2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

බෙන්තොට දී ගහගත් යුක්‍රේන සංචාරකයෝ

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

රජය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව යුක්රේන ජාතිකයින් සැලකියයුතු පිරිසක් මෙරටට පැමිණ සිටිති. සංචාරක කර්මාන්තයේ නැවත නැගී සිටීමට යහපත් ආරම්භයක් මේ හරහා ලැබෙනු ඇතැයි සමස්ත ලක්වාසීන්ගේ අපේක්ෂාවයි. කෙසේ නමුත් යුක්‍රේන සංචාරක ආගමනය සමඟ ඇතිවූ ගැටලු සහ මැවුණු පුවත්ද සුළුකොට තැකිය නොහැකිය. යමක් ආරම්භ කරන විට ඊට දෙස් දෙවොල් තියන්නෝ බොහෝය. එසේ නමුත් ඇතිවූ සහ ඇතිවෙමින් ඇති අර්බුදය සමාලෝචනය කොට විසඳුම් සෙවීමට බලධාරීන්ට පියවර ගතයුතුව තිබේ.

පසුගියදා යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් සංචාරක හෝටලයේදී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල හරහා සංසරණය වූ වීඩියෝවක් මගින් දැකගත හැකිවිය. බෙන්තොට ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට සංචාරක හෝටලයක අවන්හලක් තුළදී මෙම බහින් බස්වීම සිදුවී තිබුණි. ගැටුම අතරතුර ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින්ද එකිනෙකාට දමාගසන අයුරු එම වීඩියෝවේ අනතර්ගත විය. කෙසේ නමුත් මෙම වීඩියෝව අන්තර්ජාල හරහා වේගයෙන් සංසරණය වූ අතර ලංකාවට ගෙන්වන්නේ මෙවන් සංචාරකයන්දැයි ඇතැම්හු ප්‍රශ්න කළහ.

අප සොයා බැලූ ආකාරයට මෙරට සංචාරක හෝටල් තුළ කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන් අතර ගැටලු ඇතිවීම සුලභය. විශේෂයෙන්ම රුසියානු, චීන සහ ඉන්දියානු සංචාරක කණ්ඩායම් අභ්‍යන්තරයේ කොතෙකුත් ගැටුම් ඇති වී තිබේ. රුසියානු යුක්‍රේන සංචාරකයන්ගේ විනය දුර්වල බව සංචාරක කර්මාන්ත නියුතු වූවෝ පෙන්වා දෙති. සංචාරක කර්මාන්ත සක්‍රීයව පැවති එම කලා වකවානුවල එවැනි ගැටුම් හෝ විනයක් නොමැති හැසිරීම් වීඩියෝ කරන්නට හෝ උළුප්පා දැක්වීමට කිසිවෙක් උත්සුක නොවූහ. 

අදාළ ප්‍රදේශයේ හෝටල් සේවකයකුගෙන් අපි මෙම ගැටුම පිළිබඳ විමසා සිටියෙමු. මෙවන් දෑ උලුප්පා දැක්වීම නොකරන ලෙස ඔහු අපගෙන්ද ඉල්ලා සිටියේය. එහෙත් මේ වනවිටත් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මෙම සිදුවීම ප්‍රමුඛ පුවතක් කොට වාර්තා කර හමාරය. සැබවින්ම සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීම පිළිබඳ සැබෑ ලෙසම සාකච්ඡා කළයුතු ප්‍රශ්න තිබේ. එහෙත් ඒවාට නිසි වටිනාකමක් ඔවුන් ලබාදෙන්නේ නැත.

යුක්‍රේන සංචාරකයන් දිවයින පුරා සංචාරය කළද ප්‍රධාන වශයෙන් එම සංචාරකයන් ලැගුම් ගෙන සිටින්නේ බෙන්තර අලුත්ගම සංචාරක කලාපයේය. ඔවුන් ලැගුම්ගෙන සිටින හෝටල් ආශ්‍රිත වෙරළ තීරයට සාමාන්‍ය ජනයාට ඇතුල්වීම තහනම් කර තිබේ. මෙය කෝවිඩ් වසංගතය හමුවේ සාධාරණ තත්ත්වයක් බව පෙනී යයි. එහෙත් මෙම ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ජීවිකාව කරගෙන ජීවත්වන ජනයා මතු කරන්නේ වෙනත් කතාවකි. එය මේ දක්වා කිසිවකුට විෂය වී නොමැත.

