ඓතිහාසික 1958 ජනවාරි පළමුවැනිදායින් පසු අපේ දේශයේ පොදු ජනතා ජයග්‍රහණයන් සිදු වූ හා ලැබූ සෑම අවස්ථාවකම අපි ඉතා ගෞරවයෙන් හා සාදරයෙන් ලංගමටත් පනස් හයේ ජනතා ජයග්‍රහණයටත් ආශිර්වාද කරමු. කෘතවේදය දක්වමු. රටට, ජාතියට, ශාසනයට අපේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට ව්‍යසනයක් වූ සෑම අවස්ථාවකම අපි ලංගමයේ පිහිට පැතුවෙමු. සරණ පැතුවෙමු. ඊට ප්‍රධාන හේතුව වන්නේ 1958 ජනවාරි 1 වැනිදා ලංගම නැත්නම් ලංකා ගමනාගමන මණ්ඩලය ස්ථාපිත කරමින් මේ රටේ සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතියෙහි අලුත් පිටුවක් පෙරලූ හෙයිනි. රට නව දිශාවකට යොමුකළ හෙයිනි.
අද දවසේ පවා ශ්‍රී ලංකාවේ බහුතරයක් පොදු බස් නැවතුම්පොළවල ලංගම බස් සේවාව බලාපොරොත්තුවෙන් ගිනි අව්වේ, ධාරාණිපාත මහා වැස්සේ මහා රාත්‍රියේ හිටගෙන සිටින මිනිසුන් මගීන් අපි දකිමු. ඒ ලංගම බස් රියේ පිනට යන්නට නොවේ. සැප පහසුවට යන්නට නොවේ. මගියා ලංගම බස් රිය වෙත දෑස් යොමුකර ගෙන සිටින්නේ ආරක්ෂිතව වගකීමෙන් නියමිත කාල වේලාවට ගමනාන්තය දක්වා යෑමටය. ඒ කරුණුවලට අදාළව ලංගම මගින් නීති පද්ධතියක්ම සහතික කර ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හෙවත් ලංගමය හැමදාමත් ප්‍රසිද්ධ වී තිබුණේ රුකියා ෆැක්ටරියක් ලෙසය. ආණ්ඩුව නිල් වුණත් කොළ වුණත් එහි වෙනසක් වුණේ නැත. හැම ඇමැතිවරයෙක්ම සිය ගෝලයන්ට මදි නොකියන්නට ලංගමයේ රස්සා දුන්නේය. ඩ්‍රුයිවර්ලා කොන්දොස්තරලා ආණ්ඩු මාරු වනවිට ඩිපෝ මැනේජර් වූ යුගයක්ද ලංගමයේ තිබුණේය. මේ නිසා ලංගමය හැමදාමත් ප්‍රසිද්ධ වූයේ සේවකයන් වැඩියෙන් සිටින රාජ්‍ය ආයතනයක් බවටය. එහි සේවකයන්ට වැඩක් නැති බැවින් ඔවුන් දාං අදිමින්ද, කැරම් ගසමින්ද කාඩ් කුට්ටම අනමින්ද සිටි කාලයක් තිබුණේය. ලංගමයට සේවකයන් පොදි පිටින් බඳවා ගැනීම නිසා එය හැඳින්වූයේ වසර ගණනාවක සිට ඉතාමත් පාඩු ලබන මට්ටමේ තිබූ රාජ්‍ය ආයතනයක් ලෙසය.
ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳ ශ්‍රී ලාංකික විද්වතුන් වරින්වර විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. ඇතැම් යෝජනා පොදු ප්‍රවාහන සේවය නැංවීමටය. ඇතැම් යෝජනා ලංගමය ගොඩගැනීම සඳහාය. එකිනෙක ආණ්ඩුවලට මේ යෝජනා ලබාදුන් අතර එකක් - දෙකක් හැර සමස්ත යෝජනාවලිය ක්‍රියාත්මක වූයේ නැත. ඇතැම් යෝජනා කෙළින්ම හමස් පෙට්ටියට ගියේය. විද්වතුන් දරන පොදු මතයක් වන්නේ රටේ මගී ප්‍රවාහනයේ අධිකාරී බලය රජය සතුවීම වැදගත් බවය. තවත් වැදගත් මතයක් වූයේ සමුපකාර ක්‍රමයක් ඔස්සේ මගී ප්‍රවාහනය සිදුකළ යුතු බවය. හොංකොං රාජ්‍යය එවැනි ක්‍රමයක් අනුගමනය කරයි.
ලංගමය ආයතනයක් ලෙස දුර්වල වූයේද, පාඩු ලබන තැනකට ඇද වැටුණේද ඒ ඒ පාලන සමයන්හි ගනු ලැබූ තීන්දු තීරණ නිසාය. ලංගමයේ හොඳම කාලය අනිල් මුණසිංහ සමය බව කව්රුත් දනිති. මුණසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ ලංගමය ලාභ ලැබුවේය. ඉතා සාර්ථක මහජන සේවයක්ද ලබා දුන්නේය. ආයතන ප්‍රධානීන්ට රාජ්‍ය ආයතන හොඳින් පවත්වාගෙන යා හැකි බව අනිල් මුණසිංහ ආදර්ශය අපට පෙන්වා දෙයි. ජනාධිපතිවරයා හැමටවිටම පාහේ පෙන්වා දෙන්නේ ප්‍රධානීන් තම ආයතනයේ අභියෝග භාරගෙන ඒවා ජයගත යුතු බවය. ලංගමයද ගොඩනැඟීමේ හැකියාව පවතී. ඒ සඳහා අලුත් උපාය මාර්ග සොයා යා යුතුව තිබේ.
