රට පුරා අනු පොකුරු ගණනාවක් බිහිවන තරමට කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී. සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් රෝගය සමාජගත වී නැති බව පුන පුනා ප්‍රකාශ කළද රට වටා තැනින් තැන ඈත පිටිසර ගම්වලින්ද නව ආසාදිතයන් වාර්තා වෙමින් තිබේ. ඇතැම් විද්වතුන් දැන් මත පළ කරන්නේ වසංගතය ලංකාවේ අධි අවදානම් තත්ත්වයක පවතින බවය.
බ්‍රැන්ඩික්ස් පොකුර හරහා ව්‍යාප්තිය ඇරඹූ ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ල පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ඔස්සේ රට පුරා ව්‍යාප්ත විය. එසේ ආරම්භ වූ අනු පොකුරැ ගණනාවක් අතරට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මුල් වටයේදීම ගොදුරැ විය. එහි බලපෑම මත පොලිස් ස්ථාන විශේෂ කාර්ය බලකා කඳවුරැ හුදෙකලා කරමින් නිලධාරීහු රැසක් ආසාදිත ලැයිස්තුවට එක් වූහ. එම බලපෑමේ අවාසනාවන්ත දිනය ඉකුත් දා වාර්තා වූයේ මොණරාගල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ්-19 ආසාදිතව මරණයට ගොදුරැ වීමත් සමඟය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 370 ඉක්මවා තිබියදී එම එකතුවට වැටුණු උප පොලිස් පරීක්ෂකවරයාගේ මරණය ශෝචනීයය. උප පොලිස් පරීක්ෂක නන්දියස් අප්පුහාමි (59) මහතා පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීමට ඇඟිලි ගනිමින් සිටි අයෙකි. ඒ අනුව ඔහු විශ්‍රාම ගැනීමට පෙරාතුව ලැබෙන නිවාඩු සමය ගත කරමින් සිටියේය. ඔහුට එම නිවාඩුව ලැබී තිබුණේ පසුගිය දෙසැම්බර් 30 වැනිදාය. විවාහකයෙක් වන අප්පුහාමි මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහුට දියණියන් දෙදෙනෙක් සහ පුතෙක් වෙති.
උප පොලිස් පරීක්ෂක අප්පුහාමි මහතා විශ්‍රාම නිවාඩුව ගත කරමින් සිටියදී පපුවේ හටගත් රෝගී තත්ත්වයක් නිසා මොණරාගල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගත්තේය. ඒ පසුගිය 4 වැනිදාය. රෝගී බව උත්සන්න වීම නිසා ඒ මහතා මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඒ ඉකුත් 5 වැනිදාය. ඉන් දිනකට පසුව ජීවිතක්ෂයට පත්ව ඇති ඒ මහතාගේ දේහයට පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම සඳහා වෛද්‍යවරැ නිර්දේශ කළහ. ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී ඔහුට කොවිඩ්-19 වැළඳී තිබී ඇති බවද පැවති හෘද රෝග තත්ත්වය හමුවේ මියගොස් ඇති බවද අනාවරණය විය. මේ ආකාරයට උප පොලිස් පරීක්ෂක අප්පුහාමි මහතා මියගොස් තිබුණේ ලබන මාර්තු 9 වැනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතව සිටියදීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොවිඩ් ආසාදනය වීමෙන් මරණයට පත්වූ පළමු පොලිස් නිලධාරියා වශයෙන් මෙම මරණය වාර්තා වූ බවය. කොවිඩ් වසංගත දෙවැනි රැල්ලත් සමඟ පොලිස් ස්ථාන ගණනාවකට හා විශේෂ කාර්ය බලකා කඳවුරැ රුසකට එම බලපෑම එල්ල විය. පොලිස් කොවිඩ් පොකුර සම්බන්ධයෙන් නිශ්චිත වාර්තාවක් ඉදිරිපත් නොකළද කොවිඩ් වසංගතය පොලිස් දෙපාර්තමේන්තුවට දැඩි තර්ජනයක් එල්ල කර වයිරසය පොලිස් නිලධාරීන් අතර ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය, රාජතාන්ත්‍රික ආරක්ෂක අංශය ඇතුළු දිවයින පුරා විහිදි පොලිස් ස්ථානවල නිලධාරීහු දහස් ගණනක් මේ වන විට කොවිඩ්-19 වසංගතයට ගොදුරු වෙමින් සිටිති. ඉන් බහුතරයක් සුව වී පිටව ගොස් ඇති බවද වාර්තා වේ. මේ තත්ත්වය තුළ කොවිඩ් අවදානම පොලීසියට බලපෑවේ පසුගිය ඔක්තෝබර් 3 වැනිදා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර හඳුනාගෙන දින පහක් ගතවූ 8 වැනිදාය. එලෙස මිනුවන්ගොඩ පොලීසිය පොලිස් සේවකයකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීමත් සමඟ එම පොලීසිය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනිණ. අනතුරැව අනාවරණය වූයේ එම අයගේ පුත්‍රයා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටියදී ඔහු හරහා රෝගය වැළඳී ඇති බවය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිර්මාණය වූ කොවිඩ් පොකුර රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් හරහා ඇති නොවූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වරෙක පවසා සිටියේය. පොලීසියේ හා විශේෂ කාර්ය බලකා කඳවුරුවල භෝජනාගාර පාලකවරැ මත්ස්‍යයන් මිල දී ගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට යාමත් සමඟ ඒ ඔස්සේ වයිරසය ආසාදනය වී ඇති බවද ප්‍රකාශ විය.
පොලීසිය ඇතුළත රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර රැසක් ගෙන ඇතත් විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවලින් තවදුරටත් කොවිඩ් ආසාදිත නිලධාරීන් වාර්තා වන බව දකින්නට ලැබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර