2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

පුංචි ලෝකන්තයේ සැඟව ගිය සොඳුරු දිනුර

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

ගී රසින් කන පිනන සංගීත ස්වරයෙන් හිත නිවන ගායකයකු හා වාදකයකු වශයෙන් කලාවේ නියැලෙමින් සුවහසක් දෙනාගේ ආදරය දිනාගත් දිනුර විජේසුන්දර නව තාක්ෂණය ඔස්සේ රූපවාහිනී සජීවී පරිගණක ග්‍රුෆික් නිර්මාණ ශිල්පියකු ලෙසද කටයුතු කළේය. එවැනි කලා හැකියාවන් සඳහා උපන් හපන්කම් තිබූ දිනුර එම කාර්යයෙහි වෘත්තිය වශයෙන් නිරතව සිටියේ මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකය. මඩොල්සිම පුංචි ලෝකාන්තයේ මුදුනේ සිට අඩි 1200ක් පමණ ගැඹුරු ප්‍රපාතයක කාටත් හොරා සැඟව ගිය දිනුරගේ කතාව අභිරහස් සිහිනයකි.

ප්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක පරිගණක ග්‍රුෆික් නිර්මාණ ශිල්පියකු මෙන්ම විනෝදයට සංගීත කලාවේ නිරත දිනුර බොහෝ සෙයින් පරිසරයට ආදරය කළේය. දැන උගත් මිතුරු මිතුරියන් රැසක් ආශ්‍රය කළ ලද මොහොතකදි සොබාදහමේ අසිරිය විඳින්නට අමතක කළේ නැත. ස්වභාව සෞන්දර්යයෙන් අනූන මඩොල්සිම පුංචි ලෝකාන්තය මුදුනේ සීතල මීදුම මැදට ගැලූ සහ අන්ධකාරයේ සැඟව ගිය දිනුරගේ කතාව ජීවිතයේ අනියත බව කියන පාඩමකි.
අම්මේ අපි යාළුවෝ කට්ටියක් හෙට බදුලු යනවා... මඩොල්සිම රැයක් ඉඳලා එන්නේ... මේ දවස්වල එහෙ සීතලයි. ශ්‍රිමාලි යාළුවෝ දෙන්නෙක් එක්ක ගෙදර ඉන්නවා...

මඩොල්සිම ගමන සම්බන්ධයෙන් දුරකථන ඇමතුමක් ඔස්සේ දිනුර සිය මවට කියා තිබුණේ එවැන්නකි. ඒ පසුගිය 5 වැනිදාය. කළුතර මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දිනුර ශ්‍රිමාලි යුවළ අලුත් නිවසක පදිංචියට යාම සඳහා ඇඟිලි ගනිමින් සිට ඇත. ඒ වෙනුවෙන් කළුතර දූව පන්සල පාරේ නව නිවෙසක් මිලට ගන්නට යුවළ කටයුතු කර තිබිණ. එහෙත් නව නිවෙසේ පදිංචියට යාමට දිනුරගේ දෛවය ඉඩක් ලබාදී නොතිබිණ.
මුංහේන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි දිනුරගේ නිවෙසට මිතුරන් පිරිස පැමිණ තිබුණේ පසුගිය 6 වැනිදාය. මිතුරු පිරිසට එක්වූ දිනුර සිය බිරියගෙන් සමුගෙන බදුලු ගමනට එක්ව තිබුණි. බිරියගේ තනියට ඇගේ මිතුරියක හා දිනුරගේ මිතුරකුගේ බිරියක් එම නිවසේ නවාතැන් ගත්තෝය. කතිකා කරගත් පරිදි දිනුර හා මිතුරන් එදින පස්වරුව වනවිට මහියංගණයට ළඟා වී තිබුණේ තවත් මිත්‍රයකුගේ නවාතැනක් වෙතය.

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ සංචාරය හා රාත්‍රී නවාතැන් ගැනීමට අවශ්‍ය කූඩාරම් ඇතුළු කළමනා සියල්ල මහියංගණයේ සිටි මිත්‍රයා විසින් සම්පාදනය කොට තිබිණ. වෛද්‍යවරයකු වූ මිත්‍රයාට එක්වූ කළුතර ප්‍රදේශයේ සිට ගිය පිරිසෙන් මිතුරන් පස් දෙනෙකුම වෛද්‍යවරුන්ය. මහියංගණය වෛද්‍ය සගයාගේ නවාතැනෙන් පිටත්වූ පිරිස මීගහකිවුල පිටමාරුව ඔස්සේ පුංචි ලෝකාන්තය වෙත ගොස් ඇත්තේ සවස 5.00ට පමණය.
සවස් යාමයේ පරිසර සිරිය විඳිමින් සුදුසු බිමක් තෝරාගෙන කූඩාරම් ගැසූ පිරිස හෝරා ගණනාවක් එහි විනෝදයෙන් ගත කළෝය. මේ ආකාරයට පරිසරයට හිතැති පිරිස් ඕනෑතරම් මඩොල්සිම පුංචි ලෝකාන්තයේ රාත්‍රී සිරිය විඳීමට පැමිණෙති. ස්වභාවදහමේ අපූරු හිරිපොද වැස්ස මැද අධික වර්ෂාවත් සීතල හා මීදුමත් කාලයකින් ලැබෙන දුර්ලභ අත්දැකීමකි. මේ මිහිර විඳින්නට කොතෙකුත් ආශා කළත් එය විටෙක කටුකය.

