කොළඹ වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ සමාජ දේශපාලන සිදුවීම් පෙළ තවමත් නිමා වී නොමැත. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය පිළිබඳ සංවාදයෙන් ඉක්බිති කොළඹ වරාය බටහිර පර්යන්තය සම්බන්ධ දැන් කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. එම නිසාම බටහිර පර්යන්තය යනු කුමක්ද? එහි දැන් පවතින තත්ත්වය, එසේම ඊට ආයෝජනයක් අවැසි වන්නේ ඇයි? ආදී ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සෙවීමට අප උත්සාහ කළෙමු. අපි ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන සභාපති ලෙස කටයුතු කරන හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා සමඟ සංවාදයක් ඇති කර ගතිමු.
සැවොම කතා කරන කොළඹ වරායේ බටහිර පර්යන්තය යනු කවරක්දැයි පළමුව පැහැදිලි කර ගැනීම වැදගත් වේ. කොළඹ වරායේ දකුණු වරාය නමින් හඳුන්වන කොටසේ ප්‍රධාන පර්යන්ත තුනකි. ඉන් ප්‍රධානම පර්යන්තය වනුයේ දැනට වැඩ කටයුතු සාර්ථකව කෙරෙමින් යන සී.අයි.පො. මගින් ක්‍රියාත්මක දකුණු වරාය පර්යන්තයයි. අනෙක් පර්යන්තය නම් ආන්දෝලනයට තුඩුදුන් සංවර්ධනය කළ යුතු නැගෙනහිර පර්යන්තයයි. බටහිර පර්යන්තය යනුවෙන් කරන ලද මුහුදු ප්‍රදේශයක් වන අතර සැබවින්ම එහි මේ වන විට පවතින්නේ ජලයයි. කෙසේ නමුත් බටහිර පර්යන්තය නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික යටිතල පහසුකම් වරාය අධිකාරිය විසින් එම ස්ථානයේ නිර්මාණය කර තිබේ.
වර්තමාන තත්ත්වය එසේ නමුත් බටහිර පර්යන්තය ද සම්පූර්ණයෙන් සාදා නිම කිරීමෙන් පසු කලාපයේ පවතින ප්‍රධාන පර්යන්තයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පළමු අදියරේ මීටර් එක්දහස් හාරසීයක්, දෙවැනි අදියරේ මීටර් දහසක් ආදී වශයෙන් මෙම පර්යන්තය නිර්මාණය කිරීමට පිඹුරුපත් සකසා තිබේ. එසේම පර්යන්තයක මූලික අවශ්‍යතාවක් වන ගැඹුරද මීටර් දහ අටේ සිට විසි දෙක දක්වා පවත්වා ගැනීමට අපේක්ෂා කරයි. මේ ආදී වශයෙන් මෙම පර්යන්තයට අදාළ මූලික සැලසුම් වරාය අධිකාරිය විසින් නිර්මාණය කර ඉදිරි මාස දෙක තුන මේ සම්බන්ධව ප්‍රසම්පාදන යෝජනා කැඳවීමට බලාපොරොත්තු වෙයි. ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය මේ වන විටත් ලැබී අවසන්ය. ඒ අනුව බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය සමඟ කටයුතු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ (CICT) ආයෝජන ක්‍රමවේදය බටහිර පර්යන්තයට ද භාවිත කිරීමට මේ වන විට කැබිනට්ටුව යෝජනා කර තිබේ. ඊට හේතුව CICT ආයෝජන මෙතෙක් සිදුව ඇති හොඳම ආයෝජනයක් ලෙස සැලකීමය. කෙසේ නමුත් මෙම මූලික ක්‍රමවේදය අදට ගැලපෙන ලෙස යාවත්කාලීන කරමින් ඉදිරි සැලසුම් දියත් වීමට නියමිතය. එහිදී වර්තමාන තත්ත්වයන් සේම බටහිර පර්යන්තයේ ස්වභාවය සහ තවත් කරැණු රුසක් සලකා බැලෙනු ඇත.
බටහිර පර්යන්තයට ආයෝජනයක් ලබාගැනීම සම්බන්ධව කතිකාව දීර්ඝ කාලයක සිට පවතින්නකි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පවා මේ හා සම්බන්ධව කරුණු දක්වා තිබේ. මීට හේතු කිහිපයක් බලපායි. ප්‍රධාන වශයෙන්ම මෙම ව්‍යාපාරයේ ස්වභාවය, වාණිජ වටිනාකම, කොළඹ වරායේ පිහිටීම, භූ දේශපාලන ආදී කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් වී තිබේ. 2015ට පෙර දකුණු වරාය සංවර්ධනය කරන විටම බටහිර පර්යන්තය ඇතුළු අනෙක් පර්යන්ත සංවර්ධනය කළ යුතු ආකාරය සම්බන්ධව විශ්ලේෂණය කර අදාළ යෝජනා ඉදිරිපත් කර තිබේ.
