2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

වසර 132ක් පරණ වෙන්දේසිකරුවන් සහ තරැව්කරුවන් පිළිබඳ නීතිය

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

වෙන්දේසිකරුවන් සහ තැරුව්කරුවන්ගේ ආඥා පනත වෙන්දේසිකරුවන්ගේ සහ තැරුව්කරුවන්ගේ බලපත‍්‍ර ලබාදීම සඳහා වූ විධිවිධාන සලසන ලද ආඥා පනතකි.

මෙම ආඥා පනත 1889 වර්ෂයේදී සම්මත කරනු ලදුව, 1909 අංක 26, 1921 අංක 18, 1922 අංක 25, 1930 අංක 17, 1952 අංක 39 සහ අවසාන වශයෙන් 2005 අංක 12 දරණ දඩ වැඩි කිරීමේ පනතින් සංශෝධනය කර ඇත.
මෙම පනතේ පරමාර්ථය වනුයේ ප‍්‍රසිද්ධ වෙන්දේසිකරුවන් හා තැරුව්කරුවන් තම ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ලියාපදිංචි ගාස්තු හා ආනුෂාංගික විධිවිධාන සැලැසීම සඳහා වන අතර, මෙම පනත අදටත් වලංගුව පවතී.
මෙම පනත යටතේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද බලපත‍්‍රයක අධිකාරිය යටතේ මිස කිසිදු පළාත් පාලන ආයතනයක පරිපාලන සීමාවන් තුළ කිසිදු ප‍්‍රදේශයක වෙන්දේසිකරුවකුගේ හෝ තැරැව්කරුවකුගේ වෙළෙඳාම හෝ ව්‍යාපාරය පවත්වාගෙන නොයා යුතුය.

ඉහත සඳහන් උපවගන්තිය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත‍්‍රයක්ම මෙම පනතේ උපලේඛනයෙහි දක්වා ඇති ආකෘතියේ තිබිය යුතුය. මෙම උපලේඛනයෙහි සඳහන් වන්නේ ව්‍යාපාරය පිළිබඳ විස්තරයන්ය.
නිකුත් කරන ලද එවැනි සෑම බලපත‍්‍රයකම නිකුත් කළ දින සිට ඊළඟ දෙසැම්බර් මස 31 වැනි දින දක්වා බලපැවැත්වෙන අතර, එය ලබාදී ඇති කොන්දේසි සහ එය භාවිත කළ හැකි සීමාවන් නියම කළ යුතුය.
මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව අමාත්‍යවරයා විසින් සෑම පළාත් පාලන ආයතනයකටම වෙන්දේසිකරුවකුගේ හෝ තැරුව්කරුවකුගේ හෝ වෙළඳ හෝ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍ර සම්බන්ධයෙන් ගෙවිය යුතු ගාස්තු නියම කළ හැකිය. ඕනෑම මහ නගර සභාවක් වනවිට වෙන්දේසිකරු හෝ තැරුව්කරු රුපියල් 200/=ක් ද, වෙනත් පළාත් පාලන ආයතනයක නම් රුපියල් 60/=ක් ගෙවිය යුතුය.

කිසියම් ප‍්‍රදේශයක් තුළ වෙන්දේසිකරුවකුගේ හෝ තැරුව්කරුවකුගේ වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍රයක් දරන්නා වෙනත් කිසියම් ප‍්‍රදේශයක එකම කාල පරිච්ඡේදයක් සඳහා එවැනි වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා බලපත‍්‍රයක් සඳහා ඉල්ලුම් කරන්නේ නම්, මහ නගර සභාවක් හෝ මහ නගර සභාවක් නොවන වෙනත් පළාත් පාලන ආයතනයක් සඳහා එවැනි අයදුම්කරුවකු විසින් ගෙවිය යුතු ගාස්තුව, එම බලපත‍්‍රයෙහි සඳහන් නියම කර ඇති ගාස්තුවෙන් අඩක් ගෙවිය යුතුය. (එනම්, රුපියල් 100/=ක් සහ රුපියල් 60/=ක් ගෙවිය යුතුය.)