හෝරා කිහිපයක් විනෝදයෙන් ගතකළද අධික සීතල, සිරිපොද වැස්ස මැද පැතිරී තිබුණු ඝන අන්ධකාරය මිතුරු පිරිසට බාධාවක් වූ බව නිසැකය. සියල්ලෝම කතිකා කරගෙන තිබුණේ ඉවසන්න බැරි සීතල නිසා රූ පහන්වනතුරු සිය වාහන තුළම රුඳී සිටිය යුතු බවය. ඒකමතිකව එම අදහසට එකඟ වූ පිරිස වැටෙන වැස්ස නොබලා වාහන වෙත ගමන් කළෝය. එය ඉතා දුෂ්කර ගමනකි. කෙසේ හෝ මිතුරන් එකා දෙන්නා වාහන දෙක තුනකට නැගී ගත්තද දිනුර වාහනයකට නැග තිබුණේ නැත. තනාගත් කූඩාරමෙන් පිටවීමට දිනුර සියල්ලන් සමඟ නැගී සිටි බැව් පිරිසට මතකය. වාහනයට ගොඩ නොවූ දිනුරට නම අඬ ගැසුවද ඔහුගෙන් පිළිතුරක් වූයේ නැත. ඉමක් කොණක් තබා ළඟ සිටින්නකු හෝ නොපෙනෙන අඳුරේ දිනුර සොයායාම තවත් බරපතළය. හදිස්සියේ දිනුරට වූ අකරතැබ්බය කුමක්දැයි නොදන්නා මිතුරන්ට අධික සීතල මැද හීන්දාඩිය දමන්නට ඇත. පිරිස පසුදා පහන්වීමට තිබූ හෝරා දෙක තුන ගෙවා දැම්මේ ජීවිතයේ දිගම කාලහෝරාව ලෙස දකිමිනි.
අතරින් පතර එළිය වැටී පරිසරය නෙත ගැටෙන්නට වුවද කූඩාරමේ හෝ අවට ගමන්මඟ පෙනෙන මානයේ දිනුර සිටියේ නැත. වෙනත් පිළියමක් නොවූයෙන් මිතුරෝ තීරණයක් ගෙන තත්ත්වය මඩොල්සිම පොලීසිය වෙත දැන්වූහ. පොලිස් නිලධාරීන් එහි ළඟා වුවද දිනුර පිළිබඳ තොරතුරක් ලැබුණේ නැත. 7 වැනිදා දිනය පුරා සෝදිසි මෙහෙයුමක් සිදුකළද පලක් වූයේ නැත.

අනතුරුව දිනුර සොයා විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට තීරණය කෙරුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 වැනි බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක මහතාගේ උපදෙස් මත කර්නල් ප්‍රියන්ත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ බළකා භට පිරිසක් යොදවනු ලැබීය. එහිදී භට කණ්ඩායම් දෙකක් මෙහෙයුමට දායක වී තිබිණි. ලෝකාන්තයෙන් ප්‍රපාතයට බැසීමට එක් කණ්ඩායමක් වූ අතර අනෙක් භට  පිරිස බිබිල දෙසින් කන්ද තරණය කළහ. අධික මීදුම නිසා මෙහෙයුම අසීරු වුවද රුෆ්ලින් කඹ ආධාරයෙන් සෙබළු ප්‍රපාතයට බැස ඇත. 7 වැනිදා දවස පුරාත් එදින රාත්‍රියේත් මෙහෙයුම සිදුකරමින් සිටියදී දිනුරගේ දෙපා බිඳීගිය මළසිරුර සොයාගෙන තිබුණේ මඩොල්සිම ලෝකාන්තයේ අඩි 1200ක් ප්‍රපාතයේ ගලක් මත පතිතව තිබියදීය. පැවති කාලගුණය නිසාත් අන්ධකාරය නිසාත් සිරුර රුගෙන යාම අසීරුව ඇත. එබැවින් මළසිරුර සමඟ රාත්‍රිය පහන් කළ හමුදා භටයෝ පසුදින අලුයම දැඩි වෙහෙසක් ගෙන ලෝකාන්තයේ සැඟව ගිය දිනුරගේ දේහය කොටගම ගම්මානය වෙත රැගෙන ආවෝය.

ඝන අඳුරේ පය ලිස්සා ලෝකාන්තය පහළ ප්‍රපාතයට වැටෙන්න ඇතැයි සැකයෙන් කළ මෙහෙයුම සාර්ථක වුවද ත්‍රිමාණ සජීවීකරණ ශිල්පි හා කලාකාමියකු වූ දිනුර යළි එන්නේ නැත. තවත් මෙවැනි අනතුරු සිදුවීමේ අවස්ථාව තිබෙන බව නිසැකය. මේ නිසා ප්‍රදේශයේ පළාත් පාලන අයාතන හෝ වගකිවයුතු අංශවලින් සුදුසු ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමට මෙය සුදුසුම මොහොතය.

රාත්‍රී නවාතැන් අවසර ඇත්නම් පමණයි

මඩොල්සිම ලෝකාන්තය පිහිටි භූමිය මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට හා මීගහකිවුල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වේ. මේ සම්බන්ධව විමසීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේ අදාළ පරිශ්‍රයට ප්‍රාදේශීය සභාවේ අවසරය මත පිවිසිය යුතු බවත් ඒ සඳහා නිලධාරියකු පත් කර සිටින බවත්ය. එය තහවුරු කර ගැනීමට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. එහිදී එම ආයතනයේ ප්‍රකාශකයකු කියා සිටියේ මඩොල්සිම ලෝකාන්තය නැරඹීම තාවකාලිකව නවතා ඇති බවත් අවසර ඇති විටෙක පමණක් එහි ඇතුළු වීම හා රාත්‍රී නවාතැන් ගැනීමට අවස්ථාව ලැබෙන බවත්ය.

 

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03