2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

බිහිරි කන් දෙකටම යළි ජීවය දුන් විස්මිත සැත්කම

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

උපතින්ම කන් දෙකෙහිම ශ්‍රවණාබාධ සහිත වයස අවුරුදු දෙකයි මාස හතරක් වූ කුඩා දැරියකට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රජයේ රෝහලකදී කන් දෙකෙහිම කර්ණසංඛ බද්ධ සැත්කමක් සිදු කෙරුණි.

මීට පෙර කන් දෙකෙහිම ශ්‍රවණාබාධ ඇති අයගෙන් එක් කනකට මුල් සැත්කම සිදුකොට මාස හයකින් හෝ හතකින් පසුව අනෙක් කනටත් සැත්කමක් සිදු කර තිබුණද, එක්වරම එක් සැත්කමක් ලෙසින් කන් දෙකටම කර්ණසංඛ බද්ධ සැත්කම සිදු කළ මුල්ම අවස්ථාව වන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරනු ලැබූ මෙම සැත්කමයි.

මෙම සැත්කම සිදු කරන ලද්දේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මියත්, නිර්වින්දන විශේෂඥ ශල්‍ය වෛද්‍ය කනිෂ්ක ඉන්ද්‍රරත්න මහතා ඇතුළු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩල පහකින් යුත් කණ්ඩායමකි. මෙම සැත්කම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම සඳහා පැය අටක පමණ කාලයක් ගත වී තිබිණි.

උපතින්ම කන් දෙකෙහිම ශ්‍රවණාබාධිත වූ මෙම කුඩා දියණිය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. වයස අවුරුදු දෙකක් වූ කුඩා දැරියට උපතින්ම සම්පූර්ණයෙන්ම ශ්‍රවණාබාධිත බව වෛද්‍යවරුන් විසින් කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබිණි. පසුව වෛද්‍යවරුන් කරන ලද C.T. ස්කෑන් සහ M.R.I ස්කෑන් පරීක්ෂණ මගින් මෙම කුඩා දැරිය කර්ණසංඛ බද්ධය කිරීමට සුදුසු තත්ත්වයක සිටින බව තහවුරු කරගෙන තිබේ. මේ අනුව වෛද්‍යවරුන්ගේ තීරණය වී ඇත්තේ සැත්කමට පෙර ඇයට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දිය යුතු බවය. සැත්කමින් පසුව ජීවිත කාලය පුරාවට මෙම දැරියගේ ශරීරයේ අභ්‍යන්තරව ඉලෙක්ට්‍රොනික උපකරණයක් පවතින බැවින් එයින් ඇතිවන ආසාදන තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඇයට වෛද්‍යවරුන් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දී තිබිණි.

“මේ එක පැත්තකට පැය හතරක් විතර යන ශල්‍යකර්මයක්. හිස්කබලේ කන පිටුපස ඇති mastoid නම් අස්ථිය ග්‍රිල් කොට එයින් මැද කන හරහා ඇතුළු කනට ගොස් එහි ද එක් කොටසක් ග්‍රිල් කොට එම කොටසටත් මෙම ඉලෙක්ට්‍රොනික උපකරණය ඇතුළු කරනවා. මෙහිදී මෙම සැත්කම සිදු කරද්දී අවට ඇති ස්නායු පරිස්සමින් බේරාගත යුතු වෙනවා. මුහුණේ පේශිවල ක්‍රියාකාරීත්වයට සම්බන්ධ ස්නායු ගැන අවධානයක් යොමු කළ යුතු වෙනවා.” උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය දේශයට පැවසීය.

