2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

අලුතෙන්ම මාකට් එකට ආ ලංකාවේ ගෑස් කුකර් එක

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

අතුරුගිරිය ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම විසින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය යටතේ ගෑස් උඳුනක් ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

මම මුලින්ම ආරම්භ කළ ආයතනය වන්නේ ඔක්ටාන් පෞද්ගලික සමාගමයි. එයින් අපි මුලින්ම සෝලා බලය සහිත උපකරණ වෙළෙඳ පොළට හඳුන්වා දුන්නා. මීට අවුරුදු දහයකට පමණ චීනයෙන් මුල්ම උපකරණ දෙසීයක් ලංකාවට ගෙනත් එයින් ලංකාවේ වෙළඳපොළට අවතිර්ණ වුණා. දැනටත් අපි ඒ වෙළඳාම් කටයුතුත් යම් මට්ටමින් කරගෙන යනවා.* යැයි ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

වර්තමානයේදී ඔක්ටාන් පෞද්ගලික ආයතනයේ සේවකයන් 35ක පමණ පිරිසකට රුකියාවල් ලබාදී තිබුණද ඔක්ටාන් පෞද්ගලික ආයතනය ආරම්භ කරන ලද්දේ ඉතාමත් අඩු සේවක සංඛ්‍යාවකිනි. ඩුබායි රටේ වසර ගණනාවක් එක් අවන්හලක ප්‍රධාන කෝකියකු ලෙස සේවය කළ ලක්ෂ්මන් විතානච්චි ඒ කාලයේදීම දවසේ තවත් පැය කිහිපයක් තවත් අවන්හලක පිඟන් සෝදන්නකු ලෙස වසර කිහිපයක් කටයුතු කළ බවද කියයි. දවසේ සෑම පැයක්ම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් එසේ වෙහෙසුණු ලක්ෂ්මන්ගේ හීනය වී තිබුණේ සැලකිය යුතු මුදලක් ඉතිරි කොටගෙන නැවතත් ලංකාවට ගොස් ශ්‍රී ලාංකික සේවකයන් කිහිපයකටම රැකියා ලබාදෙමින් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමය.

මුල් කාලයේදී චීනයෙන් විදුලි උපකරණ සම්පූර්ණයෙන්ම මෙරටට ආනයනය කළද මේ වනවිට ඔක්ටාන් පෞද්ගලික ආයතනය මගින් එම විදුලි උපකරණවල යම් යම් කොටස් පමණක් මෙරටට ගෙන්වා එම විදුලි උපකරණ සම්පූර්ණයෙන්ම සවි කිරීම තම ආයතනයේදී සිදුකරන අතර එම උපකරණවලට හොඳ ඉල්ලුමක් පවතින බව ලක්ෂ්මන් විතානච්චි පවසයි.

මීට අවුරුදු හතරකට පහකට පෙර ගෑස් උඳුන සම්පූර්ණයෙන්ම ආනයනය කොට මෙරට වෙළඳාමට එකතු කළා. අපි ඕනෑම නිෂ්පාදනයක මිල වෙළෙඳ පොළේ මිලට වඩා ටිකක් හෝ අඩුකොට දිගුකාලයක් වෙළඳපොළේ ඉන්න උත්සාහ කළා. අපේ සාර්ථකත්වයේ ප්‍රධාන නියමුවා පාරිභෝගික ජනතාව බව අපි දැන සිටියා. අපිට ඔක්ටාන් නාමය දිගු කාලයක් හොඳ නමක් ඇතිව මේ වෙළෙඳපොළේ පවත්වාගෙන යන්න අවශ්‍ය වුණා. කාලයක් සම්පූර්ණයෙන්ම පිටරටින් ආනයනය කළ ගෑස් උඳුනේ යම් යම් කොටස් පමණක් පිටරටින් ආනයනය කොට අපේ ආයතනයේ සවිකොට වෙළෙඳාපොළට නිකුත් කළා. නමුත් එහි එතරම්ම ලාභයක් තිබුණේ නැහැ. නමුත් අපි අපේ වෙළෙඳාම කෙසේ හෝ කරගෙන ආවා... ලක්ෂ්මන් විතානච්චි වැඩිදුරටත් දේශයට පැවසීය.

