ඇති දේ දී නැති දේ ලබාගැනීම හුවමාරු ක්‍රමය නමින් ශිෂ්ඨාචාරයේ ආරම්භයේ වූ ප්‍රාථමික වෙළඳ ක්රමයකි. ලෝකය කොතරම් දියුණු වුවද එම ක්‍රමය යල්පැනගොස් නොමැති බවට සාක්ෂියක් මෙරට පැවති රාජ්යත්රාන්තික සාකච්ඡාවක් ඇසුරේ අපට හමුවිය. එය නම් ඉරාන රජය ශ්‍රී ලංකාවෙන් තේ සහ රබර් ලබාගෙන එහි වටිනාකමට ඉන්ධන සැපයීමට ලක් රජයට කර ඇතැයි කියැවෙන යෝජනාවයි.
ඉරානයේ කොළඹ සිටින තානාපතිවරයා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හමුවේ මෙම යෝජනවා කර ඇති බව කියැවේ. කෙසේ නමුත් තවදුරටත් මෙය හුදු යෝජනාවක් මිස වර්තමාන රජය මුළුමනින්ම ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළක් නොවන බව කිවයුතුය. එහෙත් මෙම යෝජනාව ඉතා ආකර්ෂණීයය. ඒ නිසාම මෙහි පදනම සහ මූලයන් පිළිබඳ සොයා බැලීමට අපි උත්සුක වූයෙමු.
මෙහි “තේ - තෙල් හුවමාරු ගිවිසුමේ” සංවාද ගොඩනැගෙන්නේ 2018 සහ 2019 වසර වලදීය. ඉරාන සම්බාධක හමුවේ 2018දී පළමුව ලංකාවට සපයන ඉන්ධනවල වටිනාකමට හිලව්වන්නට මෙරටින් ඇඟලුම්, තේ කොළ හා මාළු ලබාගැනීමට ඉරානය එකඟත්වය පළකර ඇති බව මාධ්‍ය වාර්තා කළේය. 2019 දී එවකට වැවිලි කර්මාන්ත ඇමැතිවරයා සිටි නවීන් දිසානායක විසින් මෙය විධිමත් යෝජනාවක් ලෙස කරළියට ගෙන එන ලද නමුත් පසුව හකුලා ගනු ලැබුවේය. එහෙත් එදා මෙහි මූලික පදනම වූයේ ඉරානයට අමෙරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් මෙරට තේ සඳහා ගෙවීම් කිරීමේ මඟ ඇහිරී තිබීමයි.
එසේම ඒ වනවිට එක් පසෙකින් එක්සත් ජනපදය සහ තවත් බටහිර රටවල් ඉරානයට එරෙහිව ආර්ථික සම්බාධක දැඩි කිරීම හේතුවෙන් කොළඹ තේ වෙන්දේසියටද ඍණාත්මක බලපෑමක්ද එල්ල වෙමින් තිබුණි. තේ යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානුෂීය හේතුන් මත වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබාදී ඇති ආහාර ද්‍රව්‍යයක් වූ නමුත් ඉරානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් බැංකු පද්ධතියක් නොමැති වීම විශාල ගැටලුවක් විය.
ඒ අනුව පළමු ගිවිසුම යටතේ යෝජනා වූයේ ඉරානයෙන් ආනයනය කෙරෙන තෙල් වෙනුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක උපරිමයක තේ ප්‍රමාණයක් එරටට යැවීමටය. ඉරානයට ඩොලර්වලින් ගෙවිය යුතු ණය මුදල රුපියල්වලින් පියවා ගැනීමේ හැකියාව පිළිබඳවද ආරම්භයේ සාකච්ඡා විය. ඒ අනුව වසර හතරක් අවසානයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තේ මණ්ඩලයට රුපියල් බිලියන හතළිස් දෙකයි දශම දෙකක් ලබා දී තේ මණ්ඩලය හරහා ඉරානයට තේ අපනයනය කිරීමට නියමිතව තිබිණි.
ඉරානයට පැනවූ සම්බාධකවලින් අනතුරුව සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම සකස් වී තිබූ අතර එකල මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාර්ශ්වයෙන් සිදුවූ යම් යම් ප්‍රමාද කිරීම හේතුවෙන් ගිවිසුමකට එළඹීමේ කටයුත්ත ප්‍රමාද වූ බවයි. කෙසේ වෙතත් 2019 අවසන් වනවිට මෙම ගිවිසුම කෙටුම්පත් කර තිබූ බවත් ඊට විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබූ බවත් පසුව දැන ගන්නට ලැබුණි.
මෙම ගිවිසුම සම්බන්ධව කරුණු ආණ්ඩු පෙරළියත් කොවිඩ් ආගමනයත් සමඟ යටපත් විය. ඒ අතර 2020 අගෝස්තු වනවිට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉරානයට ගෙවිය යුතුව ඇති හිඟ මුදල් පියවීම සඳහා පසුගිය රජය විසින් 2019 වසරේදී යෝජනා කළ ‘තෙල් සඳහා තේ’ ගනුදෙනුව අත්හැර දැමීමට වත්මන් රජය තීරණය කර ඇතැයි තොරතුරු වාර්තා වන්නට විය. අන්තර්ජාතික වෙළෙඳපොළේ තේ සහ තෙල් මිල සැසඳීමට අපහසුවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවද කියැවුණි. එසේම ඉරානයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් බැංකු පද්ධතියක් නොමැති වීම ශ්‍රී ලංකාව අදාළ තේ - තෙල් හුවමාරු ගිවිසුමට එළඹීමෙන් වැළකී සිටීමට තවත් හේතුවක් ලෙස සඳහන් විය.