එකී සංචාරක හෝටල් වටා වක්‍රව ආදායම් ලබන වෙරළ නියාමකයන් (Beach Boy), වෙරළ වෙළෙන්දන්, ත්‍රීරෝද රථ සහ මෝටර් රථ හිමියන් රියැදුරන් ආදී විශාල පිරිසක් සිටිති. මෙම හෝටල් නිරෝධායන හෝටල් ලෙස පැවතීම හරහා ඔවුනට කිසිදු සහනයක් ලැබී නැත. එහෙත් හෝටල් සේවකයෝ අධික මිල ගණන්වලට සංචාරකයන්ට අවශ්‍ය තේකොළ, කුළුබඩු, දේශීය ඖෂධ ඇතුළු ද්‍රව්‍ය පිටතින් ගෙන්වා රහසේ හෝටල් තුළ අලෙවි කරති. සරැවට කෙරෙන මෙම ව්‍යාපාරවලට ආරක්ෂක අංශ මෙන්ම හෝටල් ඉහළ කළමනාකාරීත්වයද සම්බන්ධ බව අසන්නට ලැබේ. වෙනදාට මෙම ආදායම් බෙදී ගියේ හෝටල්වලින් පිටත සිටි පිරිස අතරයි. නමුත් අද එය සම්පූර්ණයෙන් හෝටල් සේවකයන් සහ ඔවුන්ට හිතවත් සුළු පිරිසක් අතරට පත්ව තිබේ. මේ පිළිබඳ ඉතා නොරිස්සුම් සිතින් පසුවන සංචාරක කර්මාන්තයේ නියුතු වූ පිරිසක් අපට හමුවිය.

ප්‍රධාන වශයෙන් ඔවුන් ප්‍රශ්න කර සිටින්නේ මෙම තෝරාගත් සංචාරක හෝටල් දිගින් දිගටම මෙම නිරෝධායන ක්‍රමවේද හරහා ඉදිරියට ගියහොත් තමන්හට කුමක් වේද යන්නයි. දිවයිනට පළමුව පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් මෙම හෝටල් දිගින් දිගටම පහසුකම් සැපයීම සිදු කළහොත් මෙම ප්‍රදේශවල තත්ත්වය නරක අතට හැරෙනු ඇත. උද්ඝෝෂණ විරෝධතා සම්බන්ධවද මෙම පිරිස අවධානය යොමුකොට ඇති බව පෙනෙන්නට තිබේ. මෙම සංචාරක හෝටල් තුළ නිරෝධායන කාලය ගතකරන සංචාරකයන් අනතුරුව දිවයිනේ අනෙක් ප්‍රදේශවල ඉදිරියේදී නිදහසේ සංචාරක කරනු ඇත. එසේ වුවහොත් ලාභය සම්පූර්ණයෙන් හෝටල් හිමියන්ට සහ හෝටල් සේවයන්ට පමණක් වන අතර මෙම කලාපයේ සංචාරක කර්මාන්තයේ නියුතු සෙසු පිරිස් තවදුරටත් අසරණ වීමට ඉඩ තිබේ.

මීට අමතරව සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කිරීමත් සමඟ එල්ලවන චෝදනා පිළිබඳවද සොයා බැලිය යුතුය. මුලදී සංචාරක මණ්ඩලය විසින් සකස් කළ සැලැස්ම කුණු කූඩයට දමා ඇතැමුන්ගේ වුවමනා එපාකම් මත සංචාරක කර්මාන්තය ආරම්භ කර ඇති බව එක් චෝදනාවකි. කොරෝනා අවධානය අඩු රටවලින් සංචාරකයන් ගෙන්වා ගැනීමට මුලදී සාකච්ඡා වූ නමුත් අද වනවිට පෞද්ගලික වාසි තකා කොවිඩ් අවදානම ඉහළ රටවලින් සංචාරකයන් ගෙන ඒමට උත්සාහ දරණ බවට චෝදනා කරන්නේ මෙරට විපක්ෂයයි.

