රටක දියුණුව රඳා පවතින්නේ ඒ රටේ සෞඛ්‍ය,විදුලි සංදේශ, ප්‍රවාහන හා මහාමාර්ග පද්ධතියේ දියුණුව අනුවය. එහෙත් අපේ රටේ මහ පුදුම සංස්කෘතියක් තිබේ. ඒ, කුමන දියුණු අලුත් සංකල්පයක් හඳුන්වා දීමට උත්සාහ කළත් එයට විරුද්ධ වීමයි. අධිවේගී මාර්ග සංකල්පය අපේ රටට ගෙන ආවේ මීට දශක කිහිපයකට පෙර වුවත් අධිවේගී මාර්ග සංකල්පය ක්‍රියාවට නංවා ගැනීමට අපට බොහෝ කාලයක් ගත විය.
කෙසේ හෝ කොළඹ - මාතර අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල (පින්නදූව) දක්වා අදියර මෙරට පළමු අධිවේගී මාර්ගය ලෙස ඉතිහාස ගත වී 2011 වසරේ ඔක්තෝබර් මස 27 වැනිදා ජනතා අයිතියට පැවරිණි.
පසුව කොට්ටාව - කඩුවෙල කොළඹ පිටත අධිවේගී මාර්ගය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, ගාල්ල මාතර අධිවේගී මාර්ගය හා කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගය ද ජනතා අයිතියට පත් විය. මෙහිදී විශේෂයෙන් වැදගත් වන අධිවේගී මාර්ගය වන්නේ කොළඹ පිටත අධිවේගී මාර්ගයයි. එය කොට්ටාවේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන අතර, කෙරවලපිටියේ දී කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම කඩවත ‘සිව්මංසල‘ දී මධ්‍යම අධිවේගී මාර්ගය හා සම්බන්ධ වේ.
මධ්‍යම අධිවේගී මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය සේම රටේ හදවත යා කරන්නකි. කඩවතින් ආරම්භ වන මධ්‍යම අධිවේගයේ එක් මාර්ගයක් කඩවත සිට පොතුහැර හරහා මහනුවර දෙසට ගලගෙදර දක්වාත්, තවත් මාර්ගයක් පොතුහැර සිට කුරුණෑගල හරහා දඹුල්ල දක්වාත් ඉදි කෙරේ. අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතියේ ආරම්භක සැලසුම් වෙනස් කරමින් නව සැලැස්මක් යටතේ මේ වන විට මාර්ගය ඉදිකිරීම් ආරම්භ කර ඇත.
ආරම්භක සැලසුමේ මධ්‍යම අධිවේගය ආරම්භ කිරීමට යෝජිත වූයේ කඩවත හා කෙරවලපිටිය යා කෙරෙන කොළඹ පිටත වටරවුම් මාර්ගයේ එඬේරමුල්ල ප්‍රදේශයේදීය. එඬේරමුල්ල සිට රාගම හරහා වල්පොළ, බටුවත්ත, ගලහිටියාව, ගණේමුල්ල හරහා ගම්පහ දක්වා අධිවේගී මාර්ගයේ සැලසුම් වෙනස් විය.
කඩවත සිට කෙරවලපිටිය දක්වා දිවෙන කොළඹ සිටත අධිවේගී මාර්ගය මංතීරු 6කින් ඉදි කිරීමට යෝජිත වුවත් එය ඉතා අධික වියදමක් වැය වන කාර්යයක් වන හෙයින් මධ්‍යම අධිවේගය කඩවත සිව්මංසල පිවිසුමෙන් ආරම්භ කර එය කොස්සින්න හරහා ගම්පහ දක්වා ගමන් කිරීමට සැලසුම් සකස් කෙරිණි.
ඒ අනුව කඩවත සිට කෙරවලපිටිය දක්වා මාර්ගය මංතීරු 4කින් පමණක් ඉදි කිරීමට සැලසුම් කෙරිණි. දැන් අවසන් සැලසුම එයයි. එම සැලැස්ම අනුව මධ්‍යම අධිවේගය ඉදි කෙරෙනු ඇත.
එහි පළමු අදියර යටතේ කඩවත සිට මීරිගම දක්වා මාර්ග කොටස ඉදි කෙරේ. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 37.09කි. මේ මාර්ග කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4කි. කඩවත, ගම්පහ, වේයන්ගොඩ හා මීරිගම - දකුණ එම මධ්‍යස්ථාන වන අතර, මේ අදියර සඳහා මුල්ගල් තැබීම 2015 වසරේ අගෝස්තු මස 3 වැනිදා සිදු කෙරිණි. ඒ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 158.4කි. දෙවැනි අදියර යටතේ මීරිගම සිට පොතුහැර හරහා කුරුණෑගල දක්වා මාර්ගය කිලෝමීටර් 39.29කි. මේ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 137.098කි. මීටර් 3.6 බැගින් වන මංතීරු 4කින් සමන්විත මෙම මාර්ගයේ පළල මීටර් 23කි. අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් මේ සඳහා ඇතුළත් වේ. මීරිගම - උතුර, නාකලගමුව, මල්පිටිය, පොතුහැර සහ කුරැණෑගල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු හා දෙවැනි අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ මාර්ගයේ 3 අදියර යටතේ පොතුහැර සිට ගලගෙදර දක්වා මාර්ගය මහනුවර දක්වා යන වාහන සඳහා පහසුව සලසනු ඇත. දිගින් කිලෝමීටර් 32.5ක් වන මේ මාර්ගයේ රඹුක්කන, ගලගෙදර අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කෙරේ. මේ මාර්ගයේ ඉදිකිරීම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ අතර මේ මාර්ග අදියර සඳහා රුපියල් මිලියන 150000ක් වැය කෙරේ. මෙම 3 අදියර මේ වසර මැද භාගයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
එසේම, කඩිනමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිව්වැනි අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට ද රජය මේ වන විටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කටයුතු සිදු කරමින් පවතී. සිව්වැනි අදියර යටතේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 60.3ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙනු ඇත. ඒ සඳහා ආයෝජනය රුපියල් බිලියන 150කි. රිදීගම, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල ඒ-9 මාර්ගයේ පිවිසුම හා දඹුල්ල - ඒ 6 මාර්ගයේ පිවිසුම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ලෙසින් ඉදි කිරීමට නියමිතය.
වසර 30කින් තනා නිම කරන්නට තිබූ මහවැලි ව්‍යාපාරය කඩිනම් ව්‍යාපාරයක් ලෙස ඉදි කෙරුණා සේම මෙම අධිවේගී මාර්ග පද්ධතිය ද වසර 2030 වන විට මේ රටේ මාර්ග පද්ධතියට නව පණක් ලබාදීම උදෙසා කටයුතු කර ඇත. උපරිම ආර්ථික ඵලදායීතාවයකින් යුතු අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීම, කොළඹ - නුවර හා අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගයේ පවතින මාර්ග තදබදය අවම කිරීම, ආර්ථික, සමාජීය සංවර්ධනය හා සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම, දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ හා අපනයන කෘෂි කර්මාන්තයේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම, උතුරු නැගෙනහිර හා කන්ද උඩරට ප්‍රදේශ සංවර්ධනය සඳහා මාර්ග ජාලය පුළුල් කිරීම හා ආයෝජකයන්ට ආයෝජන අවස්ථා සඳහා අධිවේගී මාර්ගය තුළින් ඉඩ ප්‍රස්ථා සැලසීම මේ මඟින් අපේක්ෂිතය.
සටහන: හසිත් අංජන