2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයේ තොණ්ඩුව සූදානම්

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 17

2019 අප්‍රේල් 21 මෙරට ඉතිහාසයේ අප්‍රසන්නම අඳුරු මතකයක් එක් කළ දවසක් විය. 30 වසරක කුරිරු යුද්ධය නිමවී මසකින් දස වසරක් සනිටුහන් වීමට ඔන්න මෙන්න තිබියදී රටපුරා සිදුවූ බෝම්බ වැලක් මේ අප්‍රසන්න ඉතිහාසයක් එක් කිරීමට හේතුවක් විය. ඊටත් වඩා අප්‍රසන්න වන්නේ එදින පාස්කු දිනයේ දෙවියන් යැදීමට පැමිණි අහිංසක ජනතාව කේන්ද්‍ර කරගෙන මෙකී ප්‍රහාරය එල්ල වීම නිසාය. මේ නිසා පුද්ගලයෝ 269ක් මියගියහ. 500කට ආසන්න පිරිසක් බරපතළ තුවාල ලැබූහ. අන්තවාදී ඉස්ලාම් මතධාරී මොහොමඩ් සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් අට දෙනෙකු විසින් එල්ලකරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය පාස්කු ප්‍රහාරය නමින් ඉතිහාස පොතේ රුධිරයෙන් ලියැවිණි.

කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව ඉතාම බරපතළ ලෙස කඩාවැටුණු මොහොතක එල්ලවුණු ප්‍රහාරය ගැන එවකට නොයෙකුත් කතා රටපුරා ප්‍රචාරය වන්නට විය. විවිධ නායකයන්, බලධාරීන්, නිලධාරීන් වෙත ජනතාව ඇඟිල්ල දිගුකොට වගකිවයුතු බවට චෝදනා කළා පමණක් නොව ඔවුනොවුන්ද එකිනෙකා චෝදනා කරගත්හ.

එම ප්‍රහාරය එල්ල වනවිට පැවතියේ යහපාලන රජයයි. රටේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විය. රාජ්‍ය ආරක්ෂක, නීතිය හා සාමය බාරව සිටියේද එවකට ඔහුමය. මේ නිසා බොහෝ අය ඇඟිල්ල දිගුකළේ ඔහු වෙතය. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් ඔහු යටතේ සිටි රාජ්‍ය ආරක්ෂක එවකට ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය වගකිවයුතු බව කීවේය. ඒ වනවිටත් මෙරට කතෝලික සභාවේ නායක කාදිනල් හිමියන් වෙතින් සහ ජාත්‍යන්තර වශයෙන් අවලාද සහ චෝදනා රුසක් එක් එක් අයට එල්ලවෙමින් සිටි නිසා එවකට ආණ්ඩු පක්ෂය විසින් තීරණය කළේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමටය.

ඒ අනුව 2019 මැයි 22 වැනිදා බෙදීමකින් තොරව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට ඒකමතිකව තීරණය විය. මේ සඳහා එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මන්ත්‍රීවරු 40 දෙනෙකුගෙන් යුත් යෝජනාවකට අනුව එය පිහිටුවනු ලැබිණි. එහෙත් පසුව එජනිස පිරිස ඉන් ඉවත්විය. කෙසේ වෙතත් වාර 24ක දී පුද්ගලයන් 55 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගත් මේ කාරක සභාව 2019 ඔක්තෝම්බර් දක්වා ඇදී යන්නට විය. එම කාරක සභාවට සභාපති ලෙස එවකට පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, සාමාජිකයන් ලෙස රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, එම්.ඒ. සුමන්තිරන්, වෛද්‍ය නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න යන අය පත්වී සිටියහ.

මේ කාරක සභාව තුළ හෙළිවුණු කරුණු සහ සාක්ෂි අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා කේන්ද්‍ර කරගනිමින් ප්‍රහාරයක් එල්ලවන බව ශ්‍රීලනිපයේ චෝදනාව විය. එසේම කාදිනල් හිමියන් පැවසුවේ ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයාබැලීමට කොමිසමක් පත්කළ යුතු බවය. එය හතර අතින් යෝජනා කෙරිණි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම බලතල ප්‍රකාරව පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම පත්කරන ලදී. ඒ 2019 සැප්තැම්බර් 22 වැනිදාය. එහි සභාපති වූයේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, මහාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල  කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්.ආර්. ................. යන මහත්වරුය.