තවද සෞඛ්‍ය අමාත්‍යාංශ පාර්ශවයෙන්ද යම් චෝදනාත්මක ප්‍රකාශයක් ගෙවුණු සතියේ අසන්නට ලැබුණි. සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීමත් සමග ඒ හරහා කොවිඩ් නව ප්‍රභේදයන් මෙරටට පැමිණීමේ වැඩි ඉඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය හමුවේ පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ සංචාරක කර්මාන්තය ආරම්භ කළ පමණින් එහි සම්පූර්ණ වගකීම එම අමාත්‍යාංශය යටතට ගැනීමට නොහැකි බව ඔහු පවසා තිබුණි. එම නිසාම ලබාදී ඇති මාර්ගෝපදේශයන්වලට යටත් වෙමින් සංචාරක කර්මාන්තයේ වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවත් එලෙස කටයුතු නොකරන සෞඛ්‍ය බලධාරීන්ට පමණක් ඇඟිල්ල දිගු කිරීම වැරැදිසහගත බවත් මෙහිදී අවධාරණය විය.

කෙසේ නමුත් කෝවිඩ් වසංගතය සමඟ සංචාරක කර්මාන්ත නැවත ආරම්භ කිරීමේ උත්සාහය සාධනීය බව නැවත පසක් කළ යුතුය. රට විවෘත කිරීමෙන් පසු ලංකාවට ආ යුක්රේන සංචාරක කණ්ඩායමේ සිටි තවත් තුන්දෙනකුට කොරෝනා ආසාදනය වී බව පසුගියදා කියැවුණි. ඒ අනුව මේ වනවිට සංචාරක කණ්ඩායමේ 6 දෙනකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම ආසාදිතයන් හෝටල් පරිශ්‍ර තුළම වෙන්කොට තබා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට බලධාරීන් කටයුතු කොට තිබේ.

මේ අතර පසුගිය 2 වැනිදා යුක්රේනයේ සිට ගුවන්යානා දෙකකින් සංචාරකයන් 320 දෙනකු මත්තල ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ. මින් පෙර පැමිණි සංචාරකයන්ගෙන් 353 දෙනෙකු සිය සංචාරය සාර්ථකව නිමකොට නැවත එම ගුවන් යානාවලින්ම යුක්රේනය බලා නැවත පිටව ගියහ. සමස්තයක් ලෙස මෙම සිදුවීම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිඹිබු කරන බව බලධාරීහු පෙන්වා දෙති. ඒ අතර එන්නත්කරණ වැඩපිළිවෙළ නිමාවීමත් සමඟ සංචාරක ව්‍යාපාරයේ නීති තවදුරටත් ලිහිල් කරන බව පසුගියදා සංචාරක අමාත්‍යවරයා කියා තිබුණි. කොරෝනා අර්බුදය හමුවේ වුවද ලෝකයේ රටවල් තිහකින් සංචාරකයන් ගෙන්වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවද අමාත්‍යවරයා කියා තිබුණි.

ඒ අනුව සංචාරක කර්මාන්තය පිළිබඳ යම් අපේක්ෂාවක් තබාගත හැකි බව පෙනී යයි. එසේ නමුත් අභ්‍යන්තරයේ වන ගැටලු සොයාබලා සමාලෝචනය කර විසඳුම් ලබාදෙමින් ඉදිරියට යාමට බලධාරීන් උත්සාහ දැරිය යුතුය. සංචාරක කර්මාන්තය රට ඩොලර් ලැබෙන මඟක් පමණක් නොව රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය බවද සියල්ලෝම අමතක නොකළ යුතුය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03