2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

ආණ්ඩුවේ තීන්දුවෙන් කළු කඩේට ගිය ටයිල් බ්ස්නස්

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 86

රටට බලපා ඇති විදේශ විනිමය අර්බුදය නිරාකරණය කිරීම සඳහා රජය ගත් පියවරක් වූයේ ආනයන තහනම් කිරීම හෝ අධෛර්යමත් කිරීම සඳහා ආනයන බදු ඉහළ දැමීමය. මෙහිදී ඇතැම්විට ජනජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩද ආනයනය සීමා විය. ඒ හේතුවෙන් අදාළ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම එම ආයතනවල රුකියා කළ සේවකයන්ටද ගැටලු ඇති විය. එසේම පාරිභෝගිකයාද මුහුණදුන් දුෂ්කර අවස්ථාවක් වූයේ තමන්ට මුදල් තිබුණද අවශ්‍ය දේ මිලට ගැනීමට නුපුළුවන් වීම නිසාය.

මෙම තත්ත්වයට ආසන්නතම උදාහරණය වූයේ ටයිල් සහ නානකාමර උපකරණ කට්ටල ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණයයි. මෙම තහනම නිසා රට තුළ ටයිල් හා නානකාමර උපකරණවල මිල සියයට 300කින් පමණ ඉහළ ගියේය. එයට හේතුව වූයේ ටයිල් වෙළෙඳපොළ සියයට 80ක් පමණ ආනයන භාණ්ඩ මත රඳා පැවැතීමය. ඉන්දියාව, චීනය, පකිස්ථානය, මැලේසියාව හා එංගලන්තය වැනි රටවලින් මේවා ආනයනය කෙරුණි. ආනයනකරුවන් අතර ආනයනය පිළිබඳ තරගයක් පැවතීම නිසා වෙළෙඳපොළේ ටයිල් හා නානකාමර උපකරණවල මිල සාමාන්‍ය මට්ටමේ විය.

තහනමෙන් පසු ටයිල් සහ නානකාමර උපකරණ කට්ටලවල මිල අසීමිත ලෙස ඉහළ ගියේ රටේ අවශ්‍යතාව සැපිරීමට දේශීය කර්මාන්තකරුවන් අපොහොසත් වීම හේතුවෙනි. දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කර රටේ අවශ්‍යතාවලට සරිලන මට්ටමකට පත් කළ පසු ආනයන තහනම් කළා නම් මෙම මිල ඉහළ යාම සිදු නොවනවා ඇත. රජය ආනයන තහනම් කිරීමට පෙර දේශීය නිෂ්පාදන නගාසිටුවීමට කටයුතු කළ යුතුව තිබිණ. එහෙත් එය නොකර හදිසියේ ගැසට්ටුවක් මගින් මේවා ආනයනය තහනම් කිරීම නිසා බලවත් දුෂ්කරතා ඇතිවී තිබේ. මේ පිළිබඳ ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගික සංවිධාන විසින් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ටයිල් හා නානකාමර උපකරණ කට්ටල යළි ආනයනය කිරීමට ඉඩ දෙමින් 2021 පෙබරවාරි මස 02 දින අංක 2213/8 දරණ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි.

මුදල් අමාත්‍යවරයා මෙම ආනයනය තහනම් කළේ 1969 අංක 1 දරණ ආනයන අපනයන පනතේ උප වගන්ති 4(1) හි 6 හා 14 යන ඡේද සංශෝධනය කරමිනි. 1985 අංක 48 දරණ පනත සහ 1987 අංක 28 දරණ පනත ද සංශෝධනය කර මෙම තහනම් රෙගුලාසි පනවා තිබුණි. මෙලෙස පැනවූ රෙගුලාසි පසුගිය 2දා යළි සංශෝධනය කර ආනයනයට ඉඩදීම සිදු කළේ මෙම තහනම අවලංගු කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රකාරවය.

