සෑම වසරකම පෙබරවාරි මස දාහතර වැනිදා ලෝකයේ බොහෝ රටවල් තුළ මහ ඉහළින් “වැලන්ටයින් දිනය” සැමරීම සිදුවෙයි. ක්‍රි.පූර්ව තුන්වැනි සියවසේ රෝමයේ විසූ වැලන්ටයින් සාන්තුවරයා සිහිවීම පිණිස සමරන මෙම දිනය “පෙම්වතුන්ගේ දිනය” ලෙසින්ද හැඳින්වේ.
ශ්‍රී ලංකාවේද පෙබරවාරි මස 14 වැනිදා පෙම්වතුන්ට පමණක් නොව බොහෝ දෙනා සමරන, තෑගිබෝග හුවමාරු කරගන්නා, හැඟීම් ප්‍රකාශ කරනා සුවිශේෂී දිනයක් වේ.
නමුත් මෙවර වෙනත් වසරවලදී මෙන් “පෙම්වතුන්ගේ දිනය” මහ ඉහළින් සැමරිය හැකිද? 2020 වසරේ මාර්තු මාසයේදී මුල්ම කොවිඩ් ආසාදිතයා මෙරටින් වාර්තා වී වසරකට ආසන්න කාලයක් ගතවී ඇති කාලයක මේ වනවිට මෙරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 72,200කට වැඩි සංඛ්‍යාවක් බවට පත්ව තිබේ. වසරක් ඉක්මවා නොගිය කාලයක මේ ආසාදිත සංඛ්‍යාව සැලකිය යුතු වැඩි පිරිසකි. මේ අතර මොවුන්ගේ ආශ්‍රිතයන් වූ බොහෝ පිරිසක් තවමත් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති.
ගෙවුණු වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ආගමික උත්සව වූ වෙසක්, පොසොන් හෝ නත්තල වෙනදා මෙන් සැමරීමට හැකියාවක් නොතිබුණි. වෙන වසරවල්වල වෙසක් දිනයදා සෑම පන්සලකම බැතිමතුන්ගෙන් පිරී පැවතියද පසුගිය වෙසක් දිනය බැතිමතුන් කිහිප දෙනෙකුට සීමා කෙරිණි. නත්තල් දිනය දා මහ ඉහළින් දේව පූජාවන් පැවතියද මේ වසරේදී ඉතා සීමිත පිරිසකගෙන් දේව පූජාව පැවැත්වීමට ශ්‍රී ලාංකීය කතෝලික බැතිමතුන්ට සිදුවිය. එවන් වූ පරිසරය පෙබරවාරි 14 වැනිදා (අද) වෙනදා මෙන් මහ ඉහළින් පෙම්වතුන්ගේ දිනය සැමරිය හැකිද?
පෙම්වතුන්ගේ දිනය තෑගි බෝග හුවමාරුවට, ආදරයට පමණක් සීමා වූ දිනයන් නොවේ. ජීවිතය පිළිබඳව, සැබෑ ආදරය පිළිබඳව හරිහමන් තේරැම් නැති, ආදරයට එහා ගිය රාගයට මුල් තැනදී හැඟීම්වලට වහල් වන ඇතැම් පෙම්වතුන් මේ “පෙම්වතුන්ගේ දිනය” දා දෙමව්පියන්ට හොර රහසේ කුඩා හෝටල් කාමරවල පැය කිහිපයකදී තම ආත්ම ගෞරවය විනාශ කර ගනිති.
බොහෝ තරු පහේ හෝටල්වල “පෙම්වතුන්ගේ දිනයට” විවිධ වට්ටම් යටතේ උත්සව සංවිධාන කර තිබීම වෙන වසරවල දක්නට ලැබුණි. සංගීත ප්‍රසංග රටපුරා පවත්වා ආදරවන්තයන්ට “මල්වැසි” වැස්ස වූ වසරවල්ද තිබුණි. ප්‍රසිද්ධ හෝටල්වල තිබූ උත්සවවලදී හොඳම පෙම්වතුන් තෝරා විදෙස් සංචාරවලට ටිකට්පත් ලබාදුන් කාලයක්ද තිබුණි. නමුත් මෙවර කොවිඩ් වසංගතයත් සමඟ කුමන උත්සවයක් පැවැත්වුවත් ඒවා සෞඛ්‍යාරක්ෂිතව තිබිය යුතු බවට පොලීසිය නියෝග පැනවීය.
