කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ගහ දැන් රටම දන්නා රටම කතාවෙන ගහකි. ඒ ලහිලහියේ ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස අතරමැද අධිවේගයට ගොදුරු වන දුර්ලභ ගසක් නිසාය. එය දුර්ලභ යන අර්ථයට වඩා මේ වනවිට එම ගස ලෝක රතු දත්ත නාමාවලියට අනුව වඳවී ගොස් ඇති ගසක් ලෙස හඳුනාගෙන ඇති නිසා එහි වටිනාකම දෙගුණයක් තෙගුණ වී ඇත. ඒ නිසා ගහ කපන්නට වෙරදරන්නෝ සේම ගහ රකින්නෝද මේ දිනවල රෑපවාහිනියේ, සමාජ මාධ්‍යවල නිතර දක්නට ලැබේ. මේ ගහ ගැන අප කතාකරන්නට සිතුවේ මෙහි ඇති වටිනාකම සලකාය.
කෲඩියා සිලනිකා නම් මේ ශාකය මුල්වරට ලෝකයේ සොයාගනු ලබන්නේ 1868 දීය. ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාකයක් වන මෙය නැවත එහි නියැදියක් වාර්තා කරගන්නේ 1911 වසරේදී බව පරිසරවේදීහු පවසති. එහෙත් පුදුමය නම් මේ රනිල කුලයේ ශාකයක් වන මෙය නැවත 1998 පසුව සොයාගැනීමට නොහැකි වී යාමය. ඒ අනුව මෙම ශාකය ලෝක රතු දත්ත පොතට ඇතුළු වන්නේ වඳවී යන ශාකයක් ලෙස නම් දරමිනි. කාලයත් සමඟ මෙම ශාකය සොයාගැනීමට නොහැකි වූ නිසා අවසානයේ 2006 වසරේදී ලෝක රතු දත්ත නාමාවලියට අනුව එය වඳවී ගිය ශාකයක් (Extinct) ලෙස නම් විය. එපමණක් නොව එය 2012 වසරේ ජාතික රතු දත්ත නාමාවලියෙන්ද වඳවී ගිය ශාකයක් ලෙස නම් විය.
කෙසේ වෙතත් එලෙස වඳවී ගිය ශාකයක් නැවත කරළියට එන්නේ මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටස සංවර්ධනය කරන අවස්ථාව තුළය. ඒ 2018 වසරේදීය. එනම් මධ්‍යම අධිවේගී මාර්ගය දාරළුව ප්‍රදේශය හරහා ගමන් ගන්නා නිසා ඒ අවට පරිසර වාර්තාවක් අදාළ සමාගම් විසින් මධ්‍යම පරිසර අධිකාරියට ලබාදී ඇත. එහි සඳහන් වී ඇත්තේ කිසිදු පරිසර හානියක් සිදුනොවන බවය. එහෙත් පසුව මධ්‍යම පරිසර අධිකාරිය නැවත එම ස්ථානය අවට පරීක්ෂාවක් සිදුකරන ලෙසට පරිසරවේදීන්ට දන්වා ඇත. ඒ අනුව පරිසරවේදී හිමේෂ් දිල්රුවන් ජයසිංහ ඇතුළු කණ්ඩායමක් ගොස් එම ප්‍රදේශය පරීක්ෂා කිරීමේදී හිමේෂ් විසින් මේ ශාකය හඳුනාගෙන ඇත. එහෙත් ඒ වනවිටත් එහි මල් නොතිබුණු නිසා එය 100 සහතික කර ගැනීමට ටික කාලයක් බලා සිටීමට හිමේෂ්ට සිදුවිය. පසුව එය සහතික කරගත්තේ හිමේෂ්ගේ කැපවීම නිසාය. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් අතර පරිසරවේදීන්ගේ යෝජනාව අධිවේගී මර්ගය ගමන් කරන මාර්ගය වෙනස් කරන ලෙසය. එයට යම් එකඟතාවයක්ද තිබී ඇත.
කෙසේ වෙතත් ආණ්ඩු මාරුවීමත් සමඟ නැවතත් අධිවේගී මාර්ගය ගොඩනැගීමට කටයුතු ආරම්භ කළ අතර මේ ගස සම්බන්ධයෙන් කතාව එළියට එන්නේ ඒ අවස්ථාවේදීය. එනම් මේ ගස ඉවත්කර එම ස්ථානයෙන් අධිවේගය සැකසීමට ගත් තීරණය හේතුවෙනි. ඒ 2019 දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව මෙවැනි දුර්ලභ ගසක් ඇති බවට දාරළුවේ මිනිසුන් පමණක් නොව රටේ මිනිස්සුන්ද දැනගන්නේ ඊට පසුවය. මේ දුර්ලභ කෲඩියා සිලනිකා ශාකය ඉන් ඉවත් නොකරන ලෙසට පරිසරවේදීන් එහීදී යොජනා කරන අතර එහෙත් ඒ කතාව හිමින් යට යන්නේ කොරෝනා වෛරසය රට තුළ ආරම්භයත් සමඟය. මේ නිසා 2020 වසරේ සියලු වැඩකටයුතු ඇණ හිටින අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතුද නතර විය.