එසේ වුවද තත්ත්වය යළිත් අවුල් වූයේ මෙම ආනයන තහනම බුරුල් කර ජනාධිපතිවරයා ගැසට් මගින් කළ නියෝගය ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ටී.වී.ඩී. දමයන්ති, එස්. කරුණාරත්න විසින් ගැසට්ටුව නිකුත් කර පැය 24ක් ඇතුළත අවලංගු කර වෙනත් නියෝගයක් නිකුත් කිරීමය. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් හා සියලුම වාණිජ බැංකු වෙත ලිපියක් නිකුත් කරමින් ඇය පවසා සිටියේ ටයිල් හා නානකාමර උපාංග කට්ටල ආනයනයට පනවා තිබෙන තහනම තවදුරටත් එසේම බලපවත්වන බවය. ඒ අනුව මුදල් ඇමැතිවරයා තහනම අවලංගු කළ ගැසට් නිවේදනය බල රහිත වී ඇත. එසේම ටයිල් සහ උපාංග ආනයනය කිරීමට බැංකු අයිරා විවෘත නොකරන ලෙස ඇය වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ. රේගුවටද මේවා රට තුළට ගෙන ඒමට අවසර නොදෙන ලෙස උපදෙස් දී තිබේ. මේ හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට ආනයනකරුවන් තුළ ඉල්ලීම්ද ප්‍රතික්ෂේප වී ඇත. දේශීය ව්‍යවසායකයන් කළ කරුණු දැක්වීමකින් පසු රජය ආනයන තහනම් කළද දේශීය නිෂ්පාදන රටේ ඉල්ලුමට සරිලන සේ වෙළෙඳපොළට දැමිය හැකිද යන්න ගැන සලකා බලා නැත.

ඕනෑම භාණ්ඩයක ඉල්ලුම නොවෙනස්ව තිබියදී සැපයුම අඩු වූ විට කළුකඩ මිලක් නිර්මාණය වීම ආර්ථික සිද්ධාන්තයකි. ඒ අනුව ඉල්ලුමට අවශ්‍ය තරම් ටයිල් සහ සෙරමික් භාණ්ඩ වෙළෙඳපොළේ නොතිබීම නිසා මිල ඉහළ ගොස් ඇත. ආනයනය තහනම් කර ඇති බව දන්නා කූට ව්‍යාපාරිකයන් තමන් ළඟ ඇති තොග සැඟවීමට හෝ මිල ඉහළ දැමීමට සිදුවීම කවදත් සිදුවන දෙයකි. ඒ නිසා පාරිභෝගිකයාට සිදුවූයේ වැඩි මිලට මිලදී ගැනීමටය. ඉදිකිරීම් කොන්ත්‍රාත් සඳහා ගිවිසගෙන සිටි ව්‍යාපාරිකයෝද මේ නිසා අමාරුවේ වැටී සිටිති.

ආනයනය කරන බොහෝ භාණ්ඩ තහනම් කිරීම මුලින්ම කළේ 2020 අප්‍රේල් මස වන අතර 2020 ජූලි මාසයේ මෙම නියෝගවල ඇතැම් කොටස් සංශෝධනය කළද ටයිල් සහ සෙරමික් භාණ්ඩ පිළිබඳ වෙනසක් ඇතිවූයේ නැත. මේ නිසා ටයිල් වෙළෙඳසල් වසා දැමීමට සිදුවූ අතර ව්‍යාපාරිකයන් සහ එයට සම්බන්ධ දස දහසකගේ පමණ ජීවත්වීමේ මාර්ගයට අවහිරතා ඇතිවිය. ආනයනය තහනම් කිරීම නිසා ආනයනවලින් ලැබෙන බදු ආදායම රජයට අහිමිවන අතර වාර්ෂිකව රටට අහිමිවන බදු ආදායම රුපියල් බිලියන 12ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ නිසා රජයට, ව්‍යාපාරිකයන්ට සහ පාරිභෝගික ජනතාවට ආනයන තහනම හා ආනයන සීමාකිරීම නිසා හානි සිදුව ඇති බව කිව යුතුය. එනිසා එකවරම ආනයන අධෛර්යමත් නොකර යම් පියවරක් ගත හැකිද යන්න පිළිබඳ දෙවරක් සිතා බැලීමට සිදුව ඇත. 

කෙසේ වුවද මෙම තහනම නිසා වෙළෙඳපොළේ අදාළ භාණ්ඩවල විශාල හිඟයක් ඇතිවීම හේතුවෙන් සහ අධික ලෙස මිල ඉහළ යාම නිසා යළිත් වරක් පෙබරවාරි 11 දින සිට ටයිල් ආනයන තහනම එසේම තිබියදී නානකාමර උපාංග පමණක් ආනයනය තහනම් කිරීමේ නියෝගය ගැසට් පත්‍රයක් මගින් අහෝසි කිරීමට අගමැතිවරයා කටයුතු කර තිබිණ. එසේ වුවද මේවා ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේදී ගනුදෙනු පියවීම සඳහා මාස තුනක කාලයක් ප්‍රමාද කරන බවට කොන්දේසි ඇතුළත් කරන ලෙසට වාණිජ බැංකුවලට උපදෙස් දී ඇත.

