2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

අවුරුදු 94දී උපාධිය ලියන ඇසිලින් ධර්මරත්න මාතාව

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

උත්සාහයත් ආත්ම ශක්තිය හා ධෛර්යවන්තභාවය නිසාම ඕනෑම අභියෝගයක් ජයගැනීමට වයස බාධාවක් නොවේ. ඒ බව ඔප්පු කර පෙන්වූ නාවලපිටියේ පදිංචි විතානගේ ඇසිලින් ධර්මරත්න මහත්මිය 94 වියේදීද ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා විභාගයෙන් සමත් වී උපාධිය හිමිකර ගන්නට අදිටන් කරගෙන සිටින්නීය.

මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය ප්‍රදේශයේ වෙසෙන ඇය 1928 පෙබරවාරි මස 15 වැනි දින උපත ලබා තිබේ. නොතාරිස්වරියක හා ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටින ඇය නිරන්තරයෙන් විවිධ පොත්පත් පරිශීලනය කරමින් විවිධ කරුණු පිළිබඳව අධ්‍යයනය කර ඇත.

මෙරට මෙන්ම ලොව වයස්ගත කාන්තාවන්ට ආදර්ශයක් වූ ඇයගේ හපන්කම් %ගීනස්^ වාර්තා පොතට ඇතුළත් විය යුතු බව ඇය ගැන දන්නා බොහෝ දෙනෙක් පවසති.

කාන්තාවක් ලෙස තමන්ට බැහැ, තමන්ට අත දෙන්න කවුරුත් නැහැ, තමන් ගැන බලන්න කෙනෙක් නැහැ, තමන් යම් දෙයකට ඉදිරිපත් වුවහොත් එයින් ප්‍රතිඵල ලබාගන්න බැහැ යන අදහසින් අධෛර්යමත්ව සිටින කාන්තා පරපුරට ආදර්ශයක් මෙන්ම අපූරු පාඩමක් කියාදුන් ඇසිලින් ධර්මරත්න මාතාව දියණියන් සිවු දෙනකුගේ ආදරණීය මාතාවකි

ඇය පසුගියදා මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයීය ශාලවේ පැවැති ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනි සිටියාය. ඇගේ උනන්දුව කැපවීම හා ආත්ම විශ්වාසය නිසාම ඇය පිළිබඳව රට දැනුවත් කළයුතු බව සිතුණු නිසාම මෙලෙස සටහනක් තැබුවේ ඇය සමස්ත කාන්තා පරපුරටම ආදර්ශවත් කාන්තාවක් නිසාය.

අධ්‍යාපනය ලැබීමට යමක් ඉගෙන ගැනීමට සිය වයස බාධාවක් කර නොගත් ඇගේ එම අධිෂ්ඨානය එම්.ඒ. උපාධිය ලබාගැනීමයි.

බුදුදහම කෙරෙහි දැඩි භක්තියක් හා විශ්වාසයක් ඇතිකරගෙන සිටින මේ මාතාව දිනපතාම බුදුන් වැඳ තම දෛනික කටයුතු ආරම්භ කරයි. තමන්ට බැහැ කියා කිසිදෙයක් නැතැයි දැඩි ආත්ම විශ්වාසයකින් පසුවන කාට වුවද තමන් අපේක්ෂා කරන ඉලක්කය කරා යා හැකි බව ඇගේ විශ්වාසයයි.

මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවිතයේ තමන් කරා පැමිණෙන සෑම අභියෝගයකටම මුහුණ දී ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන කාට වුවත් %වරදින්නේ නැතැ^යි ඇසිලින් ධර්මරත්න මහත්මිය පවසන්නීය.