මෙම ආඥා පනත යටතේ බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා කිසියම් පළාත් පාලන ආයතනයක් විසින් අයකරනු ලබන සියලුම ගාස්තු එම අධිකාරියේ අරමුදල්වලට ගෙවනු ලැබිය යුතුය.
සභාපතිවරයාට ඔහු විසින් ලිඛිතව යම්කිසි හේතුවක් නිසා, එවැනි බලපත‍්‍රයක් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කළ හැකි අතර, ඔහුගේ අභිමතය පරිදි ඔහු සුදුසු යැයි සිතිය හැකි කොන්දේසි එයට ඇතුළු කළ හැකිය. යම්කිසි කොන්දේසියක් හෝ කොන්දේසි උල්ලංඝණය කෙරෙන අවස්ථාවක ඔහුව සෑහීමට පත් නොකරන්නේ නම්, එම බලපත‍්‍රය අහෝසි කළ හැකිය.

සභාපතිවරයාගේ නියෝගයකින් අගතියට පත් ඕනෑම තැනැත්තකුට බලපත‍්‍රයක් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කිරීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. එවැනි නියෝගයක් නිකුත් කළ දින සිට දින හත (07)ක් ඇතුළත අමාත්‍යවරයාගේ තීරණය ලබාදිය යුතු අතර, එය අවසාන සහ තීරණාත්මක විය යුතුය.
සභාපතිවරයා සෑම මසකම ආරම්භයේදී ප‍්‍රාදේශීය පුවත්පත් එකක හෝ වැඩි ගණනක වෙන්දේසිකරුවන්ගේ නම් පළ කිරීමට සැලැස්විය යුතු අතර, ඊට පෙර මාසයේදී ඔහු විසින් බලපත‍්‍ර ලබාදී ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවක්, යම්කිසි අවස්ථාවක බලපත‍්‍රය අවලංගු කර ඇති පුද්ගලයාගේ නම ඉහත ආකාරයට ප‍්‍රකාශයට පත්කළ යුතුය.

ඉහත සඳහන් ආකාරයේ බලපත‍්‍රයක් ලබා නොගෙන හෝ පසුව එම බලපත‍්‍රය ඉවත් කරන ලද වෙන්දේසිකරුවකු හෝ තැරුව්කරුවකු එකී වෙළෙඳාම හෝ ව්‍යාපාරය පවත්වාගෙන යාමට උත්සාහ කරන හෝ ප‍්‍රකාශ කරන සෑම පුද්ගලයකුම වරදකට වරදකරුවකු විය යුතුය. පළමු වරදට රුපියල් සියය නොඉක්මවන දඩයකට යටත් වන අතර, පසුව කරනු ලබන සෑම වරදකටම රුපියල් 500/= නොඉක්මවන දඩයකට යටත් විය යුතුය. මෙම රුපියල් 500/= දඩ මුදල 2005 අංක 12 දරණ දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් රුපියල් 750/= දක්වා වැඩි කර ඇත.

මෙම ආඥා පනතේ අරමුණු

වෙන්දේසිකරුවකු ලෙස තම ව්‍යාපාරය කරගෙන යාමේදී රුපියල් 50/=ක් හෝ ඊට වඩා වැඩි මුදලක් වටිනා චංචල හෝ නිශ්චල දේපළ විකුණන්නේ නම් මිස සහ තැරැව්කරුවකු වශයෙන් රුපියල් 50/= කට වඩා වැඩි වටිනාකමක් ඇති චංචල හෝ නිශ්චල දේපළ විකුණන්නේ නම් මිස වෙන්දේසිකරුවකු හෝ තැරැව්කරුවකු ලෙස නොසැලකිය යුතුය.
මෙම ආඥා පනතේ පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, 
‘සභාපති’ යනු, ඕනෑම මහ නගර සභාවකට අදාළව එම කවුන්සිලයේ නගරාධිපති වන අතර, වෙනත් ඕනෑම පළාත්පාලන ආයතනයක් සම්බන්ධයෙන් එම පළාත් පාලන ආයතනයේ සභාපති වේ.
‘පළාත් පාලන ආයතනය’

ඕනෑම මහ නගර සභාවක්, නාගරික කවුන්සිලයක්, නගර සභාවක් හෝ ගම්සභාවක් මෙයින් අදහස් කෙරේ. 
මෙම පනත 1889 වර්ෂයේදී සම්මත කර ඇති නමුත්, තැරුව්කරුවකුගේ හෝ වෙන්දේසිකරුවකු වශයෙන් යම්කිසි පළාත් පාලන ආයතනයක ලියාපදිංචි කරන්නේ නම්, මහ නගර සභාවක් වනවිට රුපියල් 200/= ක් ද, මහ නගර සභාවක් නොවන නගර සභාවක, ප‍්‍රාදේශීය සභාවක නම් රුපියල් 60/=ක් වේ.