මෙසේ සියල්ල අමතක වී සිටින මොහොතක නැවත කෲඩියා සිලනිකා ශාකය කරළියට එන්නේ පසුගිය සතියේය. ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ වී එම ශාකය පිහිටි පරිසර කලාපය ඩෝසර් කිරීමේ සිද්ධියත් සමඟය. ගස අවට පිහිටි ආරක්ෂිත පරිසර කලාපයම ඩෝසර් කර තිබුණේ කිසිවකුට නොදන්වාය. කෙසේ හෝ ඔවුන්ගේ අවසාන ඉලක්කය වී තිබුණේ එම විශාල ගස ගලවාගෙන ගොස් මුතුරාජවෙල වගුරු භූමි ප්‍රදේශයේ සිටුවීමට බව සඳහන්ය.
මෙතරම් වටිනා ගසක් ඒ ආකාරයෙන් රැගෙන ගොස් සිටුවීම කෙතරම් අපරාධයක් දැයි බොහෝ දෙනා මෙහිදී හඬ නගන්නට වූහ. ඒ අතර ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියද සිටි අතර ඇය එම ස්ථානයට ගොස් එයට විරෝධය පා මාධ්‍ය වෙත අදහස් පළකළේ මෙය සිදුකළහොත් ගසට හානිවනු ඇතැයි පවසමිනි. දේවානි සම්බන්ධයෙන් කතාබහ කරළියට එන්නේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමඟ ඔක්සිජන් සම්බන්ධයෙන් වූ කතාබහක් හරහාය. එහිදී ඇයට විරුද්ධව ආණ්ඩුවේ කිහිපදෙනෙකු ප්‍රහාර එල්ල කළත් ඒ අවස්ථාවේ ඇය සිදුකළ ප්‍රකාශ නිසා ජනතාව ඇය සමඟ සිටියහ. එකී දේවානි ගැන රටම දැනගත්තේ මේ හරහාය. කෙසේ වෙතත් දේවානි මේ අවස්ථාවේද මාධ්‍යට පැමිණ මේ දුර්ලභ ගස රැගෙන යාම ගැන විරෝධය පාන්නට විය. කෙසේ වෙතත් දේවානි පැවසුවේ තම කාර්යාලය මේ සම්බන්ධයෙන් දැනුවත් කර නැති බවය.
කනගාටුව නම් දේවානි එසේ ප්‍රකාශ කරන විට මේ සඳහා තිරයෙන් පිටුපස කතාවක් සැකසී තිබීමය. මේ ගස ඉවත් කිරීම සඳහා අවසර ලබාදී තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ඒ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. ගස ඉවත්කර නොගැඹුරු ජලය සහිත ප්‍රදේශයක ප්‍රතිස්ථාපනය කිරීම ගැන ඔවුන්ගේ විරුද්ධත්වයක් නැති බව ලිඛිතව ඔවුන් දන්වා තිබී ඇත. ඒ අනුව අදාළ ආයතනය මේ ක්‍රියාව සිදුකර තිබිණි. ඒ නිසා දේවානි මාධ්‍යයට ඔවුන් දැනුවත් නොකර මෙය සිදුකරන බව කීවත් ඒ වනවිටත් ගස ගලවාගෙන රුගෙන යාමේ පිඹුරුපත් සකසා තිබී ඇත.
එසේම මේත් සමඟ තවත් කතාවක් කරළියට ආවේය. එනම් දේවානි මේ දුර්ලභ ගස එකම ගස ලෙස හැඳින්වීමය. එහෙත් ඇය එසේ ප්‍රකාශ කරන විට තවත් ගස් කිහිපයක් සොයාගෙන තිබුණි. එපමණක් නොව එම ශාකයේ පැළ ගණනාවක්ද ඉතාමත් ආරක්ෂිතව ගොඩනගමින් සිට ඇත. ඒ රජයේ මැදිහත් වීම මතය. ඒ අනුව දේවානි සමඟ වාඩුව ගැනීමට සිටි බොහෝදෙනා මේ තොරතුරු සොයාගෙන ඇයට පහර දුන්නෙ මේ ශාකය තව ස්ථාන කිහිපයක තිබෙන බව දන්වමිනි. එය සත්‍යයකි. එනම් කෲඩියා ශාකය දාරළුව දුම්රියපොළ අසල දෙකක්ද, මගලෙගොඩ කලගෙඩිහේන පාර තවත් ගසක්ද, ගම්පහ උද්භිද උද්‍යානයේද, දොරණගොඩ දකුණ ප්‍රදේශයෙන්ද, මිනුවන්ගොඩ සහ කඩුවෙල යන ප්‍රදේශවලින් සොයාගෙන ඇති බව රාජකීය උද්භිද උද්‍යානය මගින් 2021 ජනවාරි 11 වැනිදා අදාළ අංශ වෙත දැනුවත් කර තිබුණි. එසේම තවත් පැළ රෝපණය කරමින් පවතී. මේ සම්බන්ධයෙන් දැනුවත් බවකින් තොරව දේවානි සිය විරෝධය පෑ නිසා සමාජ මාධ්‍ය තුළ දේවානිට සුළු පිරිසක් මඩ ප්‍රහාර එල්ල කළහ. එසේම වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක මහතාත් පාර්ලිමේන්තුව තුළ පල නොකියා පළා බෙදුවේය. අවසානයේ දේවානිට මාධ්‍ය වාරණයක් එල්ලවුණේ නැවත කිසිවිටෙක මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් නොකරන ලෙස කියාය.