“පෙබරවාරි 14 වැනිදා හඳුන්වන්නේ පෙම්වතුන්ගේ දිනය කියලයි. වෙන වසරවලදී ලෝකයේ වගේම ලංකාවේ පෙම්වතුන්ට ඔවුන් කැමැති ආකාරයට සුබපැතුම් යවමින් එය සමරන්නට පුළුවන්. නමුත් මේ වනවිට මෙම දිනය සැමරීමට අන්තර්ජාලය හරහා විවිධ සාද පැවැත්වීමට ඇතැමුන් උත්සාහ දරන බවට පොලීසියට වාර්තා වෙනවා. ඒ වගේම ඒ සඳහා විවිධ සමාජ මාධ්‍ය ජාලා තුළ කණ්ඩායම් එකතු වී සිටින බවටත් වාර්තා වෙනවා. මේ සම්බන්ධව පොලීසියේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. එවැනි සාද, සම්භාෂණ, සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය නොමැතිව පවත්වනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. මේ දිනවල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැතිරෙන කාල පරිච්ඡේදයක්. එමනිසා සෞඛ්‍ය ක්‍රමවේදයන්ට පටහැනිව යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒ හැමදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
වෙනත් වසරවලදී “පෙම්වතුන්ගේ දිනය දා” ඉහළ පෙළේ හෝටල්වල පමණක් නොව තානායම්වලද පෙම්වතුන්ගේ අඩුවක් නොවීය. දෙමව්පියන් ආශීර්වාදය ඇතිව පෙම්වතුන් වන අය පමණක් නොව මාපියන්ට හොරෙන් පාසල් අධ්‍යාපනය ලබන සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ වසරවල්වල සිටින ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද මෙම “පෙම්වතුන්ගේ දිනය දා” තම පෙම්වතිය හෝ පෙම්වතා සමඟ ඉතා අඩු මුදලකට ආදරය සැමරීමට උත්සාහ ගනිති. රැකියාවන් නොකරන මොවුහු තම දෙමව්පියන්ගෙන් අධ්‍යාපන කටයුතුවලට ලබාදෙන මුදල්වලින්, අමතර පන්ති සඳහා ලබාදෙන මුදල්වලින් පෙම්වතුන්ගේ දිනය දා තම ආදරවන්තියට රෝස මලක්, ත්‍යාගයක්, චොක්ලට් එකක් ලබාදීමට උනන්දු වෙති. එතැනින් නොනවතින ඇතැමුන් රෝස මල අතට දී පෙම්වතියට හාදු වරුසාවක්ද ලබාදෙන්නට අමතක නොකරති. සමහරු නවතින්නේ හෝටල් කාමර තුළය.
කෙසේ වුවද කොවිඩ් වසංගතයෙන් බේරී සිටීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයේ මූලික කරුණක් වන “දුරස්ථභාවය” මේ “පෙම්වතුන්ගේ දිනය”දා පෙම්වතුන්ට අමතක වේද?
අඩුම තරමින් අතට අත දීමෙන් පවා ඇතැම්විට ආසාදිතයකුගෙන් රෝගය බෝ වීමට හේතුවක් වෙද්දී සිප ගැනීමෙන් ආසාදිතයකුගෙන් රෝගය බෝවීම වළක්වා ගැනීමට හැකියාවක් නැත.
“පසුගිය අවුරුදුවල ඔය වැලන්ටයින් දවසට කොල්ලෝ කෙල්ලෝ ගල්කිස්සේ බීච් එකේ ගොඩක් හිටියා. මගේ ත්‍රීවීලර් එකේම මේ ගල්කිස්සේ තියෙන පොඩි පොඩි හෝටල් කාමරවල ඔය දරුවන් කී දෙනෙක් නම් ගියාද? සමහරු ගියේ අතේ ටියුෂන් බෑග් එකත් අරගෙනයි. අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ වෙන්න ඇති. හයර් එකක් යමු කිව්වහම නොගිහිනුත් බැහැ. මේක අපේ රස්සාව. ඉතින් පහුගිය අවුරුදුවල අපිට වැඩිපුර හයර් තිබුණේත් මේ පොඩි පොඩි හෝටල් කාමරවලට ලොකු ඉල්ලුමක් ලැබුණෙත් ඔය වැලැන්ටයින් දවසට තමයි.” ගල්කිස්ස ප්‍රදේශයේ ත්‍රිරෝද රියැදුරු අරුණ මහතා දේශයට පැවසීය.
“යම් පුද්ගලයකු මෙවැනි නීති විරෝධී සාද, මත්පැන් සාද පැවැත්වීමට තමන්ගේ හෝටලය හෝ තමන්ගේ පරිශ්‍රය, නවාතැන්පොළක්, ශාලාවක් ලබාදෙනවා නම් ඒ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය පසුබට වන්නේ නැහැ. ඇතැම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මේ ආකාරයෙන් නීති විරෝධීව විවිධ සාද පැවැත්වීමට, ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට ඇතැමුන් කටයුතු කරන බවට අපිට ආරංචි ලැබිලා තියෙනවා. මෙවැනි අවස්ථාවලට සහභාගි වෙන්න එපා යැයි අපි තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටිනවා. එලෙස සහභාගි වුවහොත් ඔබටත් අධිකරණය ඉදිරියට යාමට සිදුවේවි. ඇතැම්විට නඩුවක සැකකරුවෙකු, විත්තිකරුවෙකු වන්නට සිදුවේවි. මේ සම්බන්ධව අපි සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දීලයි තියෙන්නේ. ඒ වගේම බුද්ධි අංශවල අවධානයත් මේ සඳහා යොමුවී තිබෙනවා. ඒ නිසා වසංගතයක් පවතින අවස්ථාවක ඊට අනුගතව කටයුතු කරනු විනා නීති විරෝධීව කටයුතු කරන්න එපා යැයි අපි තරැණ තරැණියන්ගෙන් ඉල්ලා සිටිනවා.” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද පවතින තත්ත්වය හමුවේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සේවකයෙක් අප කළ විමසුමකදී මෙසේ පැවසීය.
“වැලන්ටයින් දවසට කොහොමත් කපල් එනවනේ. මේ පාරත් ඒවි. ඒ එන හැමෝටම අපි අපේ සේවය ලබලා දෙනවා. හැබැයි ගිය පාර වගේ හොටෙල් එකේ නම් විශේෂ උත්සවයක් සංවිධානය කරලා නැහැ.”
කෙසේ වුවද රහසිගතව යම් යම් සාද, බීච් පාටි ඇති බවට ඇතැමුන් විවිධ ඉඟි පළකරද්දී තම ආදරවන්තිය හෝ ආදරවන්තයා සමඟ මෙවැනි සාද හෝ සම්භාෂණවලට සහභාගි වීමෙන් වැළකී, කොවිඩ් ආසාදිතයකු නොවීමට සියලුදෙනා වගබලා ගතයුතු වෙයි.
දිශානි ජයමාලි කරුණාරත්න