රුහුණු පළාත කියූ සැණින් කාගේත් මතකයට එන්නේ මී කිරිය. රුහුණ ඒ තරමටම මී කිරි සඳහා ප්‍රචලිතය. රුහුණු පුරවරයට යන එන සියලුදෙනා මී කිරි හට්ටියක රස බැලීමට නම් අමතක නොකරන්නේ රුහුණේ මි කිරි ඒ තරම්ම රසවත් නිසාය. රුහුණේ මී කිරි කොතරම් රසවත් වුවත් මී කිරි කර්මාන්තයේ නියුතු පිරිසගේ ජිවිත නම් මී කිරි තරම්ම රසවත් නොවේ. මේ නිසාම අප මී කිරි කර්මාන්තයට ප්‍රධාන දායකත්වයක් සපයන ගව හිමියන් නොහොත් ගම්බාරේලා සොයා අපි තිස්සමහාරාමයට ගියෙමු. මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමකි.
රුහුණේ මී කිරි කර්මාන්තයට තිස්සමහාරාම, මත්තල, ලුණුගම්වෙහෙර ඇතුළු අවට පෙදෙස්වලින් ලැබෙන්නේ විශාල දායකත්වයකි. මේ ප්‍රදේශවල ඈත අතීතයේ සිටම ඉතා සරුවට පැවති කිරි ගව පාලනය අද වනවිට සීඝ්‍රයෙන් වඳ වී ගොස් තිබේ. ඒ ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි ඇතුළු මූලික පහසුකම් කිසිවක් නොමැති වීමය. පැවති කිසිදු රජයකින් පාරම්පරික ගව හිමියන් නගා සිටුවීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ගව හිමියන් අද වනවිට සිය ගවයන් විකුණා දමා ගව පාලනයෙන් ඉවත් වෙමින් යන්නේ රුහුණේ මී කිරි කර්මාන්තයටද කනේ පහරක්ද එල්ල කරමිනි.
අද වනවිට කිරි කර්මාන්තයේ නිරත ගව හිමියන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව මාගම්පුර ගව හිමියන්ගේ ගොවි සංවිධානයේ ලේකම් එම්. පේමපාල මහතා මෙලෙස අදහස් දැක්වීය.
රුහුණේ කිරි ගව පාලනයේ නිරත අපි අද වනවිට අසරණයෝ අනාථයෝ බවට පත් වෙලා තියෙනවා. අපි වෙනුවෙන් කතා කරන්න අපි වෙනුවෙන් පෙනී සිටින්න කිසිම ආයතනයක් අද වනවිට නැති තරම්. කවුරුවත් ඇවිත් මේ ගව හිමියන්ට තියෙන ප්‍රශ්න දිහා බලන්නේ නෑ. අපි ග්‍රාමීය මට්ටමේ ඉන්න නිලධාරීන්ගේ ඉඳන් මැති ඇමතිවරු වගේම ජනාධිපති දක්වාම මේ ගව හිමියන්ගේ ගැටලු පිළිබඳව වාචිකව වගේම ලිඛිතවත් දැනුම්වත් කරලා තියෙනවා. නමුත් මේ වෙනකම් කිසිදු පාර්ශවයක් අපේ ගැටලු වලට විසඳුමක් දෙන්න ඉදිරිපත් වුණේ නෑ.
අපි 80 දශකයේ ඉඳන්ම පාලකයන්ගෙන් ඉල්ලුවා අපිට ගවයන් ඇති කරන්න වෙනම ප්‍රදේශයක් දෙන්න කියලා. අපේ ඉල්ලීමට අනුව 1982 දී වගේ තිස්සමහාරාම අමරවැව ප්‍රදේශයෙන් හෙක්ටයාර 1000ක් අපිට වෙන්කරලා දුන්නා එවකට හිටිය තිස්සමහාරාම දිසාපති කොට්ඨාසය මගින්. පසුව තවත් හෙක්ටයාර 1000ක් සිතුල්පව්ව පාරේ පිහිටි බැදිවැව ප්‍රදේශයෙන් වෙන් කරලා දුන්නා. නමුත් ඒ වෙනකොට එම ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය හේන් ගොවියන්ගේ ඉල්ලීමකට අනුව නැවත එම භූමි කොටස අපෙන් අරන් ඒ අයටම නැවත දුන්නා. ඒ වගේම ලුණුගම්වෙහෙර සිට මත්තල ගොන්නොරුව ඇතුළු අවට ප්‍රදේශ වෙනුවෙන් මත්තල කිකිළිවිද්ද වැවෙනුත් අක්කර 2000ක් ගව හිමියන් සඳහා වෙන් කෙරුණා. නමුත් ඒ ඉඩම් කොටස ඉඩම් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවෙලා බව විතරයි අපි දන්නේ. අපිට ගවයන් දමන්න ඒ කොටසේ අවස්ථාව ලැබුණේ නෑ. කොහොම හරි අන්තිමට අපිට ඉතුරු වුණේ තිස්සමහාරාම අමරවැවෙන් වෙන්කර දුන්න හෙක්ටයාර 1000 විතරයි. ඇත්තටම එම කොටස ගව හිමියන් සඳහා කිසිදු අයුරකින් ප්‍රමාණවත් වුණේ නෑ. මොකද දිනෙන් දින