කෙසේ වෙතත් දේවානී ඒ තනි ගස වෙනුවෙන් අනෙකුත් ගස් ගැන දැන හෝ නොදැන කතා කළ දේ සාධාරණය. එනම් මේ ගස රතු දත්ත පොතේ වඳවී ගිය ශාකයක් ලෙස සඳහන් නම් එකී ශාකය රුකගැනීම අපේ යුතුකමක් බව අමුතුවෙන් කිවයුතු නැත. විශේෂයෙන් මෙවැනි විශාල ගසක් ගලවා වෙනත් පරිසරයක සිටුවීම ඒ ගසට නැවත ජීවිතයක් ලැබෙනු ඇතැයි විස්වාස කරන්නට බැරිය. එනම් ගස මැරීයාමේ සම්භාවිතාව වැඩිය. ඒ නිසා මේ කරන්නට යන වැඩේ අවසානය එක් පැත්තකින් ගහත්, ශ්‍රමයත් අහිමිවීමේ අවස්ථාව 50/50 ඇත.
එසේම තවත් ගස් තිබීම හේතුවෙන් මේ ගස කැපිය යුතු යැයි සිතීම මහා අපරාධයකි. එසේම පැළ ඇති නිසා මේ ගස අවශ්‍ය නෑ යැයි සිතීම විහිළුවකි. එය ශ්‍රී මහා බෝධියේ ශාඛා ඇති නිසා ශ්‍රී මහා බෝධිය අවශ්‍ය නෑ යැයි කියන්නා හා සමානය. ඒ නිසා ගස දුර්ලභ නම් ඒ සියලු ගස් රැකගැනීම වගකීමක් සහ යුතුකමකි. එසේ නොමැතිව අනෙක් ගස් නිසා හෝ පැළ ගස් නිසා හෝ මේ මහ ගහ ඉවත් කරන්නට හදනවා නම් එය මුග්ධ ක්‍රියාවක් මිස මිනිස් වර්ගයා විසින් තම යෝධ සංවර්ධනය වෙනුවෙන් කරන දානපාරමිතාවක් ලෙස සිතිය යුතු නැත.
කෙසේ වෙතත් පසුගියදා භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩමකොට ගස සාංඝීක කළහ. දැන් ගස වටා සිවුරු පොරවා ඇත. එහෙත් එය කෙතරම් සාර්ථකවේද යන්න අප දන්නේ නැත. ගසට එය ආරක්ෂාවක් වෙයිද යන්න අප දන්නේ නැත. ඒ සියල්ල රැඳී ඇත්‍තේ බලධාරීන්ගේ තීරණය තුළය. දැනට ඇති තීන්දුව ගස ඉවත් කිරීම පමණි. එය මුතුරාජවෙලට ගෙන ගොස් නැවත සිටුවීම ඔවුන්ගේ අතේය.
විශේෂයෙන් මෙම ගස රුකගත යුතු කාරණා කිහිපයක් ඇත. ප්‍රධාන වශයෙන් මෙය වඳවී ගිය ගසක් නිසාය. අනෙක නැවත මෙවැනි විශාල ගසක් නිර්මාණය වීමේ ඉඩකඩ ඉතාම සීමිත වන නිසාය. එක් පැත්තකින් ජල මුලාශ්‍ර සිඳී ගොස්ය. තව පැත්තකින් පස රසායනික වෙමින් ඇත. එක් පැත්තකින් අධික සූර්ය රශ්මියය. මේ සියල්ල ගැන සිතුවහොත් නුදුරු අනාගතයේ මේ ගස් ටික හෝ ඉතුරු කර ගැනීම අසීරුය.
සංවර්ධනය මිනිසාට අවශ්‍ය වූ පමණින් පරිසරය අවශ්‍ය නෑ යැයි සිතීම මහා විපාක දෙන කටයුත්තකි. කොන්ක්‍රීට් වනාන්තර තැනූ සිංගප්පුරුව අද ගස් හිටවමින් සිටී. මහා කාන්තාර වූ සෞදිය අද ගස් වවමින් සිටියි. එහෙත් රතු දත්ත පොතේ ඇති වඳවුණු ගහක් අපි අමු අමුවේ කපා දමනවා නම් අපි මොනවගේ මිනිස්සු දැයි අනාගතයේදී ඉතිහාසයට යොමුවනු ඇත. සියටැල්ලා නැති ලෝකයේ සියටැල්ලා විය යුත්තේ අපිම මිස වෙන කවුරුද?
ගයාන් ගාල්ලගේ