අවශ්‍ය තරමට දේශීය නිපැයුම් නැතිවුණාම මිල නගිනවා

ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ දේශය පුවත්පතට කරුණු දැක්වූ ලංකා ටයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර පැවසුවේ භාණ්ඩයක ආනයන ලිහිල් කරනවා නම් එය කළ යුත්තේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති තීරු බදු අඩුවීම හරහා නොව 2015 වකවානුවේ පැවැති තීරු බදු ව්‍යුහය සලකා බැලීමෙන් බවය. 2015ට පෙර තිබූ තීරු බදු ප්‍රතිපත්තිය එසේ පැවතියා නම් දේශීය නිෂ්පාදකයාට සහ ආනයනකරුවන්ට එක හා සමාන වෙළෙඳපොළක් විවෘත වන බවද ඔහු කීවේය

රටට බලපැවැත්වෙන විදේශ විනිමය ගැටලුව පාලනය කිරීම සඳහා ආනයන තහනම් කිරීම පිළිබඳ අපේ විරුද්ධත්වයක් නැහැ. එහෙත් එය සිදුවිය යුත්තේ රටට අවශ්‍ය තරමට දේශීය නිෂ්පාදනය තර කිරීමෙන් පසුවයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීම මුලින්ම කළ යුතුයි. එය නොකිරීම නිසා භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගිය අතර සමහර වෙළෙඳසල් මුළුමනින්ම වැසී ගියා. දහස් ගණනක ව්‍යාපාරිකයන්ට සහ ඒ ඇසුරෙන් දිවිගෙවූ අයට ගැටලු ඇතිවුණා. එසේම දේශීය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය පිළිබඳවද ගැටලු තියෙනවා. දේශීය නිෂ්පාදන රුකෙන විදියේ තීරු බදු ප්‍රතිශතයක් තිබිය යුතුයි. පසුගිය සමයේ අයවැයට පෙර තිබූ බදුවලට අදාළව ලිහිල් කිරීම සිදු කළා නම් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් දෙගොල්ලටම වෙළෙඳපොළට පිවිසෙන්න හැකි වෙනවා. ටයිල්වලට වඩා උපාංගවලටයි මේ තහනම බලපාන්නේ. අඩු මිලට ටයිල් ගෙන එනවා නම් අපේ දේශීය නිෂ්පාදන විනාශ වෙනවා.

මෙම තත්ත්වය සලකා බලා අගමැතිවරයා විසින් ටයිල් ආනයන තහනම එලෙසම තිබියදී සනීපාරක්ෂක භාණ්ඩ කට්ටල ආනයනයට සහන සැලසීම වැදගත් බව කිව යුතුයි.

දේශීය සමාගම්වල ඒකාධිකාරයක් හැදිලා

ටයිල් හා නානකාමර උපකරණ කට්ටල ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කාමෙල් හුසේන් පවසන්නේ තමා ආනයන අපනයන පාලකවරියගේ තීරණය ගැන පුදුමයට පත්වන බවය. මේ වන විට ටයිල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර වැඩි වූ මිලටද අවශ්‍ය දේ ලබාගත නොහැකි බව ඔහු කියයි.

මේ දින කිහිපයට ටයිල් සහ උපාංග මිල සියයට 300කින් පමණ ඉහළ ගිහිං. ව්‍යාපාරිකයන් රුසකට ව්‍යාපාර කටයුතු අහිමිවෙලා. දේශීය ටයිල් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ආනයනවල බදු වැඩි කිරීම හේතුවෙන් දේශීය සමාගම්වල ඒකාධිකාරියක් නිර්මාණය වෙලා තියෙනවා. දේශීය කර්මාන්ත නගාසිටුවීම ගැන අපේ විරෝධයක් නැති නමුත් මෙම තහනම කළ යුතුව තිබුණේ දේශීය ටයිල් නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් පසුවයි. ටයිල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ ගැටලු පවතිනවා. ඒ නිසා නිෂ්පාදනය ඉහළ නැංවීම ගැටලු සහගතයි.

දේශීය වෙළෙඳපොළේ ටයිල් සහ සනීපාරක්ෂක හා නානකාමර කට්ටල හා උපකරණවල විශාල හිඟයක් පවතිනවා. සමහර වෙළෙඳසල් මුළුමනින් වසා දැමීමට සිදුව තිබෙනවා.

වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසන්නේ මාස දෙකකට පෙර තිබුණු මිල ගණන්වල සියයට 300ක ඉහළ යාමක් පෙන්නුම් කරන බවය. පසුගිය සමයේ රුපියල් 14,000කට විකිණූ වැසිකිළි භාණ්ඩ කට්ටලයක් දැන් අලෙවි වන්නේ රුපියල් 36,000කටය. මුහුණ සෝදන බේසම් කට්ටලයක් මුලදී රුපියල් 23,000කට මිල වුවද මේ වන විට ඒවායේ මිල රුපියල් 65,500 දක්වා ඉහළ ගොස් තිබේ.

