2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

බැංකු විකුණන සූදානමට ජනතා විරෝධය මතුවිය හැකියි

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 29

වාණිජ බැංකුවල ව්‍යුහාත්මක රාමුව වෙනස් වෙමින් තිබේ. ධනය තැන්පත් කරන්නට හෝ තමන්ගේ ගිණුමේ ඇති මුදල් පරිහරණය කරන්නට පෝලිමේ රුඳී සිටිය යුතු කාලය අවසන්ය. තාක්ෂණය වේගයෙන් ඇතුළු වෙමින් තිබේ. බැංකු කාර්ය මණ්ඩලය බලා සිටියදී ගනුදෙනුකරුවන් අන්තර්ජාලයෙන් තමන්ගේ ගිණුම මෙහෙයවන අතර නුදුරු කාලයේදී වාණිජ බැංකුව ගනුදෙනුකරුවෝ නොගැවසෙන තැනක් බවට පත්වීමට ඉඩ ඇත. එහෙත් සම්ප‍්‍රදායික ආකල්පවල පිහිටා තීරණ ගන්නා සමාජ සිටින රටවලට බැංකුවක් යනු විශාල සංකල්පයක්ය. ආණ්ඩුව අයිතිය ආරක්ෂා කළ යුතුය. බැංකු ගොඩනැගිල්ලක් ගැන කසුකුසුවක් පවා මහා ආන්දෝලනයකට හේතුවකි. ප‍්‍රතිසංස්කරණයක් හෝ නවීකරණයක් සඳහා ගෙන එන යෝජනා බැංකු විකිණීමක් බවට අර්ථ දක්වති. විරෝධතා අවුලුවන සමහර වෘත්තීය සමිති ගනුදෙනුකරුවන් තැතිගන්වා රට කළඹන උත්සාහ ගනිති.  

නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව ඉන්දියානු රජයට අයත් ප‍්‍රධාන බැංකු හතරක් පෞද්ගලීකරණය කිරීමට සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි. එය තියුණු අවධානයකට ලක්ව තිබේ. කොවිඩ් වසංගතයේ පැතිරීම හා එයින් ආර්ථිකයට අත්වූ අවාසි තක්සේරු කරන එරට බලධාරීන් නැවත පුනර්ජීවණයක් උදෙසා කළ යුතු වෙනස්කම් යෝජනා කර තිබේ. ඒවායෙන් තොරව ගැලවීමක් නැත. එහෙත් වෘත්තීය සමිති සහ ජනයා මෙම සංශෝධන ප‍්‍රශ්න කරමින් සිටිති. ඉන්දියාවේ ගොවි අරගල තවමත් අවසන් නැත. රජයට පමණක් සීමා වී තිබුණ කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේ අයිතිය පෞද්ගලික අංශයටද විවෘත කිරීම ගැන ගොවියෝ විරුද්ධත්වය පළ කරති. එම යෝජනාව තවමත් විසඳුමක් නැත. ඉන්දීය පාර්ලිමේන්තුවේ විරෝධතා ඇත. ලක්ෂ ගණනින් ගොවියන් නවදිල්ලිය වටලා තිබේ. ගැටුම් හෙයින් යම් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. නගරයේ ජීවත්වන වැසියන්ට සිය එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ගොවියන්ට විරුද්ධව සටනක්ද පැනනැගී තිබේ. ඉන්දීය ආරක්ෂක අංශවල පමණක් නොව නගරවාසීන්ගේද විරෝධය මැද ගොවියෝ සිය අණසක පතුරවමින් සිටිති. රජයට අයත් බැංකු පෞද්ගලීකරණ යෝජනාව ගොවි විරෝධය හා සමානව ඇවිලෙන පියවරක්ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ නමුත් යුගයට ගැලපෙන පරිදි ක‍්‍රමය වෙනස් නොකළහොත් අවසානයේ දී හනමිටිය කර තබාගෙන ගිය මනුෂ්‍යාට අත්වූ ඉරණමට මුහුණ දෙන්නට සිදුවෙයි. ලෝකය දියුණු වූයේ පරිවර්තනයකින් වෙනස්කම්වලින් වන අතර අවදානමට පරදුව තබමින්ය. දියුණුව ගැන විවේචන හා වෙනත් අර්ථකථන තිබේ. වැඩිවන ජනගහනය, ඔවුන්ගේ මුලික අවශ්‍යතා සැපිරීම සහ ඉක්මනින් කරගැනීමට ඇති තරගය නොනවතින පීඩනයකි. පාලකයන් උත්තර සොයන අතර විරුද්ධ මතධාරීහු අවහිර කරති.  