ඒ අනුව එම කොමිසම සිය රාජකාරි ආරම්භ කළ අතර එම කොමිසම අතුරු වාර්තා දෙකක් අවස්ථා දෙකකදී ඉදිරිපත් කරනු ලැබීය. එහි පළමු අතුරු වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළේ 2019 දෙසැම්බර් 20 වැනිදාය. දෙවැනි අතුරු වාර්තාව 2020 මාර්තු 2 වැනිදා ඉදිරිපත් කළේය. ඒ අතරතුර අවස්ථා දෙකකදී පමණ කොමිසමේ කාලය අවසන් වූ අතර ඒ සෑම අවස්ථාවකම කාලය දිගු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙහි විශේෂත්වය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මෙකී කොමිසම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමෙන් පසුවද ඉදිරියට රුගෙන යාමය. සාමාන්‍යයෙන් මෙවැනි කොමිෂන් නව ජනාධිපතිවරයකු පැමිණි පසුව වෙනස් කරන අතර එහෙත් එය එසේ සිදුනොකර වර්තමාන ජනාධිපතිවරයා විසින් රුගෙන යාම එක් පැත්තකින් මෙහි විනිවිදභාවය සම්බන්ධයෙන් සහතිකයක් විය. ඊටත් වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වීම සඳහා එවකට ඔහුගේ වේදිකාවේ හොඳම තුරුම්පුවක් වූයේද මෙකී පාස්කු ප්‍රහාරයයි. ඒ නිසා මේ වෙනුවෙන් තව තවත් බලය ලබාදීම හැර වෙනස් කිරීමට ඔහුට වටපිටාවක් කිසිසේත් සකස් වී තිබුණේ නැත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු බුද්ධි ප්‍රධානීන් වන සිසිර මෙන්ඩිස්, නිලන්‍ත ජයවර්ධන ඇතුළු ආරක්ෂක අංශයේ ප්‍රධානීන්, වින්දිතයන් ඇතුළු පුද්ගලයන් 457 දෙනෙක් සාක්ෂි ලබාදීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටියහ. කොමිසම දින 214 ක් පුරා පැවැත්විණි. පිටු 472 කුත් ඇමුණුම් 215 කින් සහ වෙළුම් 6කින් සමන්විත කොමිෂන් වාර්තාව 2021 පෙබරවාරි 01 වැනිදා කොමිසමේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට ලබාදෙනු ලැබීය.

එසේ ලබාදුන් වාර්තාව ගැන පක්ෂ විපක්ෂ අතර කතාව ආරම්භ වන්නේ මේ අතරතුරේදීය. විපක්ෂයේ බොහෝදෙනාගේ ඉල්ලීම වූයේ මෙය ප්‍රසිද්ධ කරන ලෙසය. එය අනිවාර්යයෙන් ජනාධිපතිවරයා විසින් කළ යුතු බව ඔවුන්ගේ මතය විය. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ බහුතර පිරිසකගේ මතය වූයේ එයමය. එනම් ඉක්මනින් මේ වාර්තාව එළියට දැමීම ගැනය. කෙසේ වෙතත් මේ සියල්ලට ජනාධිපතිවරයා පිළිතුරක් ලබාදුන් අතර ඔහු සඳහන් කළේ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ හොඳම අවස්ථාව වන්නේ ජාතික නිදහස් දිනයයි. පාස්කු ප්‍රහාරයේ වැඩිම චෝදනා එල්ල වූ මෛත්‍රීපාල සිරිසේන මහතාද එහි ආරාධිතයකු ලෙස සහභාගි වී සිටියේය. එහිදී ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී සඳහන් කළේ කොමිසමේ වාර්තාව අනුව කිසිම තරාතිරමක් නොබලා ඊට සම්බන්ධ අයට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවය. මේ පිළිතුර කොමිසමේ තීන්දුව ගැන මෙලෝහසරක් නොදන්නා අයටද බලාපොරොත්තු සහගත පිළිතුරක් විය.
එහෙත් සියල්ල පුදුමකරමින් පසුගිය ඉරිදා අප සහෝදර පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් පුවත්පතෙන් කොමිෂන් වා‍ර්තාව ගැන තොරතුරක් හෙළිකර තිබිණි. එනම් කොමිසමේ වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත චෝදනා එල්ල වී ඇති බවය. ඒ අනුව ඔවුන්ට ඉදිරියේ නඩු පවරනු ඇති බවටද සඳහන් කර තිබිණි.