සෙරමික් භාණ්ඩවලට ප්‍රසිද්ධ නුගේගොඩ, නාවල, කොළඹ ආමර්වීදිය වැනි ප්‍රදේශවල වෙළෙඳසල්වල භාණ්ඩ ගබඩා හිස්ව ඇති අතර ප්‍රදර්ශන කුටිවල පමණක් භාණ්ඩ කිහිපයක් තබා තිබෙන බවද දැකගත හැකි විය.

ආණ්ඩුවේ තීන්දුව සැකසහිතයි

මෙම ගැටලුව පිළිබඳ පසුගිය බදාදා (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර සිටියේ ටයිල් ආනයන තහනම ඉවත් කරමින් පැනවූ ගැසට් නිවේදනය පැය හයක් ඇතුළත වෙනස් කර යළි ආනයනය තහනම් කළේ එම කාලය තුළ කිසිවකු හෝ ටයිල් ආනයනය කළ නිසාදැයි යන්නය. පසුගිය කාලයේ භාණ්ඩ ආනයනය කිරීම සහ යළි ඉඩදීම පිළිබඳ ආණ්ඩුවේ හැසිරීම ගැන යම් සැකයක් මතුව ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
තහනම ඉවත් කර පැය ගණනකින් යළි පැනවීම නිසා ව්‍යාපාරිකයන් අතර මේ පිළිබඳ යම් කැළඹිලිකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා තීරණය පිටුපස යම් බලපෑමක් තිබේද යන්න ගැටලුවක් බවද වැඩිදුරටත් පවසා ඇත. විශේෂ කණ්ඩායමක් ඉලක්ක කර ගැසට් නිවේදන නිකුත් කිරීමේ සෙල්ලම පසුගිය කාලයේ සිදු වූ නිසා මේ පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි ඔහු කියා තිබේ.

ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මෙසේද පවසා තිබිණ.

ආනයන අපනයන පාලන පනත යටතේ මුදල් ඇමැතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් පෙබරවාරි 03දා සිට ක්‍රියාත්මක වන පරිදි එතෙක් ආනයනය නතර කර තිබූ ටයිල් ආනයනය කිරීමට යළි ඉඩ ලබා දී තිබූ බව ජනමාධ්‍ය වාර්තා කර තිබුණා. මෙතෙක් පැවැති ආනයන තහනම හේතුවෙන් රටේ නිෂ්පාදන හිඟවීමෙන් මිල ගණන් ඉහළ ගොස් තිබුණා. මේ මත කොන්දේසිවලට යටත්ව වුවද ආනයනයට ඉඩ ලැබීම ගැන නිවාස හා ගොඩනැගිලි ඉදිකරන්නන් තුළ යම් බලාපොරොත්තුවක් තිබුණා.
එහෙත් පසුදා ආනයන හා අපනයනය පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයා මහ බැංකු අධිපතිට පිටපතක් සහිතව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වාණිජ බැංකු ප්‍රධානීන් අමතා ලියන ලද ලිපියක් මගින් එම ගැසට් නියෝගය අවලංගු කර තිබෙනවා. මෙතන ප්‍රශ්නය වන්නේ ගැසට් එක අවලංගු වෙලා නැහැ. එහෙත් ගැසට් එක ක්‍රියාත්මක විම අත්හිටුවා තිබිමයි. බැංකුවලට කියනවා එල්.සී. විවෘත කරන්න එපා කියලා කස්ටම් එකට කියනවා ටයිල් ඇතුළු කරන්න එපා කියලා. ආනයන හා අපනයන පාලක එය ක්‍රියාත්මක වීම අත්හිටුවා තිබෙනවා. ඇමැතිවරයාගේ නියෝගයක් වෙනස් කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියකුට බලයක් තිබෙනවාද?

මුදල් ඇමැතිගේ ගැසට්ටුවේ යම් දෝෂයක් තිබෙනවා නම් එය තවත් ගැසට් එකකින් වෙනස් කළා නම් පිළිගත හැකියි. ඒ නිසා උඩින් ඉන්නේ ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුවේ පාලකවරයාද නැතිනම් මුදල් ඇමැතිවරයාද යන ප්‍රශ්නය මතුවෙනවා. එසේම නැවත ආනයනයට ඉඩ ලබාදීම හා එය අවලංගු කිරීමේ නියෝගය ලබාදීම අතර කාලයේදී ඒවා ආනයනයට ණයවර ලිපි නිකුත් කර තිබේද? තිබේ නම් ඒ ආනයන කටයුතු සිදුවෙනවාද? ආණ්ඩුවේ තීරණ තුළ මෙවැනි හදිසි පරස්පරතා මතුවන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක්.

 යසවර්ධන රුද්රිගූ