2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

අනේ අපව ගෙන්වා ගන්න: අරාබියෙන් ඇසෙන කඳුළු කතාව

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ රටත් ලෝකයත් වෙනස්කම් රැසකට මුහුණ දුන් අතර තවදුරටත් ඒ වෙනස්කම්වල ඵලවිපාක විඳිමින් සිටී. තවත් වසර දෙකක් පමණ යනතුරු එහි බලපෑමෙන් මිදීමට ලෝකයා අපොහොසත් වනු ඇති බවට විද්වත්හු අනතුරු අඟවති. සුපිරි පැලැන්තියේ මහා ධනවතාගේ සිට පොල්අතු පැල්පතේ වෙසෙන දුප්පත්ම මිනිසා දක්වා කොවිඩ් 19 වෛරසය සතුරැකම් පාන්නට විය. ඒ නිසාම සෑම මට්මකම ජනජීවිතය වෙනසකට ලක්විය. ලොවපුරා මිලියන 20කට රැකියා අහිමිවීමේ අවදානමකට මුහුණ දී ඇති බව වාර්තා විය. ඒ අවදානම විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ටද දැනෙමින් තිබෙන පසුබිමක විශේෂයෙන් මැදපෙරදිග රටවල්වල සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇති බව පැවසේ.

2017 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් විදෙස් රටවල සේවය කරන අතර එයින් වැඩි සංඛ්‍යාවක් සේවය කරනු ලබන්නේ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ රටවලය. කොවිඩ් 19 ගෝලීය වසංගතයේ ව්‍යාප්තියත් සමග මැදපෙරදිග, යුරෝපීය සහ ආසියානු කලාපයේ රටවල්වල සේවයේ නියුතු ශ්‍රමිකයන් රැකියා අහිමිවීමේ තත්ත්වයකට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය මාර්තු මස 11 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ කොවිඩ් 19 ව්‍යාප්ත වෙමින් තිබෙන නිසා විදේශ රැකියා සඳහා පිටත්ව යෑම කල්දමන ලෙසය. එමෙන්ම ඒ වනවිටත් වෛරසය පැතිර ඇති රටවල තානාපති කාර්යාලවලට පැමිණෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසද උපදෙස් ලබා දී තිබිණ. එමෙන්ම එවැනි ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 1989 හදිසි ඇමතුම් දුරකථන අංකයක්ද හඳුන්වා දෙනු ලැබිණ. මේ වනවිට වාර්තා වන තොරතුරු අනුව කුවේටය, බහරේනය, ඉරාකය සහ ඕමානය ආදී රටවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ රැසක් වසංගත තත්ත්වය නිසා අසීරුතාවන්ට ලක්වී සිටිති.

මැද පෙරදිග සිය රැකියාව අහිමිව මෙරටට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් එම රටවල් තුළ සිඟමන් යදින අයුරු දැක්වෙන ආන්දෝලනාත්මක වීඩියෝ දර්ශන පෙළක් පසුගිය 7 වැනිදා මාධ්‍ය වෙත නිකුත් කෙරුණි. ඔවුහු තමන් මවුබිමට ගෙන්වා ගන්නා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ඇතුළු රජයට ආයාචනා කළහ. රැකියා ස්ථානවලදී හාම්පුතුන්ගේ වදහිංසාවලට ලක්වීම ඇතුළු වෙනත් ප්‍රශ්න නිසා මීට මාස කිහිපයකට පෙර සේවා ස්ථානවලින් ඉවත් වී පැමිණීමෙන් පසු එලෙස තානාපති කාර්යාලවල බොහෝ පිරිසක් සිටිනා බවද එම දර්ශන වලින් කියැවුණි.

“අපිව ලංකාවට ගෙන්න ගන්න සමහරු ලක්ෂ ගණන් මුදල් ඉල්ලනවා. ඒත් මාස ගාණක් තිස්සේ මේ රැඳවුම් මධ්‍යස්ථානයේ ජීවත්වෙන අපිට කොහෙන්ද ලක්ෂ ගණන් සල්ලි. රස්සාවක් නැති නිසා අපි අතේ සල්ලි නැහැ. හරියට කෑමක් බීමක්වත් නැතිව අපි ජීවත් වෙන්නේ. අපි කිසිම කෙනෙකු කොරෝනා ආසාදිතයන් නෙවෙයි. නමුත් දිනපතා මේ රැඳවුම් මධ්‍යස්ථානයට විවිධ පුද්ගලයන් ඇතුළත් කරනවා. ඒ නිසා අපි ඉන්නේ අවදානමක් සහිතවයි. ඒ නිසා අපේ ජීවිතත් අවදානමේ. අපි ගැන අනුකම්පා කරලා අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ආයාචනා කරනවා. නිරෝධායන නීතිරීතිවලට යටත් වෙලා අපි ලංකාවට එන්න කැමතියි. ඒ නිසා හැකි ඉක්මනින් අපිව ලංකාවට ගෙන්න ගන්න කියලා ඉල්ලා සිටිනවා. &ඕමානයේ තානාපති කාර්යාලයේ රැඳී සිටින එක් සේවිකාවක් මුහුණු පොතට වීඩියෝවක් නිකුත් කරමින් පැවසීය.