කොවිඩ් වසංගතයත් සමඟ පිටරටින් ආනයනය කරන උපකරණ මෙරටට ගෙන්වීමේදී යම් යම් ගැටලු තත්ත්වයන්ට මුහුණපෑමට ඔක්ටන් පෞද්ගලික සමාගමට සිදුවුණි. කලක් තිස්සේ හිතේ පැවැති හීනය හැබෑවක් කරගන්නට මේ හොඳම කාලය යැයි ලක්ෂ්මන්ට සිතුණේ මේ කොරෝනා වසංගතයත් ආරම්භයත් සමඟමය.‍‍

කොවිඩ් වසංගතයත් එක්ක අපට පොඩි විවේක කාලයක් ලැබුණා. ඒ පොඩි විවේක කාලයේදී පිටරටින් ගෙන්වන ගෑස් උඳුන සම්පූර්ණයෙන්ම ලංකාවේ නිෂ්පාදනය කරන්න අපිට හිතුණා. මේ කාලයක සිට මට තිබුණු හීනයක්. ඒ වෙනුවෙන් හිත වෙන්කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒ කාර්යබහුල ජීවිතයෙන් යම් කාලයක් මේ වෙනුවෙන් වැය කරන්න කොරෝනා වසංගතය පාර පෙන්නුවා. ඒ වෙනුවෙන් අපිට මේ වෙද්දීත් මැෂින් කිහිපයක් තියෙනවා. එක් ගෑස් උඳුනක් එයින් එක් මැෂිමකට කොටස ගලවමින් හදන්න පුළුවන්. ඒක ටිකක් කල්ගතවන වැඩක්. අපේ මුල්ම ගෑස් උඳුන අපි හැදුවේ එකම මැෂිමෙන්. නමුත් ඉදිරියේදී ලැබෙන ඉල්ලුමට අනුව එකම මැෂිමෙන් හැම කොටසක්ම නිෂ්පාදනය කරන්න අමාරැයි. ඒ නිසා ඒ අවශ්‍ය යන්ත්‍ර සියල්ලම මේ වෙද්දිත් අපි හදාගෙන යමින් ඉන්නේ. යැයි ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව ඔක්ටාන් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කළ &මේඩ් ඉන් ශ්‍රී ලංකා* සන්නාමය යටතේ පළමු ගෑස් උඳුන නිෂ්පාදනය කර අවසන්ය. එය ඉතා සාර්ථක නිෂ්පාදනයක් වන අතර මේ වනවිට එම සමාගම විසින් තවත් ගෑස් උඳුන් කිහිපයක්ම නිෂ්පාදනය කරමින් පවතී.

පසුගිය දිනෙක මෙම ගෑස් උඳුන පිළිබඳව අවධානය යොමුකළ කර්මාන්ත ඇමැති විමල් වීරවංශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මෙය වැඩිදියුණු කර කඩිනමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වාදීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් වන බවය.

මේ අනුව නොබෝ දිනකින්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන ඔක්ටාන් ගෑස් උඳුන ඉතා සහනදායී මිලකට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.
ගෑස් උඳුනට අමතරව අපේම රටෙන් තවත් විදුලි උපකරණ කිහිපයක්ම නිෂ්පාදනය කරන්න අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. ඉදිරියේදී අපේම රටේ විදුලි උඳුන, විදුලි පංකා නිෂ්පාදනය කිරීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. විදුලි උපකරණ විදෙස් රටවලින් ආනයනය කරද්දී ගන්නා බද්ද මෙරට නිෂ්පාදනයේදී සහනයක් ලබාගන්නට පුළුවන්. එමගින් අපේම රටේ නිෂ්පාදනය කරන අපේම විදුලි උපකරණ අනෙක් විදුලි උපකරණවල මිලට අඩුවෙන් සහනදායී මුදලකට ලබාදීමේ හැකියාව පවතිනවා. යැයි ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරෑ - සුමුදු හේවාපතිරණ