ලංගමයට වැඩි වශයෙන්ම අවශ්‍ය රියැදුරන් හා කොන්දොස්තරවරුන්ය. පසුගිය කාලයේ බොහෝ රියැදුරන් හා කොන්දොස්තරවරුන් කාර්යාලවලට අනුයුක්ත කිරීම හේතුවෙන් බස් රථ ධාවනයට අවශ්‍ය රියැදුරු හා කොන්දොස්තරවරුන්ගේ දැඩි හිඟයක් පවතී. එහි ප්‍රතිඵලය වී ඇත්තේ බස් රථ 700ක් පමණ ධාවනය කිරීමට නොහැකිව ඩිපෝවල ගාල්කර තබන්නට සිදුවීමය. උසස්වීම් ලබාදීමට නියමිත ක්‍රමවේදයක් ඇත. මෙම රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට එවැනි තනතුරු ලබාදී ඇත්තේ නියමිත ක්‍රමවේදයෙන් බැහැරව යැයි පැවසේ.
පසුගිය රජය සමයේ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් 3300ක් පමණ නියමිත රාජකාරියෙන් බැහැර කොට කාර්යාල කටයුතු සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් බස් රථ ධාවනයට අවශ්‍ය පිරිස නොමැති විය. ලංගමයේ සිටින සම්පූර්ණ සේවක පිරිස 29000කි. ඔවුන්ගෙන් 3300ක් කාර්යාල සේවයට යෙදවුවද අලුතින් රියැදුරු හා කොන්දොස්තර පුරප්පාඩු ඇති කිරීමට නොහැකි වී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ඉහත සඳහන් සේවක පිරිසට පමණක් වන බැවිනි. කිසිවකු වෙනත් තනතුරක් සඳහා අනුයුක්ත නොකරන ලෙසට නියෝග ලබා දී තිබියදී පසුගිය රජය සමයේ සිදු කළ මෙම පත්වීම් නිසා ලංගමය අර්බුදයකට පත්ව තිබේ.
ලංගමය පාඩු නොලබන තැනකට ගෙන යා හැකි ප්‍රායෝගික උපාය මාර්ග සොයන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. මෙය අභියෝගයක් වුව කාලීන අවශ්‍යතාවක් බව වටහාගත යුතුය. පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දැමීමේ හෝ විකුණා දැමීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ පසුගිය රාජ්‍ය පාලනයයි. රාජ්‍ය ආයතන අකාර්යක්ෂම බවද එහි කළමනාකාරිත්වය දුර්වල බවද ඔවුන්ගේ මතය විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම මතය බැහැර කරන නායකයෙකි. රාජ්‍ය ආයතන ශක්තිමත් කළයුතු බවද, ඒවා පාඩු නොලබන තැනකට ගෙන යා හැකි බවද ජනාධිපතිවරයා විශ්වාස කරයි.
කෙසේ වෙතත් මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම දිනකට රුපියල් ලක්ෂ 400කින් පමණ පහළ වැටී තිබෙන බව වාර්තාවේ. දිනක සාමාන්‍ය ආදායම ලක්ෂ 800කට ආසන්න වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආදායම මේ වනවිට දිනකට ලක්ෂ 450කට ආසන්න ප්‍රමාණයකට පහළ වැටී තිබේ. සියලු දුර සේවා බස්රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරනු ලබන හෙයින් ආදායම විශාල වශයෙන් අඩු වී ඇත. එසේම මහජනතාවගේ සංචරණ අඩු කිරීම නිසාද මේ වනවිට සෙසු බස් රථවලද මගී ගමනාගමනය විශාල ලෙසින් අඩුවී තිබේ.
රටට බලපෑ කොරෝනා වසංගතය නිසා පසුගිය කාලයේ බස් රථවල ගමනාගමනයේ යෙදෙන පිරිස අඩුවුණා. එය පෞද්ගලික බස් කර්මාන්තයට විතරක් නෙවෙයි ලංගමයටත් බලපෑ කාරණයක්. ඒ වගේම තමයි එම වසංගත තත්ත්වය නිසා ලංගම දුරගමන් සේවා බස් රථ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබුණෙත් නැහැ. ඒ තත්ත්වය යටතේ තමයි පසුගිය කාලවකවානුවට වඩා ලංගමයෙන් පාඩු සිදු වී තිබෙන්නේ. මම එන්න කලින් ලංගමයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේ අතිරේක ලේකම්වරයෙක්. ඔහු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ පෙන්වා දී ඇති ඇතැම් පත්කිරීම් නීති විරෝධී හෙයින් මේ පිරිස යළි කලින් සේවය කළ තනතුරුවලට අනුයුක්ත කරන ලෙසට සියලුම ඩිපෝවලට දන්වා තිබුණා. එහිදී පිරිසක් යළි රියැදුරු කොන්දොස්තර තනතුරුවලට පැමිණියත් තවත් පිරිසක් පැමිණියේ නැහැ. ඒ නිසා බස් සේවය නිසි පරිදි පවත්වාගෙන යෑමට පිරිස මඳවීම නිසා අර්බුදයක් පැවතියා. නමුත් දැන් ඒ දේවල් සාමාන්‍ය තත්ත්වයට පත්කරලා තියනවා. මේ කොරෝනා අර්බුදය අවසන් වූ වහාම මෙය යථා තත්වයට පත්වෙයි කියලා අපි විශ්වාස කරනවා.
හසිත් අංජන