“හැමදේම කරන්නෙ කන්න නේ... මැරෙන්න හරි කාලා ඉන්න ඕන...” ගිනි ගණන්වලට ලොරිවලින් එළවළු පන්සීය, දෙසීය පනහ මිලට ගන්නා අපේ ගම් ප‍්‍රදේශයේ වැසියන් එසේ මුමුණන අයුරු කනට ඇසුණු වාර අනන්තය. ලොරි වෙළෙන්ඳන් වැඩි දෙනෙක් පොදු මිලකට එළවළු අලෙවි කරනු ලබන්නේ ද කපටි කයිරාටිකකමෙන් පරිභෝගිකයන් මුලාවට පත්කොට වැඩි ලාභයක් උපයා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
වෙළෙඳපොළේ පවතින එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම මේ දිනවල කාගේත් කතාබහට බඳුන්ව ඇති මාතෘකාවකි. එයට හේතුව ලෙස වෙළෙඳුන් හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන්නේ මේ දිනවල එළවළුවල ඇති හිඟයයි. පාරිභෝගිකයන් එළවළු මිලෙහි යම් අඩුවීමක් බලාපොරොත්තු වුණත් එය තවමත් හරිහැටි අත්විඳින්නට නොලැබෙන බවට ඔවුහු මැසිවිලි නගති. මැනිං වෙළෙඳපොළ, මීගොඩ, දඹුල්ල වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල කැරට්, ලීක්ස් වැනි එළවළු තොග හා සිල්ලර මිල ඉහළ මට්ටමක ඇති බව පවතින මිල ගණන් අනුව පෙනේ. එළවළු පමණක් නොව මේ වන විට ලූනු ගෙඩියේ සිට පොල් ගෙඩිය දක්වාම වෙළෙඳපොළ මිල ගණන් වැඩි වී ඇති බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
අමු මිරිස් කිලෝවක් රුපියල් 1,300ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇට විසි කළ සැණින් පැළ වන බවට ප්‍රකාශ වූ වට්ටක්කා කිලෝවක මිලද රුපියල් 200ත් ඉක්මවා ගොස් තිබේ. සාමාන්‍යයෙන් කැරට්, ලීක්ස් වැනි එළවළු කිලෝවක් අප මිලදී ගත්තේ රුපියල් 100කටත් අඩු වූ මිලකටය. එහෙත් මේ වන විට බොහෝ එළවළු කිලෝවක තොග මිල රුපියල් 300කටත් වඩා වැඩි මිලක් ඉක්මවා ගොස් තිබෙන බව පෙනේ. මීට සති දෙක තුනකට පෙර රුපියල් 200 - 220 අතර පැවති කැරට් කිලෝ එකක සිල්ලර මිල මේ වන විට රුපියල් 350 – 500 අතර මිලකට ද, රුපියල් 200 - 240 අතර පැවති බෝංචි කිලෝ එකක සිල්ලර මිල රුපියල් 300 - 400 අතර මිලකට ද අලෙවි වේ. එහෙත් කැරට්, ලීක්ස් හැර අනෙකුත් එළවළු මිල ක්‍රමක්‍රමයෙන් පහළ යමින් ඇතැයි වෙළෙන්ඳෝ සඳහන් කරති. රුපියල් දෙසීය ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්, ගෝවා කිලෝවක තොග මිල රුපියල් එකසිය විස්සත් එකසිය පනහත් දක්වා පහත වැටී තිබෙන බව තොග වෙළෙඳුන්ගේ අදහසයි.
අමු මිරිස් 100ක් 130ක් වෙලා
චාන්දනී - හෝමාගම
එළවළු මිල මේ දවස්වල වැඩියි. කලින් රුපියල් තිහට ගත්ත අමු මිරිස් ග්‍රෑම් සීයක් දැන් රුපියල් එකසිය තිහක් වෙනවා. කැරට්, ලීක්ස් වගේ ඔක්කොම ගණන් ඒ වගේම තමයි. අනිත් බඩුත් ගණන්. ඇත්තටම ගෘහණියන් විදියට එය ඉතාම හොඳින් අපිට දැනෙනවා. කලින්ට වඩා ගොඩක්ම බඩු මිල වැඩියි දැන්. ඒ නිසා අපි කියන්නේ ඉක්මනින් මේ මිල අඩු වෙනව නම් හොඳයි කියලා.
