 වසරේසිට සාකච්ඡා කරන වරායේ නැගෙනහිර පර්යන්තය පුළුල් කරන ආයෝජන සැලැස්ම ආපසු හරවන්නට එම අරගලය සමත්ව තිබේ. වරාය අධිකාරිය එනම් ශ‍්‍රී ලංකා රජය, ඉන්දියාව හා ජපානය එකතු වී පර්යන්තය නවීකරණය කරන සැලසුමක් තිබුණි. පසුගිය වසරේ ජූලි මාසයේ දී ඇවිලී ගිය සටන තාවකාලිකව නතර වූ අතර එකලද දින ගණනාවක් වරාය කටයුතු අඩාල විය. ආයෝජනය ගැන නැවතත් පැනනැගුණු විරෝධය සමස්ත සමාජය තිගැස්මකට ලක් කළේය. එක පැත්තකින් ආර්ථික ප‍්‍රශ්න අනෙක් පැත්තකින් කොවිඩ් වසංගතයේ බලපෑම නැගෙමින් තිබිය දී වෘත්තීය සමිති බලමුළුව එල්ල කළ පීඩනය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා සසල කරන්නට සමත්වීම විශේෂත්වයකි.

වෘත්තීය සමිතිවල බලය ඉහළටම නැග තිබේ. ලෝක ස්වභාවය එහෙමම පවතින්නේ නැත. වැඩකරන ජනතාව පෙළ ගස්වා බලය පෙන්වන සමිති නායකයෝ හෙට දවස ගැන කල්පනා කිරීම සුදුසුය. තාක්ෂණයෙන් සහ කෘත්‍රීම බුද්ධයෙන් හැඩවෙමින් තිබෙන කාල වකවානුවකි. මනුෂ්‍ය තීරණ අවශ්‍යම නැති අවකාශයක් විවර වෙමින් තිබේ. චීනයේ තියැන්ජින් වරාය එයට හොඳම උදාහරණයකි. පසුගිය වසරේ අග භාගයේ තියැන්ජින් වරායේ අංගනයක් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රිය බහාලුම් ප‍්‍රවාහන සේවයක් ආරම්භ කළේය. වරායට භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක් සේන්දු වූ විට එය නතර කරන තැන තීරණය කර නැව මෙහෙයවන්නේ පරිගණකයකි. නැංගුරම් ලෑමෙන් පසු නියමිත පණිවුඩ හුවමාරුවලින් කාර්යය තීරණය කෙරේ. නැව තුළ ඇති ගොඩබෑම් සහ පැටවීම් ගැන තොරතුරු නව තියැන්ජින් වරායට සැතපුම් ගණනක් ඈත තිබියදී වාර්තාකර තිබේ. තොරතුරු සන්නිවේදනයේ දියුණුව එයින් පෙන්වයි. නැව තුළ ඇති භාණ්ඩ දොඹකරවලින් පිටතට ගන්නා අවස්ථාවේදී රියැදුරන් රහිත භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථ සීරුවට පැමිණෙයි. ස්ථිරවම නතර කළ යුතු තැන නියම කරන්නේ පරිගණකයයි. එය පස්වැනි පරම්පරාවේ සන්නිවේදන ජාලාවලින් කෙරේ. කෘත්‍රීම බුද්ධිය භාවිතා වන අතර නියමිත පරිගණක පද්ධති සම්පාදනය කර ඇත. දශමයකින් හෝ වරදක් සිදු නොවන තැනට ගොඩබෑම සිදුවන අතර එය පිටත් වූ වහා අනෙක් ට‍්‍රක් රථය පැමිණ තිබේ. එයද රියැදුරෙකු රහිතය. එක පැත්තකින් කන්ටේනර් ගොඩබාන අතර අනෙක් පැත්තකින් නැවට පැටවිය යුතු කන්ටේනර් ස්වයංක‍්‍රීයව පැටවීම සිදුවෙයි. දහස් ගණනක ශ‍්‍රම බලකායක් සිටිය යුතු තැනක පද්ධති කළමනාකරුවෝ පමණක් පහසුවෙන් බලා සිටින අතර සිදුවන සිද්ධි නිරීක්ෂණය කරන්නේ පරිගණක තිරයෙන්ය. 