මෙම ආඥා පනතේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව දැනට අවුරුදු 132කට පෙර සම්මත කරනු ලදුව හා අවසාන වශයෙන් මෙයට අවුරුදු 69කට පෙර සංශෝධනය කර ඇත. එම කාලය තුළ පනවන ලද ගාස්තුව වැඩිකර නොමැති අතර, මෙම පනතේ විධිවිධාන කඩකරන තැනැත්තකුට එකල පනවන ලද රුපියල් 500/= දඩ මුදල 2005 අංක 12 දරන පනතින් රුපියල් 750/= දක්වා වැඩි කර ඇත.


කෙසේ වෙතත්, මෙම පනතේ වරදකට වරදකරුවකු වීමේදී පනවන ලද දඩය රුපියල් 100/= ට නොඅඩු හා රුපියල් 500/=ට නොවැඩි දඩයක් වේ. එකල පනවන ලද මෙම දඩය අද පවතින තත්ත්වය හා සසඳා බැලීමේදී එකල විශාල මුදලකි.
එහෙත්, 2005 අංක 12 දරණ දඩ වැඩි කිරීමේ පනත මගින් වැඩි කරන ලද රුපියල් 750/= ඉතා සුළු මුදලක් වන අතර, කෝටි ගණන් වටිනා දේපළ වෙන්දේසි කරන හෝ තැරුව්කරුවකු වශයෙන් ක‍්‍රියාකරන තැනැත්තකු තම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේදී ගාස්තුව වන්නේ මහ නගර සභාවක් වනවිට රුපියල් 200/= කි. මහ නගර සභාවක් නොවන නගර සභාවක්, ටවුන් කවුන්සිලයක් හෝ ගම් සභාවක් වන විට රුපියල් 60/=කි. අදටත්, ගෙවිය යුත්තේ එම ගාස්තුවමය.
කෙසේ වුවත්, යම්කිසි මහ නගර සභාවක පරිපාලන ප‍්‍රදේශය තුළ යම්කිසි ඉඩමක් විකුණන්නේ නම්, එම ඉඩමෙ හි වටිනාකමෙන් සියයට එක (01)ක බදු මුදලක් අයකර ගැනීමට මහ නගර සභා ආඥා පනතේ 247 වන වගන්තියෙන් බලය පවරා ඇත.

එමෙන්ම, නගර සභාවක් වන විට නගර සභා ආඥා පනතේ 165 (ඇ) වගන්තිය යටතේද සියයට එක (01)ක බදු මුදලක් අයකර ගැනීමට විධිවිධාන සලසා ඇත.
ප‍්‍රාදේශීය සභා පනත යටතේද එම ප‍්‍රදේශය තුළ යම්කිසි නිශ්චල දේපළක් වෙන්දේසි කිරීමේදී මුළු වටිනාකමෙන් සියයට එක (01)ක බදු මුදලක් අයකර ගැනීමට විධිවිධාන සලසා ඇත.
නමුත්, චංචල භාණ්ඩ වෙන්දේසි කිරීමේ කිසිදු හෝ බද්දක් අය නොකෙරේ. ශ‍්‍රී ලංකාවේ දැනට ප‍්‍රසිද්ධ වෙන්දේසිකරුවන් හා තැරැව්කරුවන් මෙන්ම පෞද්ගලික සහ රජයේ බැංකුද, රජයේ සමහර ආයතනද, මුදල් සමාගම්ද, චංචල දේපළ වෙන්දේසි කිරීමේදී එම ආයතනවලට අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි විය යුතු අතර, එම ගාස්තුව මහ නගර සභාවක් වනවිට රුපියල් 200/= ක් ද, මහ නගර සභාවක් නොවන වෙනත් පළාත් පාලන ආයතනයක් වන විට රුපියල් 60/= ක් ද වේ.