ඇගේ එක් දියණියක් රජයේ ඉහළ තනතුරක් දරන්නීය. ඇය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය බවත්, ඇගේ තවත් දියණියක් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක ලෙස සේවය කරන බවත් අනෙක් දියණියන් දෙදෙනාද උපාධිධාරීන් ලෙස රජයේ රුකියාවන්හි නියුක්ත වී සිටින බවත් කියයි. සිය ජීවිතයේ වයසින් කෙතරම් වැඩිවුවත් දැඩි අධිෂ්ඨානයකින් හා ආත්ම විශ්වාසයකින් තම කටයුතු කිරීමට උත්සාහ දරන ඇසිලින් මාතාව තම වයස ගැන උනන්දුවක් නොදක්වා උසස් අධ්‍යාපනයට හිත යොමුකිරීම නිසාම ඇයට %ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂා පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාව උදාවිය. ඒ සඳහා ඇයට අදාළ අංශයන්හි සෑම දෙනකුගෙන්ම මනා සහායක්ද ලැබී තිබේ.
අරමුණක් සහිතව විභාගයකට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය ස්ථීර බව*ද ඇය පවසන්නීය. පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් උපාධිය ලබාගැනීම සඳහා ඇය උපාධි පරීක්ෂණයට ඉදිරිපත් වී සිටින අතර ඇය තම දියණියක් සමඟ පසුගියදා මහනුවරට පැමිණියේ එම විභාග පරීක්ෂණයට පෙනී සිටීම සඳහාය.

වයස අවුරුදු 94ක් වුවද ඇය එකී පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ ඇස් කණ්ණාඩි පාවිච්චි නොකර පොත්පත් කියවීම හා වෙනත් ලිපි ලේඛන පරිශීලනය කිරීම පුදුම සහගත විය.

ඇය ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා විභාග පරීක්ෂණයට ඉදිරිපත් වී එහි ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දී පවා ඇස් කණ්ණාඩි නොපැළඳ එම කාර්යයේ යෙදී සිටිනු දුටු විභාග ශාලාවේ රාජකාරියේ නිරත නිලධාරීහුද මවිතයට පත්වූහ.

අනුන්ගේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, දරුවන්ගෙන් උදව් උපකාර නොලැබීම, තමන්ට කිසිවකු නැතැයි සිතීම මේවාට සිත යොමුකර කාලය නාස්ති කිරීමට වඩා තමන්ට බුදු දහමේ විවිධ අර්ථයන් හා පැතිකඩ විදහා දක්වන බෞද්ධ අධ්‍යාපනය හා පාලි භාෂා අධ්‍යයනය පිළිබඳව මනා දැනුමක් අවබෝධයක් ලබාගනිමින් ජීවිතයේ අවසාන සමයේ සිත දියුණු කර ගැනීම තමන්ගේ එකම අරමුණ බව ඇසිලින් ධර්මරත්න මාතාව පවසන්නීය.

ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය සහ අන් සතු දේප ඉඩකඩම්වලට කෑදරකමින් මිනිසුන් සමග අමනාප වන මිනිස් සමාජයක තමන් බුදුදහමෙන් ලබාගන්නේ තමන්ට ඉතා වටිනා පිටුවහලක් බවද ඇය පැවසුවාය.

තමන්ට පෙර පිනකට හිමිවූ මනුෂ්‍ය ආත්මය තුළින් මිනිස් සමාජයට ආදර්ශයක් පෙන්වාදිය හැකි යැයි සිතූ ඇසිලින් ධර්මරත්න මාතාව විභාගවලට බියෙන් සිතින් වද විඳින තරුණ ප්‍රජාවටද ලබාදී ඇති පණිවුඩය වන්නේ අධිෂ්ඨානයත් ආත්ම විශ්වාසයත් සිත්හි තබාගෙන ඕනෑම විභාගයකට ඉදිරිපත්ව ජයග්‍රහණය ලබාගත හැකි බවකි.

මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විභාග ශාලාවේදී පෙබරවාරි 06 සහ 07 යන දිනවලදී පැවති ත්‍රිපිටක ධර්ම පාලි භාෂා විභාග පරීක්ෂණයට ඉදිරිපත් වූ දිරිය මාතාවක් වන විතානගේ ඇසිලින් ධර්මරත්න මහත්මියට කිසිදු බාධාවකින් තොරව විභාගයට ලිවීම සඳහා විභාග ශාලා නිලධාරීන් විසින් විශේෂ අවස්ථාවක්ද සලසා දිම පැසසිය යුතුය.

බුදු දහමේ ආභාෂය ලබමින් උදේ සවස බුදුන් වඳින ඇසිලින් මාතාව අපේක්ෂා කරන පරිදිම ඇයට බෞද්ධ හා පාලි අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකරගන්නට ලැබේවායි මෙම ලිපිය කියවන ශ්‍රී ලාංකික සියලු ජනතාවගේත් අපගේත් ප්‍රාර්ථනාවයි!

 ජේ.ඒ.එල්. ජයසිංහ