ඉන්දිරා ගාන්ධි මැතිනියගේ ආණ්ඩුව 1969 වසරේදී එරට බැංකු දහ හතරක් ජනසතු කළ අතර මූල්‍ය ක‍්‍රමය ආණ්ඩුවේ පාලනය යටතට ගැනීම අරමුණු කරගෙන ගත් තීන්දුවකි. දශක පහකට පසු නරේන්ද්‍ර මෝදි පාලනය දැනට රජය සතු බැංකු දොළහකින් හතරක කොටස් විකිණීමට තීරණය කර තිබේ. තවත් බැංකු එකතු කළ යුතු බව යෝජනා කර ඇත. මෙම ක‍්‍රියාවලිය ඉක්මන් කරන සේ එරට මුල්‍ය බලධාරීන් නියම කර ඇති බව සඳහන්ය. පන්ජාබ් ඇන්ඩ් සිංග් බැංකුව, මහරාෂ්ඨ බැංකුව, යූ.සී.ඕ. බැංකුව හා අයි.ඩී.බී.අයි. බැංකුව කොටස් විකිණීමට තීරණය කර ඇති බැංකු අතර වෙයි. තවත් වාර්තාවකට අනුව තෝරාගත් තවත් රජයට අයත් වාණිජ බැංකු දෙකක් කෙරෙහිද අවධානය යොමු වී තිබේ. මෙම බැංකුවල කොටස් වලින් වැඩි ප‍්‍රමාණයක් රජයට අයත්ය. අයි.ඩී.බී.අයි. බැංකුව එරට බැංකු හා මුල්‍ය අංශයෙන් සියයට හතළිස් එකක් උසුලන ප‍්‍රධාන මූල්‍ය ආයතනයකි. එහෙත් මේවායේ ක‍්‍රියාකාරීත්වය දුර්වල වී තිබේ. ණය ආපසු අය කරගැනීමේ ශඛ්‍යතාව පහළය. රජයට ලැබෙන ආදායම පහත වැටී ඇති අතර මූල්‍ය ක‍්‍රම ප‍්‍රතිසංස්කරණය කළ හැකි නමුත් තවත් නිලධාරීන් හා ආයෝජන අවශ්‍ය බව එම බැංකුවේ ප‍්‍රධානීන් පෙන්වා දී ඇති කරුණකි. 

ලබන අප්‍රේල් මාසයේ නියමිත අයවැය යෝජනාවලදී ජාත්‍යන්තර තරගකාරීත්වයට හා වෙළඳපොළට ගැලපෙන ප‍්‍රතිසංස්කරණ කෙරෙහි එරට ප‍්‍රතිපත්ති සම්පාදකයෝ අවධානය යොමුකර ඇත. පසුගිය කාලයේදී වේගවත් වර්ධනයක් තිබුණ නමුත් ඉන්දීය බැංකුවල ණය අය කරගැනීමේ දුබලතා ලෝකයේ ඉහළම ප‍්‍රතිශතයක තිබීම ගැටලුකාරී තත්ත්වයක් විය. පවතින කොවිඩ් වසංගතය සහ ලෝක ආර්ථිකයේ අයහපත් ප‍්‍රවණතා ඉදිරියේ වෙනත් විකල්පයක් නැති තැනට ඉන්දියාව පත්ව තිබේ. ප‍්‍රකට ආර්ථික විශේෂඥයන් බැංකු කොටස් විකිණීමේ තීරණයට ප‍්‍රසාදය පළකර ඇත. වර්ධනය අරමුණු කරගත් ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරන්නට අසමත්ව තිබුණ බැංකු මෙමගින් වෙනසකට පත්වන අතර එය ඉදිරි ගමන ගැන හොඳ සන්ධිස්ථානයක් වශයෙන් දක්වයි. සුපුරුදු පරිදි මෙවැනි යෝජනා ජනප‍්‍රිය නැති අතර අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නට ඇතිවිය හැකි බාධා ගැනද ඉන්දීය ආර්ථික විශේෂඥයන් අවධානය යොමුකර ඇති තවත් පැත්තකි. 

භාරතීය ජනතා පක්ෂය බලයට පත්කරගන්නේ විශාල බලාපොරොත්තු ඇතිවය. ඉන්දීය අගමැතිවරයා පසුගිය කාලය තුළ ආර්ථික සහ සමාජ ප‍්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දී තිබේ. අන්ද්‍ර ප‍්‍රදේශයේ මහ ඇමැති වශයෙන් කටයුතු කළ කාලසීමාවේ පුළුල් දැක්මක් අනුව වේගවත් සංවර්ධන කාර්ය භාරයක් ඉටු කළ බව සඳහන් කළ යුතුය. එහි අත්දැකීම්වලින් පරිනතය. ජනතාව අතරට ගිය හෙතෙම පළාත් මහ ඇමැති වශයෙන් පළාත් ආණ්ඩුව තුළ දූෂණ හා වංචා පිටු දකින පිළිවෙළක් අනුගමනය කළේය. සරල පැවැත්මක පිහිටියේය.

අයවැය යෝජනාවලට කලින් කරළියට පැමිණි රාජ්‍ය බැංකු කොටස් විකිණීම සම්බන්ධ අදහස එරට ආයෝජන ක්ෂේත‍්‍රයේ පිබිදීමකට හේතුවිය. බැංකු ගණනාවක කොටස් මිල ඉහළ ගියේය. එහෙත් බැංකු වෘත්තීය සමිති මෙම වෙනස්කම් වලට එකඟ නැත. ඉන්දීය රජය මෙම තීරණය ක‍්‍රියාත්මක කළහොත් වර්ජනයකට සූදානම් බව ප‍්‍රකාශ කර තිබේ. රටක් ගොඩනගන්නට නම් වෙනස්කම් අවශ්‍යය. ගතානුගතිකත්වයෙන් පලක් නැත. ප‍්‍රතිසංස්කරණවලට විරෝධතා තිබේ. පාලකයෝ සහ පාලිතයෝ ගැටෙති. නායකයන් ගේ දර්ශනය එකහෙළා පිළිගන්නට විරුද්ධවාදීන් සූදානම් නැත. කරුණු පැහැදිලි කර දී සත්‍ය වටහා දෙන අලුත් සන්නිවේදනයක් අත්හදා බැලීමක කාලෝචිත බව පෙනේ. 
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

 මිලින්ද මොරගොඩ