ගව ගහනය වැඩි වීම නිසා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා අඩුම තරමේ අපිට හෙක්ටයාර 1500ක්වත් දෙන්න කියලා. ඒ ඉල්ලීමට අනුව 90 දශකයේ මුල් භාගයේ විතර අපිට දිසාපති යටතේ තිබුණු තිස්සමහාරාම අමරවැවෙන් හෙක්ටයාර 1500ක් වෙන් කරලා දුන්නා. නමුත් කණගාටුවට කරුණ නම් අපිට ඒ ලැබුණු හෙක්ටයාර 1500යම ලැබුණේ කොළ කෑලි වලින් විතරක් වීම. මෙන්න මේකයි හතර මායිම කියලා අපිට වෙන්කරලා දුන්නේ නෑ. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අද වනවිට ගව හිමියන් සඳහා කියලා දුන්න අමරවැව ඉඩම් කොටස සම්පූර්ණයෙන්ම ඉඩම් ජාවාරම්කරුවන්ගේ හා දඩයක්කරුවන්ගේ පාරාදීසයක් බවට පත්වෙලා තියෙනවා.
අපේ සමිතියේ විතරක් කිරි ගව හිමියන් 200ක් ලියාපදිංචි වෙලා හිටියා. නමුත් දැන් ඉන්නේ ගව හිමියන් 100ක් වගේ පිරිසක් විතරයි. ගොඩක් ගව හිමියන් ගවයන් විකුණලා කිරි ගව පාලනයෙන් ඉවත්වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුළ තියෙන පහසුකම් නොමැති වීමයි. අද වනවිට අපේ සමිතිය යටතේ ලියාපදිංචි ගව හිමියන් සතුව ඉන්නේ කිරි ගවයින් 20,000කටත් අඩු ප්‍රමාණයක්. ඒ තරමටම අනාදිමත් කාලයක පටන් පැවත ආ රුහුණේ කිරි ගව පාලනය අඩුවෙලා ගිහින් තියෙන්නේ.
ගවයින් සඳහා කියලා වෙන්කළ අමරවැව තෘණ භූමිය අද වනවිට එකම සොහොන් පිට්ටනියක් බවට පත්වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි දඩයක්කරුවන්. දඩයක්කරුවන් මේ කොටසට පැනලා බලෙන් ඉඩම් අල්ලගෙන වගාකරන මුවාවෙන් දඩමස් ජාවාරමේ නිරත වෙනවා. හැමතැනම කම්බි මල තියලා. දවසකට ගවයින් දහයක් දොළහක් කම්බි මලවලට හසුවෙනවා.
තිස්සමහාරාම කොහොඹගහපැලැස්ස පදිංචි අමරසිරි සුරවීර මහතා
ගව හිමියන්ට තිබුණු ගැටලුව වෙනුවෙන් යම් තරමක් දුරට හෝ විසඳුමක් ලබාදී රුහුණේ මී කිරි කරමාන්තය රුකගන්න ඕනේ කියන තැන ඉඳගෙන ගව හිමියත්,හේන් ගොවියත් හා කුඹුරු ගොවියත් රුකෙන පරිදි කටයුතු කළේ හම්බන්තොට හා මොණරාගල බාරව ඒ කාලේ මේ පැත්තට ආව සේන ජයසූරිය කියන අතිරේක දිසාපතිතුමා විතරයි. ඒ හැරුනම කිසිදු දිසාපතිවරයෙක් කිසිදු නිලධාරියෙක් මේ අපේ ගැටලුවට විසදුම් දෙන්න ඉදිරිපත් වුණේ නෑ.මට මතකයි 1882 වගේ සේන ජයසූරිය කියන අතිරේක දිසාපතිතුමා තමන්ගේ නිලධාරීන් යොදවලා මේ ගැටලුව පිළිබඳව සමීක්ෂණයක් කළා. ඒකෙදි ලැබුණු තොරතුරු අනුව එතුමා සියලුදෙනාටම සාධාරණ විදියේ වැඩපිළිවෙලක් සකස් කළා. නමුත් එතුමා මේ පළාතෙන් ගියා විතරයි ඒවා සියල්ල වෙනස් වුණා. එදා එතුමා තීරණය කළා කිරින්ද ඇටුල්ල ඉඳලා තියෙන බැදි තීරුව වැඩිහිටි කන්ද පාමුල දක්වා තෘණභූමිය වෙන් කිරීමට. නමුත් ඒ ප්‍රදේශයේ හිටිය සුළු භෝග වගාකරුවන්ගේ ඉල්ලීමකට අනුව දිසාපති තුමා එම කොටස නැවත එම සුළු භෝග වගාකරුවන්ටම දීලා යාල මායිමේ සිට බන්දුවැව දක්වාත්, එතැන් සිට තඹරවැව දක්වාත්, එතැන් සිට සියඹලාගස්වැව හරහා වැඩිහිටිකන්ද පාමුල දක්වාත්, එතැන් සිට කොච්චිපතාන හරහා යාල විදුල වැටට මායිම් වන ලෙස ත්‍රිකෝණයක හැඩයෙන් යුතු ඉඩම් කොටසක් තෘණ භුමි සඳහා වෙන්කරන්න තීන්දු කෙරුණා. නමුත් එතුමා මේ පළාතෙන් යාම නිසා එම තීරණ විවිධ අයගේ දේශපාලන හයියක්කාරකම් වලට නතුව ඒ තීරණ යට ගියා.