මෙහිදී අප තේරැම් ගත යුතු පළමු කරුණ වන්නේ මෙය තරගකාරී අවදානම් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරයක් යන්නය. අනෙක් අතට අප වරාය යැපෙන්නේ ද ජාත්‍යන්තර ව්‍යාපාර ඔස්සේය. එම නිසාම මෙවැනි ව්‍යාපාර කරන විට ලෝකයම අනුගමනය කරන පිළිවෙත වන්නේ අදාළ ව්‍යාපාර සම්බන්ධව ප්‍රධාන කණ්ඩායම් ඊට සම්බන්ධ කර ගැනීමය. මෙය අප රට තුළ පමණක් සිදුවන්නක් නොවන අතර ලොව පුරා සීයට අසූවකට වඩා වරාය මෙම ක්‍රමවේදය අනුගමනය කරයි. බටහිර පර්යන්තය නිර්මාණය කිරීමට අදාළ ක්‍රමවේදය විද්‍යාත්මක විශ්ලේෂණ ඔස්සේ කලකට පෙර සැලසුම් කර ඇත්තේ මේ සියල්ල පිළිබඳ අවබෝධයකිනි. මෙවන් ව්‍යාපාරයක් තනිව කිරීමට රජයට මුදල් තිබීම හෝ නොතිබීම, ව්‍යාපාරික ශක්‍යතාවක් තිබීම හෝ නොතිබීම ද මෙහිදී සලකා බලන එක සාධකයක් පමණි. බටහිර පර්යන්තයේ තුනෙන් එකක් වරාය අධිකාරිය ඔස්සේ ක්‍රියාවට නැංවීමට ආරම්භක සැලසුම්වලදී පවා ඉඩකඩ ලබා දී තිබේ.
කෙසේ වෙතත් අප මේ දෙස බැලිය යුත්තේ මෙය ජාත්‍යන්තර ව්‍යාපාරයක් හෙයින් එය සම්බන්ධව ලෝකය අනුගමනය කරන ක්‍රියා පිළිවෙත්ද සැලකිල්ලට ගනිමිනි. චීනය, අමෙරිකාව, එංගලන්තය වැනි රටවල් අනෙක් ආයෝජන සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපාරයේ නිරත වනුයේ මුදල් නොමැති නිසා නොවන බව සිහිපත් කළ යුතුය. ඒ මේ ව්‍යාපාරයේ ස්වභාවයයි. තවත් පසෙකින් ආයෝජන ලබාගැනීම රටක් ලෙස අපට මේ මොහොතේ අතිශය වැදගත්ය. එය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සිදුවෙනවා නම් සැබවින්ම ගැටලුවක් නොමැත. මෙය රට සතු සම්පත විකුණා දැමීම වැනි දෙයක් නොවේ.
කොළඹ වරාය වර්තමානයේ පවතින තත්ත්වය සැබවින්ම එය පැවතිය යුතු තත්ත්වය නොවන බව අපගේ විශ්වාසයයි. එය හුදෙක් දේශපාලනඥයන්ගේ වරදක් පමණක් නොවේ. මේ හා සම්බන්ධව සියලු දෙනාගේම වගකීම් හරියාකාරය ඉටු නොවීම හේතුවෙන් මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෞද්ගලික විශ්වාසයයි. වරායක් හඳුන්වන්නේ ජාතියේ හදවත ලෙසය. එය අප රට සතුව තබාගෙන අපේ සිතුම් පැතුම් අනුව එහි හදගැස්ම හදාගැනීමේ වගකීම දේශපාලනඥයන්ට, වරාය අධිකාරියට, අමාත්‍යාංශයට පමණක් බාර දී බලා සිටීම උචිත නැත. සමස්ත ජනතාව මාධ්‍ය විසින් ඒකරාශී කර මේ සම්බන්ධ විද්වතුන් එකතු කර ගනිමින් විද්‍යාත්මක විශ්ලේෂණයන් කරමින් එම අදහස් සංවාදයට ලක් කරමින් අප ඉදිරියට යා යුතුය.
කොළඹ වරාය සංවර්ධනය කිරීමට අවශ්‍ය සියලු සැලසුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තිබේ. 2035 වන විට කොළඹ වරාය තුන් ගුණයකින් විශාල වීමට නියමිතය. ඒ සඳහා සැලසුම් තිබේ. අද මිලියන හතයි දශම එකක් පමණ කන්ටේනර් හසුරවන කොළඹ වරාය 2025 වන විට මිලියන පහළොවක් දක්වා කන්ටේනර් හැසිරවීමට හැකිවෙන පරිදි සංවර්ධනය කිරීමට අදාළ සැලසුම් තිබේ. එය 2030 වන විට මිලියන තිස් පහ ද ඉක්මවනු ඇත. අවශ්‍ය වන්නේ මෙම සැලසුම් තවත් සංවර්ධනය කරමින් ඊට ලෝකයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ භාවිත වන නව ක්‍රමවේද ද භාවිත කරමින් ඉදිරියට යාමය.
කෙසේ නමුත් වරාය බොරුවට සෙනග පුරවාගෙන ඉදිරියට යා යුතු නැත. මිනිසුන් තුන් දහසකින්, තුන් දහස් පන්සීයකින් මෙහෙයවිය හැකි වරාය අද මෙහෙයවීමට මිනිසුන් දස දහසක් පමණ සිටිති. දේශපාලනඥයන් රැකියා ලබාදෙන ස්ථානයක් බවට මෙය පත් කර නොගත යුතුය. වරාය දෙස විද්‍යාත්මක ප්‍රවේශයකින් බලා කටයුතු කළ යුතු වේ. වරාය අධිකාරියට අප පැමිණ සිදු කිරීමට උත්සාහ දරන්නේ එයයි. ඒ සඳහා සමස්ත මහජනතාවගේම සහයෝගය අත්‍යවශ්‍යය. පුද්ගලානුබද්ධ ලැදියාවන් අප සතුව නැති බවත් ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සංවර්ධනය කිරීම පමණක්ම අරමුණ බවත් අවසාන වශයෙන් කියා සිටිය යුතුය.
සංවාද ඇසුරින් සටහන: චමිඳු නිසල් ද සිල්වා