මෙම මූලික කරුණු සලකා බැලීමේදී ඉරාන තානාපති අංශ වර්තමාන රජය සමඟ සාකච්ඡා අපට හඳුන්වනු හැකිවන්නේ තේ-තෙල් කතාවේ දෙවැනි අදියර ලෙසයි. ඉරාන රජයේ නව යෝජනාව පෙරට වඩා තරමක් වෙනස්ය. ඒ අනුව ඔවුන්ගෙන් වසරකට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩොලර් කෝටි 360ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් තෙල් මිලට ගනී නම් ඒ වටිනාකම සඳහා ශ්‍රී ලංකාවෙන් තේ සහ රබර් මිලට ගැනීමට කැමැත්ත පළ කරයි. මෙහිදී නිර්මාණය වන්නේ මුදල් හුවමාරු නොවන භාණ්ඩ හුවමාරු ගිවිසුමකි. ඒ අනුව බැලූ බැල්මට මෙය දෙරටම වාසි සහගත ගිවිසුමකි.
මේ අතර දැනගන්නට ලැබෙන පරිදි ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති තෙල් පිරිපහදුවෙහි පිරිපහදු කළ හැක්කේ ‘ඉරේනියන් ලයිට්’ නම් ඉරානය නිපදවන බොරතෙල් පමණි. ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කළ හැක්කේ ඉරේනියන් ලයිට් යනුවෙන් හඳුන්වන ඉරාන බොර තෙල් පමණකි. එසේම දැනට ශ්‍රී ලංකාව ඉන්ධන අවශ්‍යතාවෙන් හතරෙන් එකක් පමණ පිරිපහදු කරන්නේද සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙනි. ඒ සඳහා වසරකට ඩොලර් මිලියන 500ක පමණ ඉන්ධන තොගයක් අවශ්‍ය වන බවද කියැවේ.
තත්ත්වය එසේ වුවත් ඉරානයට දැනට පනවා තිබෙන ජාත්‍යන්තර විනිමය සම්බාධක නිසා ඉරානයට කිසිදු රටකට මුදලට ඉන්ධන අලෙවි කිරීමට නොහැකිය. එම සම්බාධක ලිහිල් නොකරන බව පසුගියදා ඇමරිකා එක්සත් ජාතික නැවත ප්‍රකාශ කර තිබුණි. එසේම ඉරානය සමඟ ගනුදෙනු කරන රටවල් දෙසද ඔවුන් විටින් විට දැඩි අප්‍රසාදයක් පළකර තිබේ. ජනපදය සමග පවත්වන වාණිජ සම්බන්ධතාවලට අවහිර වනු දැකීමට අකමැති වීම හේතුවෙන් බොහෝ රටවල් ඉරානය සමඟ ගනුදෙනු අවම කර තිබේ. ඉරානයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවන් වන ඉන්දියාව, චීනය, ජපානය හා දකුණු කොරියාව ඉරානයෙන් මිලදී ගන්නා තෙල් ප්‍රමාණය අඩු කිරීමට පියවර ගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.
තත්ත්වය එසේ වුවත් ඉරානය යෝජනා කරන තේ, රබර් සමඟ ඉන්ධන හුවමාරු කර ගැනීමේ ගිවිසුම සඳහා සම්බාධකවලින් අවහිරයක් නොවනු ඇතැයි වර්තමාන ආණ්ඩුව මෙන්ම ඉරාන රජය විශ්වාස කරන බව පෙනී යයි. කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයක් රාජතාන්ත්‍රික අවුලකට හේතු වෙතැයි පෙන්වා දෙන පිරිස්ද මෙරට වෙති. කෙසේ නමුත් මෙය තවදුරටත් සාකච්ඡා මට්ටමේ වන බැවින් මේ පිළිබඳ අනාවැකිය පළකිරීමට අපි උත්සුක නොවෙමු.
අනෙක් අතට ඉරානය වසරකට අමෙරිකානු ඩොලර් කෝටි 200ක තේ මිලදී ගනී. ඔවුන්ගේ ප්‍රධාන සැපයුම්කරු වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කෙන්යාවයි. එසේම ඉරානය වසරකට ඩොලර් කෝටි 200ක රබර්ද ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලට ගනී. ඒ අනුව බලන විට ඉරානය යනු අපි සතු වෙළෙඳ ශක්‍යතාවන්ට ගැලපෙන සුවිශේෂී වෙළඳපොළකි. එසේම මිතුරු රාජ්‍යයකි.
එසේම ශ්‍රී ලංකාව වසරකට ඩොලර් කෝටි 200ක පමණ ඉන්ධන මැදපෙරදිගින් මිලට ගන්නා බවද මෙහිදී තබා ගතයුතුය. 2019 සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව වසරකට රටවල් ගණනාවකින් ඉන්ධන මිලට ගැනීමට සඳහා සම්පූර්ණයෙන්ම ඩොලර් කෝටි 360ක් පමණ වැයකර තිබේ. මේ අතර ඉරානය බොරතෙල් අපනයනය අතින් ලොව තුන්වැනි ස්ථානයේ පසුවෙයි. එසේම සෞදිඅරාබිය අතුළු වෙනත් සැපයුම්කරුවන්ගෙන් බොරතෙල් ලබාගැනීමට වඩා ඉරානයෙන් බොරතෙල් ලබා ගැනීම වාසිදායකය. එහෙත් සමස්ත චිත්‍රය දෙස බැලූ කළ “තේ තෙල් ගිවිසුමේ” කතාව ඉතා සංකීර්ණය. එමනිසාම සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධයෙන් විග්රහ කර ගනිමින් බලා සිටීම මහජනයා ලෙස අපගේ වගකීමයි.
චමිඳු නිසල් ද සිල්වා