කොරෝනා කාලෙදිවත් මෙච්චර ගණන් ගියේ නෑ
සෝමලතා - මට්ටක්කුලිය
එළවළු දෙකක් තුනක් එක්ක බත් කන්න බැහැ දැන්. ඒ තරම් එළවළු මිල ගණන්. කොරෝනා තිබුණු කාලෙවත් මෙච්චර එළවළු ගණන් ගියේ නැහැ දැන් පොළට ගියත් මාර්කට් එකට ගියත් එළවළු දෙක තුනකට වඩා අරගෙන එන්න බැහැ. ඒ වගේම අනෙක් බඩුත් ගිනි ගණන්. මෙහෙම දිගටම ගියොත් හාමතේ මැරෙන්න තමයි අපිට වෙන්නේ. මොන ආණ්ඩුව ආවත් අන්තිමට අසරණ වෙන්නේ මේ අපි වගේ දුප්පත් ජනතාව විතරයි.
එළවළු මුදලාලිලා හිඟයක් මවනවා
දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර
එළවළු මිල ප‍්‍රශ්නය කොවිඩ් නිසා මතුවෙච්ච එකක් නෙමෙයි. හැමදාම තියෙන ගැටලුවක්. එළවළු මිල වැඩිද අඩුද කියලා කියන්න බැරි තරමට මේ වන විට පාරිභෝගිකයෝ අසරණ වෙලා ඉන්නේ. සති පොළේ එළවළු එක මිලක්. එළවළු කඩේ තව මිලක්. සුපිරි වෙළෙඳසල්වල එළවළු ග‍්‍රෑම් 100 ගිනි ගණං. ඒ මිල තීරණය කරන්නෙ ඒ ව්‍යපාරිකයන්. එළවළු වෙළෙදාමේ ලාභ ලබන්නෙ ගොවියො නෙමෙයි. අතරමැදි වෙළෙන්දෝ. ඒකට ප‍්‍රධාන හේතුව ආර්ථික මධ්‍යස්ථානවල එළවළු විකිණෙන මිල ගණන් පාරිභෝගිකයන් දැන නොසිටීම. ඕනෑම එළවළුවක අස්වැන්න වැඩිවෙලා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන තොග වැඩි වෙනකොට එම එළවළුවේ මිල අඩු වෙනවා. ඒත් තොග වෙළෙන්දෝ මිල අඩු වුණා කියලා එම එළවළුවේ වැඩි තොග ප‍්‍රමාණයක් අරගෙන යන්නෙ නෑ. වෙනදාටත් වඩා අඩු කිලෝ ප‍්‍රමාණයක් අරගෙන ගිහින් එම එළවළුවේ හිඟයක් නිර්මාණය කරලා වැඩි මිලට විකුණනවා. මිලක් නැතිව ආර්ථික මධ්‍යස්ථානවල විකුණගන්න බැරි එළවළු නගරයේ එළවළු කඩවල, සුපිරි වෙළෙඳසල්වල අධික මිලට විකිණෙනවා. ඒ වගේම ගොවියාගේ කොරටුවේ අස්වැන්න වැඩිවෙලා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල කොච්චර අඩු වුණත් කාලයක ඉඳලා නගරයේ එළවළු වෙළෙඳපොළේ මිල අඩු වෙන්නෙ නෑ. එළවළු ව්‍යාපාරිකයන් මිල පාලනය කරනවා.