එදා පටන් අද දක්වාම ගව හිමියන් සිය ගවයින් ටික ඒ පැත්තට මේ පැත්තට දක්ක දක්කා ඉන්නවා. කිසිදු බලධාරියෙක් සාධාරණ විසඳුමක් දුන්නේ නෑ. මේ වෙනකොට කිරි ගව පාලනය අපිට තිත්ත වෙලා ඉන්නේ. මේ සතුන්ට කරන්න දෙයක් නෑ අපිට. මේ සතුන්ට කන්න දෙන්න වතුර දෙන්න භූමියක් නැතිනම් අපි කොහොමද ගව පාලනය කරන්නේ. මේ ටික අපිට දෙන්න බැරිනම් ජනාධිපතිතුමාගෙන් අපි වැඳලා ඉල්ලන් නම් අපිට මේ හරක් ටික විකුණගන්න වැඩ පිළිවෙළක් හදාදෙන්න. එදා ඉඳන් අද දක්වාම රුහුණේ මි කිර කර්මාන්තය නගා සිටුවන්න දායක වුණු අපිට තුට්ටුවකට ගණන් ගන්නේ නැති පහසුකම් දෙන්නේ නැති නිලධාරීන් ඉන්න රටක කිරි ගව පාලනය කරනවාට වඩා හොඳයි කුලී වැඩක් කරගෙන ඉන්න එක.
තිස්සමහාරාම වලගම්පත්තුව පදිංචි සමන් තිලක වික්‍රමසේකර මහතා:
තිස්සමහාරාම මාගම්පුර ගව හිමි ගොවි සංවිධානයේ සාමාජිකයෝ වන අපේ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන්නේ කිරි ගව පාලනය. නමුත් එදා පටන් අද වෙනකම්ම අපිට කිසිදු රජයකින් හෝ කිසිදු නිලධාරියෙකුගෙන් මේ කර්මාන්තය දියුණු කරගන්න කියලා කිසිදු හව්හරණක් ලැබිලා නෑ. ගවයින්ට තෘණ භූමියක් කියලා අමරවැව භූමියක් වෙන් කරලා තියෙනවා. ඒක නමට විතරයි තියෙන්නේ.
අපේ ගවයින්ට කන්න දෙන්න තැනක් නැතිනම් පහසුකම් නැතිනම් අපි කොහොමද මේ ගව පාලනය කරගෙන යන්නේ. මේකට පහසුකම් දෙන්න බැරිනම් අපිට අපේ මේ සත්තු ටික විකුණලා දමන්න අවශ්‍ය පහසුකම් හදා දෙන්න කියලා තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ.
ඒ.ඩබ්ලිව්. ලෙස්ලි මහතා
අද වනවිට අපිට ගව පාලනය කරගෙන යන්න බැරි තැනට පත්වෙලා තියෙනවා. මේ ගැන බලධාරීන්ට කොතරම් කිව්වත් වැඩක් නෑ. අමරවැව ගවයින් සඳහා වෙන්කළ තෘණ භූමියත් මේ වනවිට දඩයක්කරුවන්ගේ ග්‍රහණයට හසුවෙලා. අපිට ගවයින් අරන් යන්න එන්න තැනක් නෑ. රජයෙන් කියා කිසිදු පහසුකම් අපිට දෙන්නේ නෑ. ප්‍රාදේශීයව ඉන්න නායකයන්ට අපි මේ දුක්ගැනවිල්ල කියලා දැන් එපාවෙලා තියෙන්නේ. මීට වඩා හොඳයි හරක් ටික විකුණලා කුලී වැඩක් කරගෙන ඉන්න එක.
දිලීප් නුවන් ජයසේකර