විදෙස්ගත ලාංකිකයන්ගේ සුහද එකමුතු සංගමය සිය ෆේස්බුක් පිටුවෙන් පවසන්නේ කොවිඩ් 19 මැඩලීම සඳහා සෞදි අරාබිය නව දඩ ක්‍රමයක් හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව නිත්‍යනුකූල නොවන අයුරින් සිදුකරෙන පුද්ගල ඒකරාශී වීම් සඳහා රියාල් 5,000 සිට 10,000 දක්වා දඩයක්ද පවුලේ නොවන අය සමඟ ජීවත්වන පුද්ගලයන්ට රියාල් 30,000ක දඩයක්ද ව්‍යාපාර ස්ථානයක සිටිය යුතු සංඛ්‍යාව ඉක්මවා සිටින්නේ නම් රියාල් 50,000ක දඩයක්ද අය කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටී. මෙම තත්ත්වය තුළ රැකියා අහිමිව සෞදි අරාබියේ තවමත් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවද විදෙස්ගත ලාංකිකයන්ගේ සුහද එකමුතු සංගමය අනතුරු අඟවයි.

පසුගියදා මාධ්‍යයට නිකුත් කෙරුණු වීඩියෝ පට අතර දක්නට ලැබුණු තවත් එක් දසුනක් වූයේ කුවේට්හි රැකියාව අහිමි වූ ශ්‍රී ලාංකිකයෙක් මහමඟ සිඟමන් යදිමින් මෙරටට පැමිණීමට මුදල් එකතුකරන ආකාරයයි.

“මේ පුද්ගලයාගේ ඇඟිලි කිහිපයක් කපලා තියෙන්නේ. අපේ ශ්‍රී ලාංකික සහෝදරයෙක්. රැකියාව අහිමි වෙලා කොරෝනා වසංගතය ආරම්භ වුණු මුල් කාලයේ මෙහෙම වුණේ. මේ නගරයේ යම් තැන්වල ඉඳගෙන ශ්‍රී ලංකාවට යන්න මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. ඩිනාර් 390ක මුදලක් ඉල්ලා සිටිනවා තානාපති කාර්යාලයෙන්. බලන්න මේ සහෝදරයා යන විදිය ඇත්තටම කණගාටුයි.”

රැකියා අහිමිව කුවේට්හිදී අසරණ වූ ශ්‍රී ලාංකික කාන්තාවන් උන් හිටිතැන් පවා නොමැතිව මහමඟට වැටී සිටින අයුරුද එම දර්ශනවල සටහන් ව තිබුණි. අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගතව සිටි තවත් කාන්තාවන් දෙදෙනෙක් එරට පොලීසිය විසින් කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාරදී ඇති අතර තානාපති කාර්යාලය ඔවුන්ව භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව ඒ පිළිබඳව සැලවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඔවුන්ගේ පිහිටට ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කෙරැණු වීඩියෝ පටයක තිබූ ඇතැම් දසුන් ඇසට කඳුළක් උනන සුළුය.

රෝහලේ කොච්චර කල් හිටියද? -

“මාස තුනහමාරක් හිටියා.”

ඔයා කොච්චර කල් හිටියද අක්කා? – 

“මාස දෙකහමාරක්. මගේ ඇහැ පේන්නේ නැහැ. අනිත් කෙනාට ඇවිදගන්න බැහැ. රෝහලට ගිහින් ටිකට් කපාගෙන පොලීසිය තමයි අපිව තානාපති කාර්යාලයට ගෙනත් දැම්මේ. තානාපති කාර්යාලයෙන් කිව්වා එළියට යන්න කියලා අපි ඇතුළට යනකොට. මම කිව්වා රෝහලේ ඉඳලා පොලීසිය ටිකට් කපාගෙන මෙතනට ගෙනාවේ. ඔයාලා පොලීසිය එක්ක බලාගන්න කිව්වා. අපි ඔයාලව ගන්නේ නැහැ යන්න කිව්වා. අපි එළියේ සීතලේ හිටියා.”