මෙය අවදානම් සහිත, ඉතා පරිස්සමට, සියුම්ව කළ යුතු සැත්කමකි. මුහුණේ ඇති ස්නායු අතරින් මෙම ඉලෙක්ට්‍රොනික උපකරණය ඇතුළු කළ යුතු වේ. විශාල ලෙස රුධිරය පිටවීම සහ මොළයේ පටකවලට හානි සිදුවීම අවම කළ යුතු වේ. සම්පූර්ණ නිර්වින්දනය යටතේ සිදු කරන මෙම සැත්කමේදී ඇතුළු කරන උපකරණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පරීක්ෂා කිරීම සිදුවන්නේ ඉන් පසුවය. මෙම සැත්කමේදී කන් දෙකටම සවි කළ මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකෙහිම ක්‍රියාකාරීත්වය ඉතා සාර්ථක බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

සවි කරන ලද ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකෙහිම සාර්ථකත්වය පිළිබඳව කරන ලද පරීක්ෂණවලින් සනාථ කර ගැනීමෙන් පසුව වෛද්‍යවරුන් විසින් ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු කළ විවරය මැහුම් යොදා ආවරණය කෙරිණි.

මෙය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කරන ලද සැත්කමකි. මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ ඉතා මිල අධිකය. විවිධ මිල ගණන් යටතේ මෙය මිල දී ගත හැකිය. රජයේ රෝහල්වල මෙම සැත්කම සිදු කරලීමට පොරොත්තු ලේඛනයක් පවතී. මේ වන විටත් මෙවැනි කර්ණසංඛ බද්ධ සඳහා පොරොත්තු ලේඛන රජයේ රෝහල්වල පවතී. එක් රෝගියකු සඳහා එක් ඉලෙක්ට්‍රොනික උපකරණයක් රජය විසින් ලබා දෙයි. මේ සඳහා විශාල පිරිවැයක් රජය විසින් දැරිය යුතු වන අතර එක් රෝගියකුට ලබා දෙන්නේ එක් ඉලෙක්ට්‍රොනික උපකරණයක් පමණි. මේ නිසා මෙම දැරියට අවශ්‍ය කරන මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගෙන ඇත්තේ ඇගේ මව්පියන් විසිනි. මෙම කර්ණසංඛ බද්ධ සැත්කම සිදු කරනු ලබන්නේ ද ලංකාවේ රෝහල් කිහිපයක පමණි.

මෙම උපකරණය අභ්‍යන්තරයට ඇතුළු කිරීමෙන් පසුව නැවත එය අලුත්වැඩියාවක් හෝ නැවත පිටතට ගැනීමක් අවශ්‍ය නොවේ. ජීවිත කාලය පුරාවට මෙහි බලය පවතී. මේ නිසා ශරීරයේ අභ්‍යන්තරයට ඇතුළු කරන ඉලෙක්ට්‍රොනික උපකරණය නැවත වෙනස් කිරීමට අවශ්‍ය නොවේ. සැත්කම සිදු කර සති දෙකකට පසුව මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ සක්‍රීය කිරීම ආරම්භ කරයි. එතෙක් සැත්කමේ ඇතුළත ඇති තුවාල සුව වනතුරු ඉලෙක්ට්‍රොනික උපකරණය පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. සක්‍රීය කිරීමෙන් පිටතින් ඇති ශබ්ද තරංග ඉලෙක්ට්‍රොනික උපකරණය වෙත සම්බන්ධ කරනු ලබන්නේ බ්ලූටූත් (Bluetooth) එකක් වැනි කාන්දමක් හරහාය. මෙය සමට යට ඇති කොටස සමට පිටතින් ඇති කුඩා කොටසට සම්බන්ධව පවතී.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදු කළ මෙම කර්ණසංඛ බද්ධ සැත්කම ඉතා සාර්ථක සැත්කමකි. කන් දෙකටම කරන ලද මෙම සැත්කම සිදු කළ දිනයේ සිට සති දෙකකින් එම ඉලෙක්ට්‍රොනික උපකරණය සක්‍රීය කිරීමට නියමිතව තිබේ. පැය අටක් පුරාවට කන් දෙකටම එකවර සිදු කළ මෙම සැත්කම ඉතා සාර්ථක බවත් අද වන විට මෙම දරැවා ඉතා නිරෝගීව සිටිනා බවත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න