කොරෝනා හේතුවෙන් නිෂ්පාදනය බැහැලා
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර් යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය, අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය රංජිත් වික්‍රමසිංහ
මිල ඉහළ යන්න මූලික හේතුව තමයි මේ වන විට එළවළුවල තිබෙන හිඟ තත්ත්වය. ලංකාවේ එළවළු වගා කරන්නේ යල මහ කන්නවලට අනුවයි. මාස් කන්නයේදී එළවළු නිෂ්පාදනය තරමක් අඩු වෙනවා. මාස් කන්නය පටන් ගන්නේ සැප්තැම්බර්. එහි ඵලදාව දෙසැම්බර් ජනවාරි වන විට ඉවර වෙනවා. දැන් තමයි එළවළු හිටවලා තිබෙන්නේ. එනිසා තව මාස දෙක තුනකින් එළවළු අතිරික්තයකුත් වෙළෙඳපොළට නිකුත් වෙයි කියා හිතනවා. එළවළු හිඟවීමට දැඩි ලෙස බලපෑවේ පසුගිය දවස්වල කොරෝනා තත්ත්වය. ඒ නිසා වගා කටයුතු පොඩ්ඩක් පස්සට ගියා. ගොවිතැන් නිසි කලට කළත් කොරෝනා ප්‍රශ්නය නිසා බොහෝ ගොවීන්ට එළවළු අලෙවි කරගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් වෙන වසරවල මේ වගේ තත්ත්වයක් එළවළු වෙළෙඳපොළේ ඇතිවෙන්නේ නැහැ. උඩරට එළවළු නැති වුණත් පහතරට පැත්තෙන් එළවළු වෙළෙඳපොළට ලැබුණා. යාපනයෙන් කැරට්, බීට් ලැබුණා.
එළවළු සැපයුම නිසි ලෙස පැවතියත් එළවළු හිඟ බව පවසා අතරමැදියන් වැඩි මිලට එළවළු විකුණන බවත්, මෙතරම් සීඝ්‍ර ලෙස එළවළු මිල ඉහළ යාම මාෆියාවක් බවටත් එළවළු මිල වැඩිවීම පිළිබඳ සමාජයේ විවිධ කතාබහ ඇතිවී තිබේ. මේ ආකාරයට එළවළු සඳහා රටේ මාෆියාවක් ගොඩ නැගී ඇත්ද යන්න අපි විමසා බැලුවෙමු. එහිදී ආචාර්ය රංජිත් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, පවත්නා එළවළුවල මිල වැඩිවීම මාෆියාවක ප්‍රතිළුල නොවන බවයි.
“අතරමැදියො අතර මේ මාෆියාව සදාකාලිකවම තිබෙන දෙයක්. එය වෙනම කතා කළ යුතු දෙයක්. එළවළුවලට, වී වලට විතරක් නෙමෙයි මස්, මාළු, කිරි හැමදේකටම ඔය කියන මාෆියාව තිබෙනවා. ලංකාවේ කෘෂිකාර්මික වෙළෙඳපොළේ වෙනම බැලිය යුතු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ තරගකාරී වෙළෙඳපොළ ක්‍රමය තුළ කවදාවත් ලංකාවේ බහුතර වෙළෙඳුන්ට බලය තිබෙන වෙළෙන්දා සමඟ සටන් කරන්න බැහැ. ධන බලය, දේශපාලනය, ඇඟේ හයිය මත බලය තිබෙන මිනිහා ගන්න මිලට වැඩියෙන් මිල ඔසවන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. එය වෙනම කතා කළ යුතු ගැටලුවක්. දැන් පවතින එළවළු මිල ගැන කතා කරද්දී එවන් මාෆියාවක් නෙමෙයි තිබෙන්නේ. එළවළු නිෂ්පාදනයේ හිඟ බව තමයි මූලිකම හේතුව. වෙනදටත් මේ අඩුව තිබුණත් මෙච්චරටම ජන ජීවිතයට එය බලපෑවේ නැහැ. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙ එළවළු පළතුරු අඩුවෙලා. ජනවාරි පෙබරවාරි වන විට එය යථා තත්තවයට පත්වෙලා එළවළු මිල පහළ බහිනවා. නමුත් දේශගුණය නිසා එය මෙවර වෙනස් වුණා. ඒක තමයි සෑබෑ තත්ත්වය.”
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු දෛනික මිල වාර්තාවන්ට අනුව පසුගිය වසරේ සිට මෙම ජනවාරි මාසය දක්වා කාලය තුළ එළවළු මෙන්ම තවත් ද්‍රව්‍ය රැසක මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර් යේෂණ ආයතනයේ එළවළු මිල ගණන් පිළිබඳ වාර්තාවන්ට අනුව ද මේ බව තහවුරු වෙයි. කොළඹ මැනිං වෙළෙඳපොළේත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේත් 2018, 2019, 2020 වසරවල හා 2020 ජනවාරි අතර කාල පරාස සසඳා බලන විට එළවළු මිල එකකට එකක් නොදෙවැනි ලෙස ඉහළ ගොස් ඇති බව තහවුරු වෙයි. කැරට් ලීක්ස්, බෝංචි, බීට් වැනි ප්‍රධාන එළවළු වර්ගවල මිල සෑහෙන ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත.