මේ පුවත දැකීමෙන් පසුව රහසිගතව සිදුවු සාකච්ඡාවක් අපිට දැනගන්නට ලැබුණි. එනම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුව හමුවීමට යාම ගැනය. එසේ ගිය මෛත්‍රීපාල මහතා මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර එහෙත් අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇත්තේ ඒ අවස්ථාවේ ඇමතුමක් හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා මෛත්‍රීපාල මහතාට සම්බන්ධකර දීමය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී ඇති පිළිතුර වී ඇත්තේ &ඔබතුමා විසින් පත්කළ කොමිසම විසින්ම අදාළ තීන්දු තීරණ ලබාදී ඇති* බවය. එහිදී කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කර ඇති අතර ඇතැම් කරුණු කිහිපයක් ගැන සංවාදයේ යෙදී ඇතැයි දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමට යොමුකර ඇත. එහෙත් දැනගන්නට ඇති කරුණු අනුව නීති කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් ජනාධිපතිවරයාට දන්වා ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමක් කළ නොහැකි බව කියාය. එනම් ධූරය දැරෑ කාලය තුළ සිදුකළ හෝ සිදු නොකළ වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මක කළ නොහැකි බව දන්වා තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයකට ආ හැක්කේ නීතිපතිවරයාගේ තීරණය අනුවය.

එසේම මේ අතරතුර කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් මගින් දන්වා ඇත්තේ කොමිසමේ වාර්තාවක් තමන්ට ලබාදෙන ලෙසය. එහෙත් එය ලබාදෙයිද නැද්ද යන්න තීරණය කළයුත්තේ ජනාධිපතිවරයාය. නීතිමය ක්‍රමවේදය යටතේ එය පාර්ලිමේන්තු සභාගත කිරීමෙන් පසුව ලබාදීමේ හැකියාවක් ඇත. එහෙත් එය තවම සභාගත කර නොමැත. කෙසේ වෙතත් කාදිනල් හිමියන් සඳහන් කරන්නේ මේ කොමිසමේ වාර්තාව අනුව නීතිය හරිහැටි ඉටු නොවුණොත් තමන් ජාත්‍යන්තර අධිකරණය දක්වා යන බවය. ඒ සම්බන්ධයෙන් නොයෙකුත් මත පළ වුවත් තමන්ගේ සභාවේ ලබ්දිකයන් තම ආගමේ උත්සවයක් දින අමු අමුවේ මරාදැමීම ගැන කාදිනල් හිමියන්ට ඇති කැක්කුමත් අයිතියත් ගැන අමුතුවෙන් ප්‍රශ්න කළයුතු නැත.

කෙසේ වෙතත් ඉදිරියේ සිදුකරන්නේ කුමක්ද? යන්න තීරණය වන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත සහ කැපවීම මතය. එය මහහැරිය නොහැකි යුතුකමක් මෙන්ම වගකීමක් වන්නේ ජනාධිපතිවරයා වෙත විශාල ජනතාවක් ඇදී ආවේ ජාතික ආරක්ෂාව ගැන ඇතිවූ විශාල හිඩැස පිරවීමේ ඉඩ ලබාදීමේ අරමුණ ඇතිව වීමය. එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහ වගකිවයුතු අයට දඬුවම් ගෙන ලබාදීමේ අරමුණ ඇතිවය. ඒ නිසා ජනාධිපතිවරයාට 69 ලක්ෂයේ ජනමතයට මෙන්ම මෙරට සමස්ත ජනතාවට වගකිවයුතු මොහොත උදා වී තිබෙන බව කිව යුතුය.

 ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03