මෙතනට කොහොමද ආවේ? 

“අපි රෝහලේ ඉන්නකොට දැනගත්ත නර්සින් කරන නංගි කෙනෙක් කිව්වා සීතලේ ඔතනට වෙලා තව ලෙඩ වැඩි වෙනවනේ මම ඉන්න තැනට එක්ක එන්න කියලා. එතැනට ආවා.”

ප්‍රගතිශිලී ස්ත්‍රී එකමුතුවේ සරෝජා පෝල්රාජ් මහත්මිය:

මෙම විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ කාර්ය භාරගෙන තියෙන්නේ විදේශ අමාත්‍යාංශය, කොරෝනා මර්දන ඒකකය සහ කාර්යසාධක බළකාය. ශ්‍රමිකයන් පිළිබඳ වගකිවයුතු මූලිකම ආයතනය ඉවත් කරලා, මේක ව්‍යාපාරික උවමනාවට තැරැව්කරුවන් අතට පත්කිරීමේ ප්‍රධාන පියවර තියෙන්නේ අන්න එතන. ජනාධිපතිතුමාව බලයට ගේන්න ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන්න රටවිරුවෝ බෙහෙවින් උදව් කළා. දැන් මේ කොවිඩ් ප්‍රශ්නය නිසා අසරණ වෙලා ඉන්නෙත් මේ රටට විදේශ විනිමය උපයලා දෙන විදෙස් ශ්‍රමිකයන්. ඒ නිසා ඔවුන් මේ අසරණ වෙලා ඉන්න වෙලාවේ ඔවුන්ව හැකි ඉක්මනින් මේ රටට ගෙන්වා දෙන්න කියලා අපි බොහොම කාරුණිකව ජානාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ වැඩසටහන යටතේ මැද පෙරදිග විදෙස් ගත ශ්‍රමිකයන් 22,483ක් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ හා විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න දේශයට කීය.

ඒ අනුව මැදපෙරදිග විදෙස්ගත ශ්‍රමිකයන්ට මුල්තැනක් ලබාදී ඇතැයි පැවසූ ඇමැතිවරයා කුවේට් රාජ්‍යයේ සිටින 5,000කට ආසන්න ශ්‍රමිකයන් නොමිලේ මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳව අන්තර්ජාතික සංක්‍රමණ සංවිධානය (IOM) හා සාකච්ඡා පවත්වා ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කීය. විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් දැනුම් දී ඇති බව පැවසූ ඇමැතිවරයා ප්‍රධාන ගැටලුව වී ඇත්තේ පැමිණෙන ශ්‍රමිකයන් නිරෝධායනයට ලක් කිරීමට ස්ථාන පිළිබඳ ගැටලුව යැයිද පැවසීය.

විශාල පිරිසක් එකවර මෙරටට පැමිණි විට ඔවුන් නිරෝධායනය කිරීමේදී මතුවන ගැටලුව අවම කර ගැනීම පිණිස නිවෙස් නිරෝධායනයට ඔවුන් යොමුකිරීම පිළිබඳව අවධානය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිවෙස් වෙත ගොස් වෙනම කාමරයක් හා අවශ්‍ය සෙසු පහසුකම් ලබාගත හැකි බවට වාර්තාවක් ලබාදෙනු ඇත. මේ වනවිටත් එතෙර ශ්‍රමිකයන් 32,737ක් මෙරටට ගෙන්වා ඇතැයිද ඇමැතිවරයා කීවේය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා:

රැකියා අහිමිවෙලා ලංකාවට පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් දැනට අපි කාර්යාංශය මගින් රුපියල් 50,000ක් දෙනවා. මම කිව්වා මේ 50,000 වැඩිකරන්න කියලා ලක්ෂය දක්වා. තවත් රුපියල් 50,000ක පොලී රහිත ණයක් දෙන්න කියලා කිව්වා යම් ව්‍යාපාරයක් පටන් ගන්න. සමහර අයට අව්‍යශයි නැවත පිටරට යන්න. එහෙම යන්නෙ නැතුව ඉන්න ඕන අය සිටියි නම් ඒ අයගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා රුපියල් 50,000 මුදල ලක්ෂයක් දක්වා වැඩිකරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා.

 හසිත් අංජන