ඉක්මනින් මේ මිල වෙනස් වේවි
මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ
සාමාන්‍යයෙන් මේ කාල වකවානුවට එළවළුවල මිල ඉහළ යාමක් සිදුවෙන්නේ නැහැ. නමුත් දැනට වසරක පමණ කාලයක් තුළ මෙරටට බලපා තිබෙන කොවිඩ් වසංගතය නිසා කිසිදු වෙළෙඳාමක් හරිහැටි සිදු වුණේ නැහැ. ඒ වගේම අපේ වෙළෙඳපොළට ලැබෙන එළවළුවල අඩුවකුත් තිබුණා. නමුත් දැන් පසුගිය වසරවලට සාපේක්ෂව එළවළු මිල ඉහළ යාමක් සිදුවෙලා තියෙනවා. නමුත් මෙය වෙළෙඳපොළ තුළ බොහෝ කාලයක් රැඳී පවතින එකක් නැහැ. හැකි ඉක්මනින් මේ මිල ගණන්වල වෙනසක් ඇතිවීමට පුළුවන්. දැන් කවුරුත් එළවළු සඳහා පාලන මිලක් නියම කරන්නේ නැහැ. මොකද එළවළු ධාන්‍ය වගේ දිගු කලක් තියාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් රජය මුල්වෙලා මුදල් යොදලා එළවළු ගොවියන්ගෙන් මිලදී අරගෙන පාලන මිලක් ඇති කිරීම අමාරු කාර්යයක්. පසුගිය කාලයේ වට්ටක්කා අතිරික්තයක් ඇති වුණා. ගොවීන්ගෙන් රජය සහතික මිලකට වට්ටක්කා මිල දී ගත්තා. වට්ටක්කා සැලසුම් කළ පරිදි විකුණා ගන්න නොහැකි වුණා. අදටත් ඒ පිළිබඳ විගණන ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා එය ප්‍රායෝගිකව කරන්න අපහසුතා තිබෙනවා.
මේ කාලයට වෙනදා මිල නගින්නෙ නෑ
පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රව්‍ය දෘශ්‍ය අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර
මේ වන විට වෙළඳපොළේ එළවළු මිල ඉහළ ගොස් තිබෙන බවට ජනතාව මැසිවිලි නගනවා අපි දැක්කා. අපි විශේෂයෙන්ම කියන්න ඕන මේ කාලයට එළවළු මිල වෙනදාට ඉහළ යන්නේ නැහැ. මොකද දෙසැම්බර් මාසයේ වගා කළ සමහර එළවළු මේ කාලයට වෙළදපොළට ලැබෙනවා. එහෙම වුණාම මිල ඉහළ යාමක් සිදු වෙන්නේ නැහැ. නමුත් පසුගිය වසරේ මෙරට පැමිණි කොරෝනා වසංගතය නිසා බොහෝ ගොවීන්ට සිය වගා කටයුතුවල නියැලෙන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා එළවළු සීමිත ප්‍රමාණයක් තමයි වෙළෙඳපොළට එන්නේ. ඒ නිසා මේ මිල ඉහළ යාම සිදුවෙලා තියෙනවා. ඒ නිසා ජනතාවට කියන්න ඕන විශේෂයෙන්ම මේ එළවළු මිල වැඩි වුණා කියලා රජයට චෝදනා කරලා පලක් නැහැ. යම් යම් කාලසීමාවන්වලදි එළවළු මිල ඉහළ පහළ යාම සාමාන්‍ය කාරණයක්. කොහොම වුණත් වෙළෙඳපොළ තුළ පවතින මේ එළවළු මිල තව ටික දවසකින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙයි.
හසිත් අංජන
සේයාරූ: සුමුදු හේවාපතිරණ