තියැන්ජින් වරායේ එක අංගනයක සිදුවන මෙම ක්‍රියාදාමය සිහිනයක් නොවේ. දැන් සිදුවන පරිවර්තනයක එක කොටසකි. වාර්තා දක්වන අන්දමට රියැදුරන් රහිත ට‍්‍රක් රථ පනහක් සේවයට යොදවා තිබේ. ඉතාම කාර්යක්ෂම වී ඇති අතර වියදම බිංදුවට බැස තිබේ. පැය විසිහතරම පමණක් නොව මාසයේ දවස් තිහම සේවයට සූදානම්ය. රියැදුරන් වැඩ කණ්ඩායම් හත අටක් වෙහෙස නොබලා කරන ලද කාර්යය ඉතා පහසුවෙන් අවසන් කරන්නට යන්ත‍්‍රවලට හැකියාව ලැබී ඇත. මෙම මෙහෙයුම තුළ වෘත්තීය සමිති නැත. වෘත්තීය සමිති නායකයන්ගේ බලපෑම අහෝසි වී තිබේ. ක්ෂින්හුවා පුවත්  ඒජන්සිය දක්වන අන්දමට නැව් සමාගම් මෙම වෙනස්කම්වලට බලවත් ප‍්‍රසාදය දක්වා ඇත.  

තියැන්ජින් චීනයේ උතුරු තීරයේ පිහිටි ප‍්‍රදේශයකි. දිස්ත‍්‍රික්ක දහසයක් ආවරණය කෙරේ. වරාය එහි ප‍්‍රධාන ආර්ථික කලාපයකි. 2000 වසරේ සිට තියැන්ජින් වරාය දියුණු කරන යෝජනා ක‍්‍රියාවට නැගිණි. තාක්ෂණික වෙනස්කම් එහි මුල්තැනක විය. පස්වැනි පරම්පරාවේ සන්න්වේදනය, ත්‍රිමාණ කැමරා ආම්පන්න සහ රොබෝවරු වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කර තිබේ. අද වනවිට තියැන්ජින් වරාය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රිය තත්ත්වයට පත් ලෝකයේ පළමු වරාය බවට ඉතිහාසයට එක්ව ඇත. තාක්ෂණික දත්ත දක්වන අන්දමට තත්ත්පර තුනක් ඇතුළත භාණ්ඩයක හැඩය හඳුනාගන්නට පද්ධති මෙහෙයුම් සමත්ව තිබේ. එම හඳුනාගැනීම සියයට අනූ පහක් නිරවද්‍යය. මෙම වේගය වාර්තාගත එකකි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් කලබැගෑනියක් රහිතව වරාය මෙහෙයුම් දියුණු වී ඇත. 

වසර 2020 මූල්‍ය වාර්තා දක්වන පරිදි කන්ටේනර් මිලියන 18.3ක් මෙහෙයවා තිබේ. කොළඹ වරායේ සම්පූර්ණ මෙහෙයුම්වලට වඩා තුන් ගුණයකි. විදුලියෙන් බලගැන්වෙන ට‍්‍රක් යෙදවීම නිසා පරිසර හිතකර වරායකි. අනෙක් අතට එහි මෙහෙයුම් පිරිවැය සියයට විසි පහකින් අඩු වී ඇති අතර බලශක්ති වියදම සියයට පනහකින් අඩු වී තිබේ. වරායට එන නැව් ප‍්‍රමාණය සහ භාන්ඩ හැසිරවීම සියයට හයක වර්ධනයක් දක්වා තිබේ. රටවල් දෙසීයක වරාය අටසියයකට භාණ්ඩ හුවමාරු කරන්නට සමත්ව ඇති බව වාර්තා දක්වයි.

කිසිම විරෝධයක් රහිතව තියැන්ජින් පැමිණි ගමන ජගත් ප‍්‍රජාවට ආදර්ශයක් වී තිබේ. වේගයෙන් භාණ්ඩ හුවමාරුව කරන අතර ඉතාම නිවැරදිව, පරිසර හානියක් රහිතව වරායක් මෙහෙයවන වගකීම ඉටුකර ඇත. වැඩි වැටුප් හා බෝනස් ඉල්ලන තර්ජනයක් නැත. වරාය පෞද්ගලීකරණය කරන හෝ ප‍්‍රතිසංස්කරණ ප‍්‍රතික්ෂේප කරන විරෝධතා රහිතය. රොබෝවරු අට්ටාලයට නැග ඉල්ලීම් දෙන තෙක් අඛණ්ඩ උපවාසයක බව මෙගෆොන්වලින් කෑගසන බවක්ද වාර්තා නොවේ. අවසානයේදී තියැන්ජින් නගරයට ධන උල්පතක් පෑදී තිබේ. දිනපතා කඩිනම් වන වරාය මෙහෙයුම් ජනතාවගේ අතට ආදායම් ගලා එන තැනට පත්ව ඇත. අනාගතයේ සිදුවන විප්ලවය ගැන අවධානය යොමු කළ යුතුය. අත පය විසිකර ආණ්ඩු මට්ටු කිරීම හැමදාමක් කරන්නට බැරිකමක් නැත. අවසානයේදී වන්දි ගෙවන්නේ ජනතාව බව මෙම තාක්ෂණික දියුණුව පෙන්වා දෙන බව සඳහන් කළ යුතුය.

ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03